වාහන බලපත්‍ර නැත්නම් මැතිවරණවලට නෑ

වාහන ආනයනය පිටුපස සැප වාහනත් එයිද?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගෙන් 30%කට ආර්ථික ගැටලු

සැප වාහනයක් තියා ෆුට් සයිකලයක්වත් ගන්නට තරමේ අපේ රටේ මිනිසුන්ට දැන් වත්කමක් නැත. රටින් භාගයක් පමණ මිනිසුන් නිවාස තැනීමට, තමන්ගේ කියා ව්‍යාපාරයක් පටන්ගැනීමට, උත්සව සාද පැවැත්වීමට, කෘෂිකර්මයේ නියැලීමට බැංකුවලට තම සේසතම උකස් කොට ණය වී අවසන්ය. ඇතැමකුගේ දේපළ, යාන වාහන මේ වනවිටත් බැංකු හා මූල්‍ය ආයතන අත්පත් කරගෙනය. පසුගිය කාලය තුළ වැඩිමනත් අය මේ කියන ණය උගුලේ හිරවුණේ කුඩා කාර් රථ, වෑන්, ලොරි, ත්‍රිරෝද රථ, යතුරු පැදි හා කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර ගන්නට ගොසිනි. ෆිනෑන්ස් කොම්පැනිකරුවන්ගේ වාහන පවරා ගැනීම් හා එම ආයතන මගින් පවරනු ලබන නඩු හබවලට මුහුණ දීමට දැන් වැඩිමනත් පිරිසකට සිදුවී ඇත. අද බොහෝ ව්‍යාපාරික ස්ථාන හා දේපළ බැංකුවලට සින්න වී ගොස් ඇත. රට මෙන්ම රටේ ජනතාව ද ආර්ථික අර්බුදයේ කරවටක්ම ගිලී ගොසිනි. එහෙත් ‘නැව ගිලුනත් බෑන් චූන් යැයි’ සිතා සිටින මැති ඇමැතිවරුන් රට වළපල්ලට ගියද තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය අඩුලුහුඬුකමකින් තොරව ගත කරන්නට සූදානමින් සිටින්නේය. තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද කිසිවක් අහිමි කරගන්නට මේ කියන දියවන්නාවේ මහත්වරු ටික කැමැති ද නැත. ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට පාර්ලිමේන්තු ගොස් තමන්ගේ ජීවිතය සැපවත් කරගන්නා බොහෝ දේශපාලනඥයන්ට මේ කතාව වලංගුය. එනම් දුප්පතාගේ වාහනයට බදු පිට බදු ගසා රටේ ජනතාවගේ මුදල් කොල්ලකමින් ඒ මුදලින් තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්නා රටේ පාලකයන්ට තවමත් ඇතිවී නැත. මේ ඒ කතාවය.

සැප වාහන ඉල්ලන මැති ඇමැතිලා

පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් එළඹෙන මැතිවරණ සමයට පෙර සැප වාහන හෙවත් V 8 වර්ගයේ වාහන ඉල්ලා සිටින බව මේ දිනවල පාර්ලිමේන්තු සභා ගර්භයේ කතාවෙන අලුත්ම කතාවකි. තීරු බදු රහිතව මැති ඇමැතිවරුන්ට වාහන ලබාදිය නොහැකි නම් වටිනාකමින් අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර ලබාදෙන්නැයි ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත. මෙම ප්‍රශ්නය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවද ලැබෙන ආරංචි මාර්ග පවසන්නේය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ කාලය තුළ තමන්ගේ දේශපාලන කටයුතු සිදුකිරීමට තමන්ට වාහන අවශ්‍ය බවත් ඒ සඳහා වාහන බලපත්‍ර කඩිනමින් ලබාදෙන්නැයි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මොනවද මේ සැප වාහන

බොහෝ ධනවතුන් තමන්ගේ ගමන් පහසුව සඳහා V 8 වැනි රථ යොදා ගන්නා ආකාරය මහමඟ නිරීක්‍ෂණය කළ කෙනෙකුට තේරුම් යන්නකි. එක්වර අටදෙනකුට පමණ බොහෝ සුවපහසුව ගමන් කළ හැකි මේ රථය ඕනෑම අබලන් මාර්ගයක පවා ගමන් කළ හැකිය. උපරිම වේගය පැයට කිලෝමීටර් 200 සීමාව ද පසුකර කිසිදු ආබාධයකින් තොරව ගමන් කළ හැකි මේ රථය අපේ රටේ ධන කුවේරයන් හා දේශපාලනඥයන් අතර බොහෝ ජනප්‍රිය රථයකි. මෙරටට ආනයනය කරන ලද මිල අධික සැප වාහන ලෙසින් ජනප්‍රිය වී ඇති මර්සිඩීස් බෙන්ස්, ප්‍රාඩෝ, අවුඩි, රේන්ජ් රෝවර්, ලෑන්ඩ් කෲෂර්, බී එම් ඩබ්ලිව්, ලැම්බෝගිනි, ෆෙරාරි වැනි රථ වැඩිමනත් පාවිච්චි කරනු ලබන්නේ මෙරට දේශපාලනඥයන් හා ධනවතුන්ය.

රටේ දුප්පත් ජනතාවට පාපැදියක්වත් ගන්නට තරමේ අතේ මුදලක් ඉතුරු නොවුණත් තීරු බදු රහිතව මෙරටට ගෙන එන සැප වාහන පදින්නේ ඉහත කියන දෙපාර්ශ්වයන්ය. මෙතැනින් ධනවතුන් ගැන අපට ප්‍රශ්නයක් නැත. ඒ ඔවුන් ව්‍යාපාර ඔස්සේ උපයා ගත් ධනයයි. එහෙත් මෙවැනි ආර්ථික අර්බුදයක් තිබියදී ජනතා බදු මුදලින් යැපෙන මහජන නියෝජිතයන් සැප වාහන ඉල්ලීම කිසිසේත්ම සාධාරණ නැත. ආණ්ඩුව දිනපතා ඩොලරයේ අගය වැඩිවී ඇති බවද විදෙස් මුදල් සංචිත මේ වනවිට භාණ්ඩාගාරය පිරී ඇති වැනි අදහස් ජනතාව අතරට ගෙන එන්නේද ළඟදීම ඩොලර් වැයකොට සිදුකරන වාහන ආනයනයකටය. ඇත්තෙන්ම ජනතා නියෝජිතයන්ට සැපවාහන අවශ්‍යමද? පසුගිය කාලය තුළ තමන්ගේ ගම් ප්‍රදේශයට යෑමට නොහැකිව තැන තැන හැංගී සිටි දේශපාලකයින් දැන් ගමට ගොස් සේවය කිරීමට සැප වාහන ඉල්ලීමද විහිළුවකි. මෙරට ජනතාවගේ මනාපවලින් මහජන සේවය පිණිස පාර්ලිමේන්තුවට පිවිසෙන ජනතා නියෝජිතයන්ට හැදෙන මේ සැප වාහන පිස්සුව නිසා තැලෙන්නේ අපේ රටේ ජනතාවමය. රජයේ රැකියාවක හෝ වේවා පෞද්ගලික රැකියාවක නියුතු කෙනෙකුට ලැබෙන පඩිය ගෙදර විදුලිබිල, ජලබිල, දුරකථන බිල් ගෙවා දමා එයින්ද නොනැවතී ගෙවල් කුලී, ආහාර වියදම් ද හැරුණුකොට ඔවුන් අත වාහනයක් මිලට ගැනීමට මුදල් එකතු කිරීමට හෝ ෆිනෑන්ස් වාරික ගෙවීමට අතේ මුදල් පිච්චියක්වත් ඉතුරු වන්නේ නැත. වාහන තබා ඔවුන්ට අද තම කුටුම්බය රැකගැනීමට එක රැකියාවක් කර බැරිය. අඩුම තරමේ ගෙදරක වියපැහැදමට දෙදෙනකු සිටින ගෙදරකට දෙදෙනාම රැකියාවන් කළ යුතුය. පස්දෙනකු සිටී නම් තිදෙනෙක්වත් රැකියා කළ යුතු වන්නේ ආදායමට වඩා අපේ රටේ වියදම සැර නිසාවෙනි. වියදම සැරයි කියන්නේ ආණ්ඩුව සෑම භාණ්ඩයකටම පනවා ඇති අධික බදු නිසාය. ආනයනික වෙළෙඳ භාණ්ඩවලට ගසා ඇති බදුවලින් ආණ්ඩුව ලබන්නේ දැඩි ලාභයකි. පිටරටින් මෙරටට ගෙන එන බීලූනු ගෙඩියේ සිට අල, පරිප්පු ආදී සෑම දෙයකින්ම ආණ්ඩුව හිතුමතේ බදු ගසමින් රටේ ජනතාවගේ මුදල් කොල්ලකන විට මේ කියන තීරු බදුවලින් තොරව ලබාදෙන සැප වාහන ඉල්ලා පාර්ලිමේන්තුවේ හඬ නැගීම ගැන දේශපාලකයින් ලජ්ජා විය යුතුය. ආණ්ඩුව ජනතාවට ඉන්ධන ටික ගන්නේ වැඩි මිලටය. ගෑස්, විදුලිය වැනි අත්‍යවශ්‍යම ටිකද ජනතාවට ලබාදෙන්නේද වැඩි මිලටය. එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ ජනතා නියෝජිතයන්ගේ සැප වාහනවලට වඩා මෙරට දුක්විඳින ජනතාවගේ ජීවිතය සැපවත් කිරීමය.

වාහන පර්මිට් එකෙන් දේශපාලනය කරන පොලිටික්ස්ලා

දේශපාලනයට එන විට බොහෝ අය ශරීරයෙන් කෙසඟ වුවත් ඉතා කුඩා කලකදී කඳ බඩ දා තරවන තරමටම අපේ රටේ දේශපාලනය සැපවත්ය. බොහෝමයක් දේශපාලනඥයින් ජනතා සේවයට බහින්නේ අමතර ආදායම් මාර්ග සොයා ගැනීමටය. බාර් පර්මිට්, ගල්කොරි පර්මිට්, වැලි පර්මිට්, දැව පර්මිට් ආදී අතයට ගනුදෙනුවලින් පොහොසත්වීම ඔවුන්ගේ එක අරමුණකි. එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ අපි කතා කරන ජාතියේ වාහන පර්මිට් එකය. මුදලින් කෝටි ගණනක වටිනාකමක් ඇති මේ කියන තීරු බදු රහිත වාහන පර්මිට් එකෙන් තම දේශපාලන ජීවිතයේ ගේම ගසා ගැනීමට රටේ දේශපාලකයින් බොහෝ සමතුන් ය. මෙසේ තීරු බදු රහිතව මෙරටට රැගෙන එන සුඛෝපභෝගී වාහන ධනවත් ව්‍යාපාරිකයකුට විකිණීමෙන් පසු ඒ මුදලින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නටද, එසේත් නැතිනම් තමන්ගේ පෞද්ගලික පාවිච්චියට සුඛෝපභෝගී වාහනයක් නැතිවම බැරි තැනටම අපේ රටේ දේශපාලනඥයන් පත්වී ද හමාරය. පැයට සැතපුම් 200 කටත් වඩා වේගයෙන් තම ගෝලබාලයින්ද පිරිවරාගෙන මහාමාර්ගයේ හරි අඩකටත් වඩා සන්තක කරගනිමින් කන්බිහිරි වන තරමේ නළා නාද කරමින් ජනතාවට පිහිට වීමට යන දේශපාලකයින්ද අප අනන්තවත් දැක ඇත. එහෙත් එසේ ඉගිල ගිය දේශපාලකයන් කළ වැඩක් නම් කොහේවත් දැක ගැනීමට අපහසුය. V 8 වැනි ඉහළ අශ්වබල එන්ජින් ධාරිතාවකින් හෙබි වාහන පොරකකා මිලට ගන්නා අය අතර අපේ රටේ දේශපාලඥයින් හා ඉහළ රාජ්‍ය නිලධාරීන්, සුපිරි ධනවතුන් හා රටේ නම ගිය ඇත්තන්ද ඇත. එමෙන්ම V 8 වැනි වාහනයක ගමන් කරන විට යම් සමාජ තත්ත්වයක් ආරෝපණය වන බවද සමාජ මතයක් ඇත්තේය. සමාජයට තමන් සිටිනා තැන හැඟවීමට බොහෝ අය මේ කියන වාහනය තෝරාගන්නේ ද එබැවිනි. දැනටමත් අපේ රටේ දේශපාලකයින් 50 කටත් අධික සංඛ්‍යාවක් අප කතා කරන වාහනයේ හිමිකරුවන් ය. එමෙන්ම ලැබෙන ආරංචි මාර්ග අනුව මෙවැනි වාහන 1500 ක් පමණ ප්‍රමාණයක් පසුගිය කාලය තුළ මෙරටට ආනයනය කර ඇති බවද නොරහසකි. ඉන්ධන දහනය අතින් ඉතා වැඩි මේ කියන සැප වාහන ඉන්ධන ලීටරයකින් ගමන් ගන්නේද කිලෝමීටර් පහක් වැනි ඉතා කෙටි දුරකි. එසේනම් ආණ්ඩුවෙන් දෙන සැප වාහන මෙන්ම වාහනයේ හැටියට තෙල් ද දීමට ආණ්ඩුවට සිදුවනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔවුන් ලබන්නා වූ වරප්‍රසාද අතරට වාහන, තෙල්, නිවාස, කාර්යමණ්ඩල සේවකයින්, ආරක්‍ෂක අංශ ආදී සැප සම්පත් ලබාදෙන විට මෙරට ජනතාවට සිදුවන්නේ හැමදාමත් දුක්විඳීමටය.

අඩු වූ තෙල් මිලෙනුත් වැඩි වාසි

ඡන්දෙට කලින් මැති ඇමැතිවරුන්ට හැදෙන V8 පිස්සුව

මෙයට හොඳම උදාහරණය වන්නේ පසුගිය මාසයේ සිදු වූ ඉන්ධන මිලේ සංශෝධනයයි. එම මිල සංශෝධනයේ සුපිරි පෙට්‍රල් මිල හා සුපිරි ඩීසල් මිල පමණක් අඩුවීමේ වාසිය අත්වූයේ ද අප කතා කළ සුපිරි පන්නයේ වාහන පදින්නන්ටය. එසේ නම් ආණ්ඩුව කරන්නේත් තෙල් මිලේ වාසියත් ඇති හැකි අයට දීමය. තෙල් මිල අධික වීම නිසා රටේ සියලු භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත.

රැකියාවට යනෙන උදවියත්, පාසල් යන දරුදැරියන් ද මේ ඉහළ ගිය තෙල් මිල නිසා දැඩි අසීරුතාවයට පත්ව ඇත. පසුගිය කාලය තුළ කිහිපවිටක්ම රජයේ හා පෞද්ගලික බස් රථ මගී ප්‍රවාහනයේ ගාස්තු වැඩි වූයේද තෙල් මිලේ වැඩිවීම නිසා ය. පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙරට බොහෝ පාසල් ප්‍රවාහන සේවයේ නියුතු වන්නන්ට සිය රැකියාව කර කියා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උදාවී ඇත. එහෙත් තෙල් මිලේ සහනය සුඛෝපභෝගී වාහන හිමිකරුවන්ට ලබාදීම තුළින් සාමාන්‍ය ජනතාවට ඇතිවන සෙතක් නැත. මෙවන් වාතාවරණයක් තිබියදී ආණ්ඩුව මගින් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරන්නේ දේශපාලනඥයින් සඳහා ලබාදීමට නියමිත සැප වාහන නිසා දෝ දැයි ඇතිවන්නේද දැඩි සැකයකි.

දේශපාලනයට ආ පැවිදි උදවියටත් සැප වාහන

සුපිරි වාහන කතාව ගිහි දේශපාලකයින් වගේම පැවිදි දේශපාලනයේ නියුතු ඇත්තන්ටද වලංගුය. පසුගිය කාලයේ සුපිරි ඪ 8 රථයක් සම්බන්ධයෙන් මෙරට භික්‍ෂූන්වහන්සේ නමක් ගැනද බොහෝ සෙයින් කතාබහට ලක්වුණ බව අපට මතකය. එනම් මෙවැනි සැප වාහනයක් මිලදී ගන්නට ගොස් වංචාකරුවකුට හසු වූ බවට ප්‍රවෘත්තියක් එකල කතාබහට ලක්විය. ඒ රටේ නම ගිය ප්‍රසිද්ධ භික්‍ෂුවක් සම්බන්ධ පුවතකි. ගිහි මෙන්ම පැවිදි හෝ වේවා දේශපාලනයට පිවිසුනහොත් බොහෝ දෙනකුට මේ කියන සැප වාහන පිස්සුව හැදෙන්නේ කිනම් කාරණයකටදැයි අපි නොදනිමු. ජනතා සේවයට වඩා සල්ලි ලොකු බව තේරුම් ගන්නා අපේ රටේ දේශපාලක උදවිය මේ කියන “මෝටර් රථ බලපත්‍රය” ලබාගෙන හැකි උපරිම මිලක් හිමි වාහනයක් තෝරාගන්නේ කරන දේශපාලනයට වඩා සැපවත් දිවියක් ගතකිරීමටය.

ඡන්දෙට අල්ලන සැප වාහන ඔට්ටු

ඡන්දයකදී දිනන පැත්ත ගැන කැටතියා ඔට්ටු අල්ලන පුළුවන් තරමේ පසුගිය කාලය තුළ එක් දේශපාලන පක්‍ෂයක් බලවත්ව තිබුණු බව අපට මතකය. එම ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයට පොල්පිත්තක් ද ඉදිරිපත් කළද ජයග්‍රහණය කරන බවට එකල මතයක් විය. මේ කතාව එළිවන්නේ එම පක්‍ෂයේම නමගිය දේශපාලනඥයකු පසුගිය 2015 ජනාධිපතිවරණයේදී තම නිල රථය වූ V 8 රථය ඔට්ටු අල්ලා පරාද වීමය. එහිදී තමන්ට හිමි සුඛෝපභෝගී රථය අදාළ ඔට්ටුකරුට දුන් පුවත විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලය තුළ අනාවරණය වන්නට විය. බොහෝ ධනවත් ව්‍යාපාරිකයෝ සහ දේශපාලනඥයෝ මේ කියන ඔට්ටු ඇල්ලීම ජනාධිපතිවරණ හා මැතිවරණ කාල සීමාව තුළ සිදුකරන ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා තුළින් හෙළිවන්නේ දේශපාලකයින්ට හා ධනවතුන්ට සුවපහසු ගමනකට අමතරව ඔට්ටු ඇල්ලීමට ද සැප වාහන … මෙවලමක් බවකි.

වාහන ආනයන සීමා ලිහිල් කරන කමිටුවක්

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ මෙරට වාහන ආනයනය සීමාකිරීමට රජය පියවර ගත්තේය. ඒ සමගම මෙරට වෙළෙඳපොළ තුළ තිබෙන රථ වාහනවල මිලද ශීඝ්‍රයෙන් ඉහළ යන්නට විය. මෙරට පැවැති ඩොලර් අර්බුදයට එසේ පිළියම් සොයන්නට ආණ්ඩුව එවක ක්‍රියා කළද මේ වන විට නැවතත් වාහන ආනයන සීමා ලිහිල් කරන වගක් පෙනෙන්නට ඇත. මේ සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත්කර ඇතැයිද මුදල් ඇමැතිවරයා පවසා ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයට අවශ්‍ය වාහන 750 ක් සහ බස් රථ 250 ආනයනය කිරීමට රජය මගින් අවසර ලබාදී ඇති බව පෙනෙන්නට ඇත. තවද භාවිත කළ වාහන ගෙන්වීම ආදී කාරණා ගැනද වාර්තාවක් සැකසීම අදාළ කමිටුව භාරදී ඇතැයිද ඇමැතිවරයා විසින් පවසා ඇති බවද වාර්තා වේ. ආර්ථික අර්බුද හේතුවෙන් ආනයනය සීමා කළ වාහන ආනයනය දැන් කෙමින් විවෘත වන අන්දමක් පෙනෙන්නට ඇත. සංචාරක ක්‍ෂේත්‍රයේ දියුණුව උදෙසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ගැනද රාජ්‍ය ඇමැතිවරයාට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. එහෙත් ඉදිරියේදී එය එසේ සිදුවේවිද කියා අපට ඇතිවන්නේද ප්‍රශ්නාර්ථයකි. සංචාරක ක්‍ෂේත්‍රයේ වැඩිදියුණුව මුවාවෙන් මෙරටට සැප වාහනත් ගෙන ඒමට බලධාරීන් ක්‍රියාකරාවිද යන්න ඇතැමකු ඇසුවහොත් එය පුදුමයට කාරණාවක් ද නොවනු ඇත. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම කාලයක් තිස්සේ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත බලපත්‍රයකට හිමිකම් කීවද මීට වසර නවයකට පෙර අත්හිටු වූ එම වාහන බලපත්‍ර නැවත ලබාදීම සක්‍රීය වන්නට මේ පහළවී ඇත්තේ පෙරනිමිතිද? එසේ නොමැතිනම් මේ එන්නේ සැප වාහන ආනයනයේ කසකරුවන්ද? පෙරහැරේ මුලින්ම එන කසකරුවෝ අඟවන පරිදි ළඟ එන්නේ පෙරහැරක් බවත් එය සැප වාහන පෙරහැරක් නොවේවා යැයි අපි සිතමු.

ආර්ථික ප්‍රශ්න මන්ත්‍රීලාටත්

මෙරට පොදු ජනතාවට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික අර්බුදය මෙරට දේශපාලනඥයින්ටද බලපා ඇති බවද පුදුමයට කරුණක් වන්නේය. බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇති අන්දමට පවතින ආර්ථික අර්බුදය නිසා ඉදිරි මැතිවරණවලදී තමන් මැතිවරණවලට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද ඔවුන් කියා සිටින්නේය. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවිඳින බවද ලැබී ඇති ආරංචි මාර්ගවලින් තහවුරු වේ. ඔවුන් පවසන ආකාරයට දේශපාලනය කිරීමට නම් යහමින් මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා රජය මගින් ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය බෙහෙවින් වටිනා බවත්ය. තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ විශාල මුදල් සම්භාරයට වැයකර බවත් එසේ වැය කළ මුදල නැවත අය කරගත හැක්කේ වාහන පර්මිට් එක විකුණා ගැනීමෙන් බවද මේ දේශපාලනඥයන් පවසන අනිත් කාරණාවය. තවද මන්ත්‍රීවරුන් කියාසිටින්නේ ඉන්ධන මිල අධිකවීම නිසා බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහ උත්සවවලට සහභාගි නොවන බවත්ය. රටේ ජනතාව නැතිබැරිකමින් අන්ත අසරණව සිටියදී සැප වාහන ඉල්ලා හඬනගන මේ උදවියට පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙරට ජනතාවට මැවූ වාහන සිහින දැන් මතක නැත. එහෙත් අපට හැඟෙන්නේ මෙතරම් මුදල් වැයකොට අපේ රටේ දේශපාලකයන් දේශපාලනයට පිවිසෙන්නේ ජනතා සේවයටම ද යන්නය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment