පාතාල මර්දනයට කණ්ඩායම් විස්සක්….

කංජිපානිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්…

මල් වඩමක් තෑගි ලැබූ ජේලර්…

කුඩු සාදයක් දැමූ සැරයන්ලා…

යුක්තිය මෙහෙයුම පටන් ගැනීමත් සමග මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී යන අයුරු අපට දක්නට හැකි විය. සමහරක් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය. සංවිධානාත්මක අපරාධකරුවන්ට රිසිසේ තම පාතාල ක්‍රියාකාරකම් සිදු කරගෙන යෑමට නොහැකි විය. එහෙත් එලෙස ගත වූයේ සති කිහිපයක් පමණි. අඩපනව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය යළි හිස ඔසවන්නට පටන් ගත්තේය. එය කොතරම් ප්‍රබල වූවාද කිවහොත් පසුගිය සති තුන පුරාවට වෙඩි තැබීම් තිහක් සිදුවී ඇත. එයින් විසි එක් දෙනකු මියගොස් ඇත. එමෙන්ම එම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සහ විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සහ ඒවා ජාවාරමේ නිරතවූ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට ද යුක්තිය මෙහෙයුමට හැකිවිය.

එලෙස අපරාධ වැඩි වීමත් සමග යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් යුද හමුදාවද සම්බන්ධ කරගෙන යළි පටන් ගත්තේය. එයට අමතරව පාතාලය මර්දනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් විස්සක් යෙදවීමටද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළේය. ඉන් පසු අපරාධවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණි. පසුගිය සති කිහිපය තුළ විශේෂයෙන්ම දකුණු පළාතේ ඝාතන රැසක් සිදුවිය. එම ඝාතන සිද්ධිවලට සම්බන්ධ කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට හැකි විය. පහතින් පෙළගැසෙන්නේ පසුගිය සතිය පුරාවට මෙරට සිදුවූ විශේෂ ගණයේ අපරාධ සහ යුක්තිය මෙහෙයුම ඔස්සේ අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ එම ජාවාරම්කරුවන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

පාතාල මර්දනයට විශේෂ කණ්ඩායම් විස්සක්…

ගේමක් ගහන්න හිටි දිනේෂ් එස්ටීඑෆ් එකටත් ගේමක් දෙන්න ගිහින් වෙඩි කා මරුට

දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුමට සමගාමීව පසුගිය 19 දින සිට පාතාල මර්දනය සඳහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කටයුතු කළේය.

එලෙස අලුතින් පිහිටුවන කණ්ඩායම් විස්ස යොදවා මේ වනවිට විවිධ පළාත්වල ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා කටයුතු කරනු ලැබේ.

සෑම කණ්ඩායමක් සඳහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිලධාරීන් 04 ක්, විශේෂ කාර්ය බළකා නිලධාරීන් 02 ක් ඇතුළු නිලධාරීන් 09 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමග අනුයුක්ත කර ඇත.

පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවූ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබුණි.

එස්. ටී. එෆ්. සමඟ වෙඩි තබාගත් ප්‍රබල පාතාල සාමාජිකයා…

මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඬලීම සඳහා සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ලබාදෙන්නේ නොමඳ සහයකි. විටෙක ප්‍රබල පාතාල අපරාධකරුවන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කර විවිධ පුද්ගලයන් ලවා එම බළකායට මඩ ගසමින් ජනතාව තුළ වැරදි චිත්‍රයක් මැවීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළේය. එහෙත් ඒවා අසාර්ථක වූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය යනු කුමක්ද කියා මෙරට සිටින බුද්ධිමත් ජනතාව හොඳින් දන්නා නිසාය. විශේෂයෙන්ම අපරාධකරුවන්ට ඔහුන්ගෙන් නම් ගැළවුමක්ම නොමැත.

තවද පාතාල අපරාධකරුවන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ගෙන එම අපරාධකරුවන්ට රෙදි නොමැතිව කඩේ යන නීතිඥවරයකු ද සිටී. ඔහු විටින් විට මාධ්‍ය සාකච්ඡා පවත්වා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් නිවැරදිකරුවන් ලෙස හුවා දැක්වීමේ අසාර්ථක නාට්‍යයක් රඟදක්වයි. මේ ඒ පාතාල අපරාධකරුවන් නිවැරදිකරුන් බවට පත්කිරීමට වෙහෙසෙන කළු කෝට්කාරයා ගැන නොව පසුගිය 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ තවත් සුවිශේෂී මෙහෙයුමක් ගැන සටහනකි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර මහතාගේ මඟපෙන්වීම මත විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 20 වන දින ගණේමුල්ල පොලිස් වසමේ අංක 11/ජී, සුමේධ මාවත, ගණේමුල්ල ලිපිනය දරන නිවසට ගියේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු යම් අපරාධයක් කිරීම සඳහා පැමිණ ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් හරාය.

එම නිවසේ සැඟවී සිටියේ අන් කිසිවෙක් නොව මාකිලංගමුවේ සංජීව නැමැති පාතාල කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයකු වන දිනේෂ් වසන්ත නැමැති පුද්ගලයාගේ ගෝලයකු සහ වෙඩික්කරුවකු වන ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මීට මාස 04කට පෙර ඉන් පලාගිය අංක 321/සී, මොරගොල පාර, බුළුගහපිටිය, ඇහැළියගොඩ නිවසේ පදිංචි වයස අවුරුදු 28 ක් වන රත්නපුර බටුගෙදර ආරච්චිලාගේ ශෙහාන් අසංක බටුගෙදර යන පාතාල සාමාජිකයාය. ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීහු එම නිවස පරීක්ෂා කිරීමට ගියහ. එලෙස පරීක්ෂා කිරීමට යෑමේදී එහි උඩුමහලේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එලෙස එල්ලවූ වෙඩි හුවමාරුවේදී මෙම පාතාල කල්ලි සාමාජිකයා සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තුවාල ලැබීය. වහාම තුවාලකරුවන් දෙදෙනා රාගම මූලික රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී පාතාල කල්ලි සාමාජිකයා මියගිය අතර නිලධාරියා මෙම ලිපිය ලියන මොහොත වනවිටත් වැඩිදුර ප්‍රතිකාර ලබයි. මෙලෙස වෙඩිකා මියගිය පාතාල කල්ලි සාමාජිකයා මාකිලංගමුවේ සංජීව නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින දිනේෂ් වසන්ත නැමැති පුද්ගලයාගේ අනුදැනුම මත පසුගිය 09 වන දින ජාඇල පොලිස් වසමේ දඬුගමුව ප්‍රදේශයේදී තවත් පාතාල කල්ලි සාමාජිකයකු වන කුඩු අංජු නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කරන ලද පුද්ගලයා වන අතර මොහු සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් හා පතුරම් ගැබක් ද ඊට යොදන ජීව උණ්ඩ කිහිපයක්ද සොයාගැනීමට හැකිවිය. තවද මෙම මියගිය පුද්ගලයා අපරාධයක් කිරීම සඳහා පැමිණ මෙහි සැඟව සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

බාසික් නිදහස් ගෝලයා මාට්ටු…

ගේමක් ගහන්න හිටි දිනේෂ් එස්ටීඑෆ් එකටත් ගේමක් දෙන්න ගිහින් වෙඩි කා මරුට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ දමා තිබූ හොරොයින් නඩුවකින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ පසුගිය 14 වැනිදාය. එදිනම දෙහිවල සුමුදු රාජපක්ෂ මාවත ක්‍රීඩාපිටිය ඉදිරිපිට මාර්ගයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදුකළේය. එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය. වයස අවුරුදු 33 ක් වන මෙම සැකකරුව ත්‍රිරෝද රථයක් හා ජංගම දුරකථනයක් සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දුන්නේය.

පසුව ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී දැනගන්නට ලැබුණේ මෙම සැකකරු දැනට විදේශගතව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ශිරාන් බාසික් නැමැත්තාගේ දෙහිවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ප්‍රධාන ගෝලයකු බවයි. එලෙසම මාර්තු මස 10 වන දින දෙහිවල ගල්වල පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ ටී 56 පතුරම් ගැබ් හා ජීව උණ්ඩ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට අදාළව එම ස්ථානයේ තිබූ තවත් මත්ද්‍රව්‍ය සහ ටී 56 පතුරම් ගැබ් හා ජීව උණ්ඩ හා පිස්තෝල පතුරම් ගැබ් රැගෙන පලාගොස් සැඟව සිටි මෙම නඩුවට අත්‍යවශ්‍යව සිටි සැකකරුවකු බවයි.

සමන් කොල්ලා නිසා කොස්තාපල්වරුන් දෙදෙනෙක් ගස්…

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සමන් කොල්ලා’ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩය පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් නොකිරීම නිසා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්වූයේ එම අවස්ථාවේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු සහ පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාය. අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

මෝදරවීදිය වෙඩික්කරු…

පසුගිය පෙබරවාරි 13 වැනිදා මෝදරවීදිය කොළඹ 15 ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරුව අත්අඩංගුවට ගැනීමට පසුගිය 16 වැනිදා හැකි විය. එදින සවස් කාලයේදී පෑලියගොඩ, වික්ටෝරියා පාලම ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600ක් ද සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරු පරකන්දෙනිය, ඉඹුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම අපරාධ සිද්ධියට අදාළව මේ වනවිට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් එක් සැකකරුවකු, මෝදර පොලිස් ස්ථානය මගින් තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් අපරාධය සිදුකිරීමට පැමිණි මෝටර් රථයක් හා අපරාධයෙන් පසු පළායෑමට භාවිතා කළ ත්‍රිරෝද රථයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

ජේලර්වරයකුට මල් වඩමක්…

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයකු විසින් එහි බන්ධනාගාර රෝහල පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසි කර තිබූ අතර එම පාර්සලය රාජකාරියේ නියුතු ජේලර්වරයකු විසින් දැක අත්අඩංගුවට ගෙන තිබුණි. එම පාර්සලය වැටී තිබූ ස්ථානය අසලින් බන්ධනාගාරගත සැකකරුවකු ද රැඳී සිට තිබුණි. එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තහවුරුවී තිබුණු අයෙකි. එම නිසා ජේලර්වරයා විසින් සැකකරු කැඳවා අදාළ පාර්සලය පිළිබඳ ප්‍රශ්න කර තිබේ. එහිදී එම පුද්ගලයා ඒ පිළිබඳ කිසිත් නොදන්නා බව පවසා තිබුණත් ජේලර්වරයාගේ සැකය යොමුවී තිබුණේ එම සැකකරු දෙසටයි.

මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසු එනම් පසුගිය 18 වැනි දින පෙරවරුවේ ජේලර්වරයාගේ නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගන්නා මල් වඩමක් හා ඉටිපන්දමක් තබා ගොස් තිබුණි. එම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධියට ඉහත සඳහන් කළ සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට සැක පල කරයි. එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයකු යොදවා විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවා තිබේ.

පච්ච කල්ලිය…

සංවිධානාත්මක අපරාධවලට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍යව සිටි පච්චයන් ලෙස හඳුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර පොලිස් වසමේ හන්තාන, අංක 05, තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පළේ දී සිදුකළ වැටලීමකදීය.

එහි දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක ආපරාධවලට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනකු හා ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ගේමක් ගහන්න හිටි දිනේෂ් එස්ටීඑෆ් එකටත් ගේමක් දෙන්න ගිහින් වෙඩි කා මරුට

තවද කාර් රථයක්, එක්සත් ආරාබි රාජ්‍යයේ ඩිනාර් හා ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් හා තවත් භාණ්ඩ රැසක්ද සොයා ගැනීමට හැකිවිය. පසුව සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබිණි.

හරක්කටාගේ පිම්ම වැළැක්වූ එස්. අයි. …

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක්කටා’ රහස් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කරද්දී ඔහු සමඟ තනිවම සටන් කර එම උත්සාහය වැළැක්වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාට උසස් වීමක් ලබාදීමට කර ඇති යෝජනාව මේ වනතුරුත් ක්‍රියාත්මක වී නොමැත.

හිටපු පොලිස්පතිවරයාගේ සමයේ මෙම ඉල්ලීම විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතා විසින් කර තිබූ අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

මෙම නිර්භීත ක්‍රියාව සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් පරීක්ෂක නිලයට උසස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ ද සහය ඇතිව හරක්කටා එම දෙපාර්තමේන්තු මූලස්ථානයේ රාජකාරි කළ විශේෂ කාර්ය බළකායේ නිලධාරියාට පහරදී ඔහු සතුව තිබූ පිස්තෝලය ද පැහැරගෙන පලා යෑමට උත්සාහ කළේය. එහෙත් 52 හැවිරිදි වියේ පසුවූ එම විශේෂ කාර්ය බළකා නිලධාරියා, 33 හැවිරිදි වියේ පසුවූ හැඩිදැඩි සිරුරක් ඇති, පාසල් සමයේ දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ හරක්කටා සමග පොරබදා ඔහු නැවත අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කංජිපානිගෙන් පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…

පසුගිය පෙබරවාරි 05 වැනිදා මිහිජය සෙවණ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් මරණ තර්ජන කළ බවට එක්තරා විද්‍යුත් නාලිකාවක් විසින් විකාශය කළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බැවින් එවැනි අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගිය එම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නිසි විනයානුකූල පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නමැත්තා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

ප්‍රතිවාදී පාතාල කල්ලිවලින් මෙන්ම ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ද සිය ජීවිතයට එල්ලවී ඇති තර්ජන නිසා තමාට තැනින් තැන සැඟවී සිටීමට සිදුවී ඇති බවත්, එලෙස තිබියදී මෑතකදී රන්දිය උයන මහල් නිවාස අසලදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම පොලිස් ස්ථානාධිපතිවරයාට තමා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කළ බවට එම ප්‍රවෘත්තියෙන් ප්‍රචාරය කළ බවත් හෙතෙම එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. එම පොලිස් ස්ථානාධිපතිවරයා එලෙස අසත්‍ය ප්‍රචාර ගෙන යනුයේ ප්‍රසිද්ධියක් ලබාගැනීමට හා මරණ තර්ජන ඇති බව හඟවා විදේශ රටක වීසා ලබාගැනීමේ අරමුණින් බවට හැඟෙන්නේ යැයි ද කංජිපානි ඉම්රාන් නමැත්තා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

අපරාධ කල්ලි නායකයන්ගේ ගෝලයෝ..

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්ත දිනුක යන අයගේ කල්ලියේ සාමාජිකයකු වන තරිඳු රුවන් කුමාර යන සැකකරු සංවිධානාත්මක අපරාධ මැඬලීමේ විශේෂ කණ්ඩායම හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6550 සමග අත්අඩංගුවට ගෙන තිබුණි. කංජිපානි ඉම්රාන්ගේ කණ්ඩායමේ අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් (ගෝඩා රිස්වාන්) යන අය හෙරොයින් මිලි ග්‍රෑම් 6400 ක් සමග සංවිධානාත්මක අපරාධ මැඬලීමේ කණ්ඩායම අත්අඩංගුවට ගත් අතර පූකුඩු කන්නාගේ ගෝලයකු වන මුණවීර ආරච්චිලාගේ සුසන්ත යන අය කජිමා වත්ත ක්‍රීඩාංගණය අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6620 සමග අත්අඩංගුවට ගෙන තිබේ.

තවද ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන මුකුන්දාදුර නිලන්ත විජේන්ද්‍ර සිල්වා නොහොත් රන්දෝඹේ බොස්සා යන පාතාල සාමාජිකයා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු සාදයක් දැමූ පොලිස් සැරයන්ලා…

නවාතැන්පළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතාට ලද තොරතුරකට අනුව නවාතැන්පළ වටලා සැකකරුවන් පරීක්ෂා කිරීමේදී අඟුලාන පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක් ද දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 20ක් සහ විද්‍යුත් තරාදියක් ද සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී තූල් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 260ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40ක් සමග මත්පැන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා යොදා ගන්නා උපකරණ

රැසක් සොයාගත් බව පොලිසිය කියයි. දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම සාදය සඳහා සහභාගි වී ඇත්තේ රාජකාරි අතරතුරදීය. ඔහු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නඩු බඩු කොළඹ රැගෙන යන අතරවාරයේදී අඟුලාන මිතුරු කොස්තාපල් සමග නවාතැන්පළ වෙත පැමිණ යම් පුද්ගලයකු මඟින් කොළඹ සිට මෙම කාන්තාවන් දෙදෙනා ගෙන්වාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා කොළඹ 02 ස්ටුවට් පාර හා මරදාන ඩීන්ස් පාර පදිංචිකාරියන් බවත් අනෙක් සැකකරු කොළඹ 02 ස්ටුවට් පාර පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතා පරීක්ෂණ පවත්වයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment