මේ වන විට ලොව බොහෝ රටවල් ප්‍රමාණයක් තම වෙළෙඳ කටයුතු සඳහා භාවිත කරන මුදල් ඒකකය වන්නේ ඇමරිකන් එක්සත් ජනපද ඩොලරයයි. 2020 වසර වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලැබූයේ ශ්‍රී ලංකා රුපියල් දෙසීයකට ආසන්න මුදලකි. කාලයක් තිස්සේ රබර් බෝලයක් මෙන් ඉතා ආයාසයෙන් ඉහළ යෑම නවත්වාගෙන සිටි ඩොලරය නිසා අවසානයේ සිදුවූයේ ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් පමණ වූ විදෙස් සංචිත ශීඝ්‍රයෙන් අන්තිම අඩිය දක්වා පහත වැටීමයි. අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කිරීමත් සමඟ තටු ලැබුණු කුරුල්ලකු මෙන් ඩොලරය ඉගිල ගිය අතර අන්තිමට ඩොලරය නතර වූයේ රුපියල් තුන්සිය හැටකට අධික මුදලක් ගෙවනු ලැබීමෙන් පසුවය.

වැඩි වශයෙන් ආනයන මත රඳා පවතින ආර්ථිකයක් හිමි රටකට එය දැඩි සේ බලපාන්නට වූ අතර අල්පෙනෙත්තේ සිට සෑම දෙයකම මිල ගණන් පැවති මිල මෙන් තුන් හතර ගුණයකින් ඉහළ ගියේය. ඒ අතරින් කීපයක් වන්නේ රුපියල් 117 කට තිබුණු ඉන්ධන ලීටරය රුපියල් 400 ඉක්මවා යෑමත් රුපියල් 1400 ක් වැනි මිල පරාසයක පැවැති ගෑස් ටැංකිය රුපියල් 5000 ඉක්මවා යෑමත් රුපියල් 900ට තිබුණු සිමෙන්ති කොට්ටය රුපියල් 3000ට ආසන්න වීමත්ය. ඉන්ධන මිල ඉහළ යෑමත් සමගම ඊට සමගාමීව සෑම භාණ්ඩයකම මිල
ගණන්ද තුන් හතර ගුණයකින් වැඩිවිණි.

දැන් ඒ කතාව අතීතයට එක් වී අවසානය. සංචාරක කර්මාන්තය කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත්, විදේශ ප්‍රේෂණ ඉහළ යෑමත්, රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ අහසට ගිය ඩොලරය දැන් බිමට බහින ආකාරය දක්නට ලැබෙයි. ඩොලරයේ අගය ඉහළ යෑමත් සමග බොහෝ පිරිසක් දැඩි පීඩාවකට පත්වුණත් තවත් පිරිසකට එයින් අත්වූයේ ආර්ථික වාසියකි.

අප රට වැඩි වැඩියෙන් අපනයන සිදු කරන රටක් නම් ඩොලරයට සාපේක්ෂව අපට හිමිවන රුපියල් ප්‍රමාණය ඉහළ නිසා මෙරට කර්මාන්තශාලා සඳහා අමුද්‍රව්‍ය සපයන බොහෝ පිරිසකට තමන් සපයන භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලැබිණි. එක් කොටසකට අවාසි සිදුවන අතරේ තවත් කොටසකට එම අර්බුදය වාසියක් වූයේ ඒ ආකාරයෙනි.

ඩොලරයේ මිල යළි ස්ථාවර වන මට්ටමක් දක්නට ලැබේ. මේ වන විට රුපියල් තුන්සියයයේ සීමාවෙන් දෙසීය ගණනේ සීමාවට ඩොලරය පල්ලම් බැස තිබේ. අප බලා සිටියේ ඩොලරයක් සඳහා ගෙවන මුදල රුපියල් 200-250 පමණ වී යළි රට යථා තත්ත්වයට පත්වී පෙර පැවති මිල ගණන්වලට භාණ්ඩ ලබා ගැනීමට හැකි වී සියලු ප්‍රශ්න විසඳේවි කියායි.

නමුත් ඩොලරයේ මිල පහළ යෑමත් සමග එක පැත්තකින් මෙරට ජනතාවට වාසියක් අත්වන අතර තවත් පැත්තකින් ඒ හා බැඳුණු ක්‍ෂේත්‍ර රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත. අප මුලින්ම මේ පිළිබඳව විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාගෙනි. ඒ මහතා මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය පසුගිය කාලය පුරාම දිගින් දිගටම උච්ඡාවචනය වීමකට ලක්වුණා. රටක විනිමය අනුපාතිකය උච්ඡාවචනය එම රටට කොපමණ බලපෑමක් සිදු කරනවාද යන කාරණය තීරණය වන්නේ එම රටේ ජනතාව වෙනත් රටවල් මත කොපමණ රඳා පවතිනවාද යන කාරණය මතයි. වෙනත් රටක් සමග ගනුදෙනු කිරීමේදී ආනයන අපනයන ක්‍රියාවලිය, විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ එවීම් වැනි අංග වැදගත් වෙනවා වෙනත් රටක මුදල් ඒකකය පිළිබඳ තීරණය වෙන්න.

1978 ආර්ථිකය විවෘත කිරීමත් සමඟ ක්‍රම ක්‍රමයෙන් රුපියලේ අගය පිරිහීමක් දක්නට ලැබුණා. එයට හේතුව රටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණයේ ඉහළ ඉහළ යෑමයි. මෙහි උච්චතම අවස්ථාව දෙදහස් විසිදෙක වසරේ මැද භාගයයි. පසුගිය වසර තුනක කාලය තුළ රුපියල දැඩිව කඩා වැටීමක් දක්නට ලැබුණු අතර මේ වන විට යළි ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙනවා. එය විවිධ පුද්ගලයන්ට විවිධ ජනකොටස්වලට සහ ව්‍යාපාරිකයන්ට විවිධ ආකාරයට බලපානවා. රුපියලේ අගය පිරිහීමත් සමග සමඟ ආනයනික භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. මේ අතරින් ඉන්ධන මිල ඉහළ යෑම විශේෂයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම නිසා මෙරටට එන සංචාරකයන්ට ඩොලරයක් සඳහා ලැබෙන රුපියල් ප්‍රමාණය ඉහළයි. ඒ නිසා සංචාරකයන්ට හොඳ ලාභදායක ගමනාන්තයක් බවට මෙරට පත්වුණා. ඒත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ ගියා. අනෙක් පැත්තෙන් යළි ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය පහල යෑමත් සමඟ මෙරටට වඩා ලාභදායක ගමනාන්ත වෙත සංචාරකයන් යොමු වීමට තියෙන ඉඩකඩ වැඩියි.

ඒ වගේම මේ තාක් ඉන්ධන ආදී ඉහළ ගිය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් පහළ යෑමක් දක්නට නොලැබීම ජනතාවට සෘජුවම බලපෑමක් එල්ල කරනවා. රුපියල දුර්වල වන හැම අවස්ථාවකම එහි අවාසිය ජනතාව මත එල්ල වුණත් රුපියල ශක්තිමත් අවස්ථාවල එහි වාසිය ජනතාවට හිමිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

එහෙම මෙහෙම කොහොම වුණත් ඩොලර් නිසා හැමදාම පාඩුයි

ඒ වගේම විදේශ ප්‍රේෂණ එවන පුද්ගලයන්ටත් යළි රුපියල ශක්තිමත් වීම එක්තරා ආකාරයකින් අවාසිදායකයි. ඒ ඔවුන්ට කලින් ලැබුණු මුදලට සාපේක්ෂව අඩු මුදලක් හිමිවීම හේතුවෙන්. එක පැත්තකින් ඩොලරය පල්ලම් බහිද්දි තවත් පැත්තකින් එය ජනතාවට බලපෑමක් එල්ල කර ඇත. ඩොලරයක අගය වැඩිවීම මෙන්ම අඩුවීමද ජනතාවට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරන ආකාරය පිළිබඳ අප කිහිප දෙනකුගෙන් අදහස් විමසා සිටි අතර මේ ඔවුන් දැක්වූ අදහස් වලින් කිහිපයකි.

පී. ඒ. නිහාල් පේමසිරි මහතා සුළු පරිමාණයේ තේ ඉඩම් හිමියෙකි. මේ ඔහුට ඩොලරයේ අඩු වැඩිවීම බලපාන ආකාරයයි.

මට අක්කර එකහමාරක දෙකක විතර තේ ඉඩමක් තියෙන්නේ. අපට ඉස්සර තේ දලුවලට ගෙව්වේ රුපියල් 190 – 200ක් වගේ මුදලක් තමයි. ඒත් රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් සමග අපට දලු කිලෝ එකකට රුපියල් 350 – 400ක් දක්වා මිල ගෙව්වා. තේ ෆැක්ටි්‍රයෙන් ඇහුවහම කිව්වේ දැන් ඩොලර් එකට ගෙවන රුපියල් ගාන වැඩි නිසා එහි වාසිය ජනතාවට දෙනවා කියලයි. රටේ තිබුණු බඩු මිලත් එක්ක ඒක ඒ වෙලාවේ ලොකු සහනයක් වුණා. ඒත් දැන් වෙලා තියෙන්නේ තිබුණු තැනිනුත් පල්ලෙහාට වැටෙන එක. තේ මිල වැඩිවෙන්න කලින් දලු කඩන අයට කිලෝ එකකට ගෙව්වේ රුපියල් 15-20යි. රටේ බඩුමිල වැඩිවුණාම වගේම දලුවලට ගෙවන ගාණ වැඩිවුණත් එක්ක රුපියල් 30-40ක් ගෙවන්න වුණා. අපිට ඒ වෙලාවේ ඒක අපට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම ඒ වෙනකොට පොහොර කොට්ටයක් තිබුණේ රුපියල් 6000යි. දැන් ඩොලර් එක අඩු වුණත් තවමත් පොහොර මිලනම් අඩු වුණේ නැහැ. සේවකයන්ට දලු කඩනවට ගෙවන ගාණ අඩු කරන්නත් බැහැ. ගිය මාසෙ වෙනකොට කිලෝ එකකට ගෙව්වෙ රුපියල් 200 -225යි. ඉස්සරහට තවත් අඩු වෙයි කියලා තමයි දලු ලොරියෙන් කිව්වේ. පොහොරවලටයි දලු කඩන කට්ටියටයි ඉඩම සුද්ද කරන්නයි වියදම් කරහම අතේ ඉතුරු වෙන ගාණක් නෑ. දැන් අපට වෙලා තියෙන්නේ අතින් කාලා හරක් බලනවා වගේ වැඩක්.

මීළඟට අප අවධානය යොමු කළේ මෑත කාලයේ ඩොලරයේ මිල පහළ යෑමත් සමඟ ඉතා විශාල වශයෙන් මිල පහළ ගිය භාණ්ඩයක් වන ජංගම දුරකථන අලෙවි හලක හිමිකරුවකු වෙතයි ඔහු නමින් සුමිත් හේමන්ත මහතායි.

ඉස්සර රුපියල් 2000-3000 තිබුණු අඩුම ෆෝන් එකත් රුපියල් 8000 – 10000 දක්වා මිල ඉහළ ගියා. බිස්නස් එක කරගෙන යන්න බැරිම තත්ත්වයක් තමයි උදාවෙලා තිබුණේ. හැම ෆෝන් එකකම මිල තිබුණා වගේ දෙතුන් ගුණයකින් ඉහළ ගියා. අපිත් බලන් හිටියේ කොයි වෙලාවෙ හරි බිස්නස් එක හරියාවි කියලා. ඒත් දැන් වෙලා තියෙන්නේ වෙන දෙයක්. දැන් ඩොලර් එක ටික ටික පහළ යනවත් එක්කම පසුගිය දවසක නිවුස්වලට කිව්වා ෆෝන් මිල විශාල වශයෙන් අඩු වුණා කියලා. මේ කියපු විදිහට ලක්ෂ ගණන්වලින් ෆෝන් මිල බැහැලා තියෙන්නේ. හැබැයි අපිට නම් ඔය එක එක සංගම්වලින් කියන තරම් ගණන්වලින් අඩු කරන්න බැහැ. මේ වෙද්දි ඩොලර් එක රුපියල් 300 වගේ සීමාවක තියෙන නිසා ගොඩක් ස්මාර්ට් ෆෝන් රුපියල් 5000හේ සිට මිල අඩු වෙලා තියෙනවා. ඒක එක පැත්තකින් පාරිභෝගිකයන්ට වගේම අපටත් හොඳ කාරණයක්. මොකද වෙනදා ෆෝන් එකක් දිහා හැරිලවත් බලපු නැති මිනිස්සු දැන් නිකමට ගාණ අහන්න හරි කඩේට එනවනේ. ඒත් ගැටලුව වෙන්නේ වැඩි ගණන් දීලා ගෙනාපු ෆෝන් පාඩු විඳගෙන අඩු මිලට දෙන්න වෙන එක. ඒත් කරන්න දෙයක් නෑ හැමෝම මිල අඩු කරන නිසා අපටත් නිකම්ම මිල පහළ දාන්න වෙනවා. ඒක එක පැත්තකින් දරාගන්න අමාරුයි. අපිත් මේ බිස්නස් කරන්නේ ගොඩක් වෙලාවට ණයටනේ.

පද්මිනී ප්‍රේමලතා මහත්මියගේ සැමියා විදෙස් රටක රැකියාව කරන පුද්ගලයෙකි. ඇය තම ස්වාමියා එවන මුදල් ඉතා අරපරෙස්සමින් වියපැහැදම් කරමින් දරුවන් රැකබලා ගන්නා ගෘහනියකි. ඇය ඩොලරය පහළ යෑමත් සමග එය ඇයට බලපාන ආකාරය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

ඩොලර් එකේ මිල අඩු වුණත් අපට කරදරයි. වැඩි වුණත් කරදරයි. එක පැත්තකින් ඩොලර් එක වැඩි වෙනකොට මෙහෙ බඩු මිල ඔක්කොම වැඩි වෙනවා. බඩු මිල වැඩි නිසා ගෙයක් දොරක්වත් හදාගන්න බැහැ. මහත්තය ගිය පාර රට යනකොට සිමෙන්ති කොට්ටේ තිබුණේ රුපියල් 900 ට. දැන් රුපියල් 2300යි. ඉතින් ගෙවල් දොරවල් හදල ඉවරයි.

ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් මහත්තයා හම්බු කරලා මෙහෙට එවන සල්ලිවලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙන නිසා වාසියි.

ඒත් මේ වෙද්දි නම් ඩොලර් එක ටිකක් බැහැලා. ඒ වුණාට බඩු මිල අඩුවෙන්නෙ නැහැ. ඒකෙ වාසිය කපටි ව්‍යාපාරිකයන් වගේම ආණ්ඩුව තමන්ගේ වාසියට හරවා ගන්නවා. දුප්පත් මිනිස්සු තමයි කොහෙන් ගියත් තැලෙන්නේ. දැන් වෙනද එවන ලැබුණු තරම් මුදලක් ලැබෙන්නේ නැහැ.

ගම්පහ නගරයේ කුළුබඩු ව්‍යාපාරයේ යෙදෙන්නකු වන ඒ. ටී. ජයරත්න මහතා ඩොලරය පහත බැසීම නිසා ඔහුගේ ව්‍යාපාරයට දැඩි කඩාවැටීමකට ලක්ව ඇති බව කියයි.

“මම පහුගිය කාලය තුළ ගම්මිරිස්, කෝපි, කුරුදු ගොඩක් ස්ට්‍රොක් කර ගත්තා. ඒ ඩොලර් ආයි වැඩිවෙයි කියල හිතලා. ඒත් දැන් ඩොලර් එක බැහැලා නිසා අපනයනකරුවන් අපට දෙන ගානත් බස්සලා. අපි මේ බඩු රැස්කරගත්තේ බැංකු ලෝන් පවා දාලා. දැන් මේවා ටික අඩුමුදලකට තමයි දෙන්න වෙන්නේ. ඩොලර් එක වැඩිවෙනකන් මේවාදැන් තියන් ඉන්න බෑ. ඉල්ලන ගානට දෙන්න වෙනවා. අපිට ඉතින් ගොඩක් පාඩු තමයි මේ නිසා විඳින්න වෙන්නේ.

කාසියක දෙපැත්ත මෙන් ඩොලරයේ අඩු වැඩි වීමේ වාසි මෙන්ම අවාසි ද රැසක් පවතී. නමුත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට එයින් වන බලපෑම ඉතා අවමය. ඔවුන් කෙසේ හෝ එහි පාඩුව ජනතාව පිට පටවන අතර වාසිය තමන් දෙසට හරවා ගනී.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment