ආර්ථිකය සුබ වෙයි කියලා බලාගෙන ඉන්නවා!

175

විකිණීමයි ණය ගැනීමයි අලු‍ත් දෙයක් නොවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

විකිණීම ණය ගැනීම අලු‍ත් දෙයක් නොවෙයි. ජනතාව හැමදාමත් ආර්ථිකය සුභ වෙයි කියලා බලාගෙන හිටියා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ජාතික සම්පත් විකිණීම මඟු‍ලක්ද උගුලක්ද? මැයෙන් මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

මේ දිනවල ආර්ථිකයේ යම් පිබිදීමක් ගැන සාකච්ඡාවක් පවතිනවා. ණයක් ලැබී තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල අඩුවී තිබෙනවා. ජනතාව කල්පනා කරනවා, දැන් අපේ රටේ ආර්ථිකය යම් සුබදායී දිසාවකට යොමුවී තිබෙනවා කියලා. අපේ රටේ ජනතාව ආර්ථිකයේ සුබදායී දිශාව දෙස බලා සිටියේ අද පමණක්ද? අපේක්ෂාවන් තිබුණේ අද පමණද? අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ආර්ථිකයේ සුබ සිහිනයක් දකිමින් සිටියා. ආර්ථිකයේ සංවර්ධනය පිළිබඳ සිහින මවාගෙන සිටියා. විටින් විට බලයට ආ පාලක කණ්ඩායම් විසින් ජනතාවගේ ඔළුවේ විවිධාකාරයෙන් මැවීමක් කළා. නමුත් මේක ණයක්, මෙය රැවටීමක්, මේ මාවතේ ගමනක් නොමැති බව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. මෙම ණය ලබාගැනීමේ එකඟතාවය ජයග්‍රහණය කළේ කවුද යන්න බෙදා ගැනීමටත් තරඟ කරමින් ඉන්නවා. මේ එකඟතාවයේ කුසලානය හිමි බැසිල් රාජපක්ෂට බව ඒ පැත්තෙන් ප්‍රකාශ කරනවා. රටකට ණයක් ලබාගැනීමේ කප් එකේ හිමිකාරිත්වයට පොර බදිමින් තිබෙනවා. මේ තුළ ජනතාවට බලහත්කාරයෙන් ඇතුල් කරන්න හදනවා මේක තමයි යා යුතු මාවත කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට යන්න සිදුවුණේ මහ බැංකු අධිපති නන්දලාල් නිසයි. ඔහු මහ බැංකු අධිපති ලෙස පත්කරන්නේ 2022 අප්‍රේල් මස 08 වෙනි සිකුරාදා. නිවාඩු දින තුනකට පසුව ඔහු අප්‍රේල් 12වන දින මහ බැංකුවට පිවිසුණා. ඔහු මහ බැංකු අධිපති ලෙස පළමුවෙන්ම ගත් තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවලින් ලබාගත් ණය ගෙවන්නේ නැති බවට ගත් තීරණය. මහ බැංකු අධිපතිවරයෙක් ගොඩවූ පළමු දවසේම එවැනි තීන්දුවක් ගැනීමට තරම් එහි කිසියම් අන්තර් සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලියි.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පළමු ණය පහසුකම ලබා ගන්නේ 1966 වසරේදී. 66 සිට 2016 දක්වා අපි දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබාගෙන තිබෙනවා. මේ අවස්ථාව සමග අවස්ථා හතරක් අපි ණය ලබාගෙන තිබෙන්නේ විස්තීරණ පහසුකමක්. එයින් අදහස් කරන්නේ එයාලා දෙන ලද න්‍යායපත්‍රයකට අනුව එසේ නැත්නම් එයාලා සමග වෙන එකඟතාවයකට අනුව ආර්ථිකය මෙහෙයවීම.

ආර්ථිකය සුබ වෙයි කියලා බලාගෙන ඉන්නවා!

මෑතකදී වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් වෛද්‍යවරු, ඉහළ කළමනාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉහළ බදු කප්පාදුවට ලක්වූ අය ජනාධිපතිවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධනත්, මහ බැංකු අධිපති නන්දලාල් සමගත් සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී වෘත්තීයවේදීන් පෙන්වා දෙනු ලැබුවා, මේ උපයන විට ගෙවීමට සිදුව ඇති බදු මත ජීවිතය පවත්වාගෙන යාමට අපහසු බව. ඔවුන්ගේ බදු ලෙස කපා ගන්නා මුදල අවම කර ගැනීමත් එම මුදල් බැංකුව වෙත ලබාගත හැකි මාර්ගයත් ඔවුන් ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිවරයාත්, මහ බැංකු අධිපතිවරයාත් එය පිළිගත් අතර, ඔවුන් කියා සිටියේ මේකට තමන්ට විසඳුමක් දිය නොහැකි බවයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡාවක් අරගෙන දෙන්නම් එයාලට ඔය ගැටලු‍ව ඉදිරිපත් කරන්න කියලා. එයින් කියන්නේ තවදුරටත් මේ ආර්ථිකයේ තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හෝ මහ බැංකු අධිපතිවරයාට නැහැ. මෙයින් කියැවෙන්නේ අපට අපේ ආර්ථික ස්වෛරීභාවය අහිමිවී තිබෙනවා.

අයිඑම්එෆ් තවත් යෝජනාවක් තමයි ආණ්ඩුව දරන වියදම් අඩු කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුවේ සේවාවන් සපයන ආයතන සල්ලිවලට විකිණීමට තීරණය කරනවා. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය, මැරායන් ඉංජිනියරින් ක්ෂේත්‍රයට උගන්වන ආයතන එන්.ඩී.ටී. හා ටී.ටී.අයි. ආයතන දෙක. ගිය වසර දක්වා දරුවන්ට මෙම ආයතනවල අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නා. මේ වසරේ සිට දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට තීරණය කර තිබෙනවා. ගිණුම තුළනය කර ගැනීමට ආණ්ඩුව විසින් දරන පිරිවැය අඩු කිරීමට අවශ්‍ය්‍ය නිසා රජය විසින් ලබාදෙන සේවාවන් කප්පාදු කරනවා. පසුගිය 21 වනදා තවත් කැබිනට් තීන්දුවක් අරගෙන තිබෙනවා. කර්මාන්ත ඉංජිනේරු ආයතනය, කටුබැද්ද, මොරටුව. මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය, ඔරුගොඩවත්ත. මේවායේ අධ්‍යාපනය නොමිලේ ලබාදුන් ආයතන. දැන් මුදල් අයකිරීමට අනුමැතිය දී තිබෙනවා. පොකට් එකේ තරමට අධ්‍යාපනය ලැබිය හැකි අයට අධ්‍යාපනය සීමා වෙනවා.

අයවැය ලේඛනයෙන් පෙන්වන්නේ ආර්ථික දේහයේ තිබෙන කඩා වැටීමයි. මේ ප්‍රශ්නය ගිණුම්කරණයෙන් බේරිය නොහැකියි. අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇති සැලැස්ම කුමක්ද? ඔවුන්ගේ ඊළඟ යෝජනාව වන්නේ 2025 වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 10.3කට ගේන්න. ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූවක්. වැඩිම 8.3ක් තිබුණා 2014-2015 කාලයේ. විදෙස් සංචිත වැඩිකිරීමට කළ යුත්තේ කුමක්ද? අපි උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය අපේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට ඒවා සංචිතවලට එකතු වෙනවා. දැන් විදෙස් සංචිත නිර්මාණය කිරීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ඒවායේ පාලිත සමාගම්, ලංකා හොස්පිට්ල්, ෂෙල් ගෑස් සමාගම් ප්‍රතිව්‍යුහගත කිරිම. සරලව ගත හොත් විදෙස් සංචිත වැඩිකර ගැනීමත්, ගෙවුම් ශේෂය තුළනය කර ගැනීමත්, අයවැය හිඟය තුළනය කර ගැනීමත් සඳහාත් විකල්පය වන්නේ විකිණීම සහ ණයට ගැනීමත් යන ක්‍රියාමාර්ග දෙක පමණයි.

මහ බැංකුව යනු සේවක අර්ථ සාධක අරමුදලේ භාරකාරයා. එයාලා තවත් යෝජනාවක් ගේනවා මහ බැංකුව ස්වාධීන කළ යුතු බවට. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙනවා. එහි වගන්ති 46ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපි සුනිල් වටගල සහෝදරයා මැදිහත් වෙලා මේ පනතට විරුද්ධව නඩුවක් ගොනු කළා. එයට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් හා සමහර වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍යව තිබෙනවා. මහ බැංකුවට තිබෙන්නේ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම. රජයෙන් මහ බැංකුව මුළුමනින්ම ස්වාධීන කළ යුතු බවට මේ පනතින් යෝජනා කරනවා. පාර්ලිමේන්තුවේ කොප් කමිටුවටවත් මහ බැංකුව කැඳවීමේ බලයක් නැහැ.

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දූෂිතයෙකු ලෙස චෝදනාවට ලක්වූ අයෙකු තබාගෙන රනිල් වික්‍රමසිංහ දූෂණ විරෝධී පනතක් ගෙනවිත් තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ නීතිය තුළ නෙමෙයි. මහින්ද රාජපක්ෂ හොරෙකු බව කීවේ රනිල්. රනිල් මහ බැංකු හොරා බව පාර්ලිමේන්තුවේදී කිව්වේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධනයි. ඒ මහ බැංකුව කොල්ලකාපු අය දූෂණ විරෝධී පනතක් ගේනවා කීම විහිළුවක්. තිබෙන නීති ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment