දේශපාලන මුට්ටි දැමීම සහ පොහොට්ටුවේ හොරු ඇල්ලීම!

169

ආණ්ඩුව විසින් ප්‍රශස්තකරණය යන අලංකාරොක්තිය භාවිත කරමින් ඉකුත් සතියේ සිදුකරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලිය පිළිබඳ සංවාදය තවමත් අවසන් වී නැත. එම ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ජනතාවට සිදුවන පාඩුව ට්‍රිලියන 12ක් බව විපක්‍ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී (05 දා) යළිත් අවධාරණය කර ඇත. විපක්‍ෂ නායකවරයා එහිදී වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවක් ද උපුටා දක්වමින් සඳහන් කළේ එම යෝජනාවලිය සකස් කිරීමේ දී සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල්වල ප්‍රධානීන්ගෙන් කිසිදු කරුණු විමසීමක් හෝ සිදුකර නැති බව ය. ඇත්ත වශයෙන්ම මෙම අරමුදල් රජය භාරයේ තිබුණත් එහි ඇත්තේ මෙරටේ ජනතාව සතු මුදල් ය. එක් අතකින් ඒ මුදල්වල හිමිකරුවන්ගේ කිසිදු අදහසක් හෝ නොවිමසා ආණ්ඩුවටත්, මහ බැංකුවටත් ඒවා රිසි පරිදි භාවිත කළ හැකි ද යන ප්‍රශ්නය ආර්ථික ක්‍ෂේත්‍රයේ ඇතැම් ප්‍රාමාණිකයෝ ද නැඟූහ. මේ අනුව ආණ්ඩුව මොන තර්ක විතර්ක ඉදිරිපත් කළත් මේ ණය බර පටවා තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල හිමි අහිංසක ජනතාවගේ කර මතට බව සැඟවිය නොහැක. මෙම අසාධාරණ බර ජනතාවට පවරන ලද්දේ නිසි ආර්ථික සැලැස්මක් නොමැතිව රට පාලනය කළ පාලකයන් විසින් බව ද අප අමුතුවෙන් කිව යුතු නැත.

පේරාදෙණිය සරසවියේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළගේ විවේචනය වන්නේ ද මේ ණය බර ජනතාවට පැටවීම අනුමත කළ නොහැකි බව ය. මෙම වැඩපිළිවෙළ කිසිසේත් රට වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, දේශපාලන වාසි ගැන කල්පනා කරමින් කළ දෙයක් බවත් ඔහු සම්මුඛ සාකච්ඡාවක දී විග්‍රහ කර තිබුණි. මෙය ණය ගෙවීමේ වගකීම කල් දමා ගැනීමක් බවත්, එනිසා නිසැකයෙන් ම මෙය අනාගතයේදී ගැටලුවක් වන බවත් ඔහු පෙන්වා දෙයි. මෙම ප්‍රාමාණික විද්වතුන්ට අමතරව මෙම යෝජනාවලිය සාධනීය ලෙස දකින අයත් ඒ ක්‍ෂේත්‍රවල සිටිති. ඕනෑම ක්‍රියාමාර්ගයක, යෝජනාවලියක හොඳ මෙන්ම නරක ද තිබේ. එහෙත් දේශපාලනයේදී සිදුකෙරෙන බොහෝ විද්වත් විග්‍රහ පිළිබඳව ද දැඩි පරස්පර තත්ත්වයන් තිබීම නම් යහපත් දෙයක් නොවේ.

කෙසේ හෝ මෙම ප්‍රබල හා සමස්ත ආර්ථිකයටම අදාළ ක්‍රියාදාමය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ ඒ ඒ විද්වතුන්ට භාර කිරීම හැර අපට කළ හැකි දෙයක් නැත. එහෙත් මේ සඳහා සිදු වූ හා සිදුවෙමින් තිබෙන දේශපාලනයක් ද ඇත. ආර්ථිකය ඇතුළු රටේ හැම දෙයක් ම වැඩෙන්නේ හෝ පිරිහෙන්නේ ඒ දේශපාලන උල්පත්වලින් සුපෝෂණය වෙමින් ය. පුරාණ ඉසිවරුන් විසින් පවසන ලද්දේත්, ‘පැනසර නොවන නිරිඳුන්ට ලැබෙන රජ සැපත ගොරතර නිරයකටත් වඩා මහා විපතක් බව ය. සැබැවින් ම මෙ රටේ ජනතාව දැන් සෑහෙන කලක සිට මුහුණ දී සිටින්නේ එබඳු විද්වත් නැණවත් භාවයකින් තොර වූ මුග්ධ දේශපාලන බලහත්කාරකම්වල විපාකවලට ය.

දේශපාලන මුට්ටි දැමීම සහ පොහොට්ටුවේ හොරු ඇල්ලීම!

අද සිදුවන බොහෝ සමාජ දේශපාලන විවේචනවලින් තහවුරු වන්නේ බොහෝ දෙනකු විසින් උත්කර්ෂයට නංවන ලද 69 ලක්‍ෂයේ ජනවරම ඓතිහාසික වරදක් බව නොවේද? අද පොහොට්ටුව ප්‍රසිද්ධියේ පවසන්නේ ඒ වැටුණු රට ගොඩනැංවීමේ හැරවුම ජනාධිපති රනිල් බව ය. එහි ඇඟවුම ගෝඨාභය සමග බල ගැන්වූ පාලනය තුළ රටක් මෙහෙයවිය හැකි පෞරුෂයක් නොවූ බව නොවේද? වෙනත් අයුරකින් කිවහොත් පොහොට්ටුව නිකම්ම පපඩමක් බව ය. එහෙත් අද තිබෙන ප්‍රශ්නය පොහොට්ටුව තමන්ගේ හා රටේත් ගැලවුම්කරුවා ලෙස තෝරාගත් ජනාධිපති රනිල් කෙසේ ක්‍රියා කරන්නේ ද යන සාධාරණ කුතුහලයත් ඔහුගේ දළදඬු දේශපාලන ප්‍රතිචාරයත් ය. ජනාධිපති රනිල්ගේ අතීතය හා වර්තමානය සසඳන විධිමත් දේශපාලන කියැවීමකදී අපට හැඟෙන්නේ එදා ඔහු විසින් උපයා ගත් දේශපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම්වල කීර්තිය අද ඔහු විසින්ම විනාශ කරගනිමින් සිටින බව ය. මෙය වෙනම සාකච්ඡා කළ යුතු විෂයකි.

ජනාධිපති රනිල් ක්‍රියාත්මක කරමින් සිටින නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආශිර්වාදය හිමිවන්නකි. එදා ජයවර්ධන පාලන සමයෙහි අප දුටු වෙළෙඳ පොළ ආර්ථිකය පොහොට්ටුවේ නායකයන් ප්‍රියකරන ජාතික ආර්ථිකයට සමීප නොවේ. රාජපක්‍ෂවරුන් ද වගකිවයුතු දූෂිත හා නාස්තිකාර පාලනය වෙනුවට අලුත් වෙනසක් ඉල්ලා සිටි ගාලු මුවදොර අරගලයේ තේමාව අද ආණ්ඩුවට අමතක වී තිබේ. සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව පැවසූ ජනාධිපති රනිල් අද කරන්නේ කුමක් ද? වෙළෙඳ පොළ ආර්ථිකයේ දූෂිත ධනවාදී පාලනයක වින්දිතයන් බවට පත්ව සිටින ජනතාව ඉල්ලා සිටින සහන ලබාදීමට ආණ්ඩුව සූදානම් ද යන ප්‍රශ්නය අපට ද තිබේ. මධ්‍යම පන්තියේ සෑහෙන පිරිසක් මෙන්ම වැඩ කරන ජනතාව ඇතුළු ග්‍රාමීය ජන කොටස් ආරක්‍ෂා කෙරන ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ සැලසුම දැන් අවුරුද්දක් ගතකර සිටින එජාප – පොහොට්ටු හවුලට නැති බව ද පැහැදිලි ය.

අද පාඨලී හා ඩලස් කණ්ඩායමේ සමහරුන් පවසන ආර්ථික යුක්තිය හා ධනය සාධාරණ ලෙස සමාජය තුළ බෙදී යෑම නිසැකයෙන් ම ප්‍රගතිශීලී නායකයන් අතට ගත යුතු තේමාවන් ය. සැබැවින් ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කොලේ වහලා ගැහීමක් බව මේ වනවිට හෙළි වී තිබෙන අතර එයට මූලික වන දේශපාලන විවේචනය වන්නේ ආණ්ඩුව බොරු බේගල් ඇද බාමින් එකක් පවසා තවත් එකක් ක්‍රියාත්මක කිරීමේ රැවටිල්ලය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳව කතා නොකළ හා එවැන්නක් සිදු නොවන බවට ජනතාවට පුනපුනා පැවසූ ආණ්ඩුව අන්තිමට කළේ එයම නොවේද? ආණ්ඩුව තම ක්‍රියාන්විතය සැලසුම් කළේ විපක්‍ෂය නිහඬ කරමින් ය. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට විපක්‍ෂ නායකවරයා සහභාගි නොවිය යුතු බවට දැන් කථානායකවරයා පවසා තිබෙන අතර ම පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයාගේ බලසීමාවන් පිළිබඳ විග්‍රහයක් ද ඔහු විසින් කරනු ලැබ ඇත. එහෙත් මේ සිදුවීම අරභයා විපක්‍ෂ නායකවරයාට මුඛවාඩම් දැමීමට යෝජනා සම්මත කිරීමේ සදාචාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ද ඇති විය.

ජනාධිපති රනිල් පසුගිය දිනයකදීත් විපක්‍ෂයට ආරාධනා කළේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්වන ලෙසත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිත වගකීම් ලබාදිය හැකි බවත් ය. සජිත්ගේ විපක්‍ෂ නායක ධුරයට කිසිදු හානියක් නොවන අතරම අනාගතයේදී ජනාධිපති ධුරය ලබාගැනීමට වුවද උපකාර කරන බව ද ජනාධිපති රනිල් කීවේය. එහෙත් එබන්දක් සිදුවිය හැකිද? ජනාධිපති රනිල්ගේ ධූර කාලයට ද තවත් වසරකට වඩා නැති පසුබිමක එබඳු දේශපාලන සම්මුතීන් ද ගොඩනඟා ගතහැකි යැයි සිතිය නොහැක. ඒ මොනවා වුවත් විපක්‍ෂ නායක සජිත් සිය පැරණි නායක, වත්මන් ජනාධිපති රනිල්ට පිළිතුරු දුන්නේ උත්ප්‍රාසය මුසු වාග්මාලාවකින් ය. ඔහු එකහෙළාම පවසා සිටියේ තමන්ට එබඳු උපකාර අනුග්‍රහ නුවුවමනා බව ය.

මේ අතර පාර්ලිමේන්තුවේ දී (06 දා) අතිශය වැදගත් සංවාදයක් ද ආරම්භ වී තිබුණි. ඒ මේ රටේ මූල්‍ය බංකොලොත් භාවයට හේතු වූ කරුණු පිළිබඳව සොයාබැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සම්බන්ධයෙනි. මෙම කමිටුවේ සභාපති ධුරය පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ට හිමිවීම විපක්‍ෂයේ දැඩි විවේචනයකට හේතු විය. ඔහුගේ විවේචනයේ හරය වූයේ රට බංකොලොත්වීමට තුඩු දුන් ගෝඨාභයගේ ක්‍රියාකාරකම් අත් ඔසවා අනුමත කළ කණ්ඩායමකට එබඳු වගකීම් පැවරීම ගැන ය. විපක්‍ෂය ඍජුවම පවසා සිටියේ එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි නිෂ්ඵල ක්‍රියාවක් බවය. කුමක් වුවත් මෙ රටේ දූෂණ ක්‍රියා, කොමිස් ගැහිලි පමණක් නොව චෞර වළල්ලක් ගැන ද විවිධ චෝදනා නැඟී තිබේ. රාජපක්‍ෂ පාලනයට පමණක් නොව එදා මෙදා තුර පැවතුණු හැම ආණ්ඩුවකට ම මෙබඳු චෝදනා එල්ල වී තිබේ. අපගේ අදහස වන්නේ ද එබඳු චෝදනා නොලත් චරිත ඇත්නම් ඉතා සීමිත බව ය. මෙහිදී යහපාලන යුගයේ එෆ්.සී.අයි.ඩී ක්‍රියාන්විතය මෙන්ම එයට දායක වූ ජ.වි.පෙ. අනුර කුමාරට ද විවේචන එල්ල විය. එහෙත් අනුර එයට දැක්වූ ප්‍රතිචාරය ද දැඩි විය. ඒවා මෙහිලා දැක්වීමට වඩා එයින් ප්‍රකාශ වූ විවේචනවල හරය අපගේ අවධානයට යොමු වන්නකි. ඇත්තට ම අනුර කුමාර පැවසූ පරිදිම දූෂණය යනු මේ දේශපාලනයේ හා බද්ධ වූවකි. ඔහු නිදසුන් සහිතව ද කරුණු දැක්වීය. සත්තකින් ම පොල් ගෙඩි කීපයක් හොරා ගත් අයෙක් හිරේ යද්දී මහා පරිමාණ මූල්‍ය වංචා කළ බවට චෝදනා ලත් අය නිදැල්ලේ සිටිති. සමහරුන්ට තාක්‍ෂණ හේතු නිසා ප්‍රභූවරුන් ලෙස නිදහස් වීමට ද ඉඩ ලැබුණි. පසුගිය දිනක මාධ්‍යවල පළ වූ පුවතක සඳහන් වූයේ රටේ මූල්‍ය අර්බුදයට තුඩු දුන් තීන්දු තීරණ ගත් හා ආර්ථික විනාශයට වගකිවයුතු යැයි චෝදනා ඉදිරිපත් වූ කණ්ඩායමකට පොහොට්ටුවේ මහින්ද හා බැසිල් ද ඊට අමතරව කබ්රාල්, ලක්‍ෂ්මන් ආටිගල වැනි අය ද අයත් වූ බව ය.

මෙබඳු දූෂණ, අල්ලස්, කොමිස් චෝදනා නහයටත් උඩින් ගලා යන ගංවතුරක් බවට පත් වූ රටක ඒ කිසිවකට දායක නොවූ ලක්‍ෂ 220කට නොඅඩු අහිංසක ජනතාවක් ද සිටිති. එනිසා ඒ දූෂිත, කිළිටි දේශපාලනයෙන් අත්මිදීමට මෙන්ම ඒ කම්බා හොරුන් නීතියේ රැහැනට හසුකරලීමට ද දැන් හෝ සිදුවිය යුත්තකි. එනිසා ඉහත සඳහන් කළ මූල්‍ය අපරාධ සෙවීමේ කමිටුව සාර්ථක කර ගැනීම පාර්ලිමේන්තුවේ පොදු වගකීමක් බව ද පෙන්වා දිය යුතු ය. මෙම ක්‍රියාදාමයට අමතරව පාර්ලිමේන්තුව සම්මත කළ දූෂණ විරෝධී පනත ද ජනතා අපේක්‍ෂාවක් ඉටුකිරීමක් ලෙස හැඳින්වීම වටී. ඒ සම්බන්ධ විවාදයක් ද සිදු වූ අතර එයට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර එම පනත සාධනීය ලෙස ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ අරමුණ බව ද ප්‍රකාශ විය. එසේ වුවද මේ පනත පස්සට ඇදිමේ සූදානමක් ගැන ද ඉඟිබිඟි පළවිය. කෙනෙක් කීවේ හොරුන් හොරුන් අතර බැඳීම් ප්‍රබල බව ය. කුමක් වුවත් සුබවාදීව එලෙස බලා සිටිමු.

මේ අතර ආණ්ඩුව විසින් වෙනත් දේශපාලන මුට්ටි දැමීමට දරනු ලබන ප්‍රයත්නයන් ද අපට හඳුනාගත හැකිය. පොහොට්ටුවේ වුවමනාව පරිදි ඉදිරිපත් වූ බව පැවසෙන ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සංශෝධන පනත එවැන්නක් විය හැකිය. පොහොට්ටුව වෙනුවෙන් වරින්වර සිය මන්ත්‍රීධුරය පවා කැප කළ ජයන්ත කැටගොඩ නමින් ගෙන ආ ඒ පනත් ගැන විපක්‍ෂය කළ විවේචන ද දැඩි හා රළු ස්වරූපයක් ගත්තේය. මෙහි අරමුණ මේ වනවිට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට යළිත් ඒ සභාවල බලය ලබාදීමය. මෙබඳු කුජීත සිතිවිල්ලක් පහළ විය හැක්කේ කෙබඳු දේශපාලන පරිහානිගත මනසකද? මෙබඳු ක්‍රියාවක් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම දේශපාලන සදාචාරත්වයට ද බලවත් හානියකි. මේවා දේශපාලන වශයෙන් ගරාවැටුණු, කුජීත වුණු බලලෝභී මානසිකතටිඵලයක් සේ හැඳින්වීම නිවැරදිය. මේ ආයතන යළි බලාත්මක කර අදාළ ඇමැතිවරයාගේ අභිමතය අනුව පවත්වා ගෙන යෑමට මෙම පනත්වලින් ඉඩ ලැබෙන බව ද කියති.

මේ ආණ්ඩුව (පොහොට්ටුව ද ඇතුළුව) පළාත් පාලන මැතිවරණයට කළ බාධා රහසක් නොවේ. ජනාධිපති රනිල් එයට ඍජුව මැදිහත් වූවා පමණක් නොව ඒ පිළිබඳව දැක් වූ උත්ප්‍රාසනීය ප්‍රතිචාර විවිධ මාධ්‍යවල ද පළ විය. සමාජ මාධ්‍යවල දැක්වුණු එම රූපරාමු සම්බන්ධයෙන් ජනතාව පළකළ අදහස් හෝ ජනාධිපති මාධ්‍ය අංශය හෝ අදාළ ඇමැතිවරයාගේ මාධ්‍ය අංශයේ අවධානයට ලක් වූයේ දැයි අපි නොදනිමු. එහෙත් ආණ්ඩුවකට හෝ පක්‍ෂයකට මේ වර්ගයේ අශ්ලීල, ග්‍රාම්‍ය, නීච දේශපාලන අරමුණු තිබීම මොනතරම් අවාසනාවක්ද? මෙ පිළිබඳව විපක්‍ෂයේ හර්ෂ මන්ත්‍රීවරයාට ලැබුණු ප්‍රතිචාරය වූයේ අධිකරණයට යන ලෙස ය. මෙබඳු අනීතික දේශපාලන විකෘතීන්ට අභියෝග කළ හැකි ශ්‍රේෂ්ඨාධිකරණයක් හෝ තිබීම ජනතාවගේත් රටේත් පරම භාග්‍යයකි.

අද දේශපාලන කඳවුරුවලට එල්ල වී තිබෙන අභියෝගය සුළුපටු නැත. එහෙත් රාජපක්‍ෂවරුන් වෙනුවෙන් දාසයන් මෙන් හැසිරෙන බොහෝ දෙනෙකුට මේ අලුත් දේශපාලන ප්‍රවණතාවන් ගැන අල්ප මාත්‍ර හෝ වැටහීමක් නැත. රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන ගණන් බැලීම් ඔවුන්ට වැටෙහන්නේ ද නැත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලියට රාජපක්‍ෂ නායකයෝ ඡන්දය දීමෙන් වැලකී සිටියහ. එය අනාගත දේශපාලනය වෙනුවෙන් ගත් කපටි පියවරක් වුවත් පොහොට්ටුවේ බට්ටෙක් එම ක්‍රියාව අගයමින් නාමල් ඉහළට ඔසවා තැබීය. ඔවුන්ට නොවැටහුනත් අද ජනතාවට අලුත් දේශපාලන වෙනසක් වුවමනා වී තිබේ. අද දවස මෙරටේ බොහෝ ජන කොටස්වලට අලුත් අභියෝග හා පීඩනයන් එල්ල කරන සංකීර්ණ වූවකි. මේ වනවිට උග්‍ර ඖෂධ හිඟයක් මෙන්ම බරපතළ ලෙස සෞඛ්‍ය සේවය කඩාවැටෙමින් ද තිබේ. ඖෂධ නියාමන කොමිසමේ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව විවේචන එමටය. රෝහල් මරුවා කැඳවන ගුප්ත හා බියකරු ස්ථාන බවට පත්ව තිබේ.

පසුගියදා රාගම රෝහලක තුන් නිවුන් දරු උපතක් දැකීමේ සිහන දුටු තරුණ මවකට ඒ සියල්ල අහිමි වූවා පමණක් නොව ඇගේ ජීවිතයෙන් ද වන්දි ගෙවීමට සිදුවිය. නිවැරදි කළ නොහැකි වරදක වින්දිතයෝ ලෙස ඇගේ නෑසියන්, සමීපතමයන් පත් වූහ. මොන විමසුම් කළත් ඒ පිළිබඳ තවත් විපතක් සිදුවන තෙක් පමණි. බොහෝ රෝහල්වල බෙහෙත් පමණක් නොව රෝග නිවාරණ හා පරීක්‍ෂණ තාක්‍ෂණ මෙවලම් නැත. දින කීපයකට පෙර ජනමාධ්‍ය වාර්තා කළේ රෝහල්වල රුධිර කාන්දුකරණ යන්ත්‍ර හෙවත් ඩයලයිසිස් උපකරණ නැතිව වකුගඩු රෝගීන් මරු ග්‍රහණයේ සිටින බව ය. පාලකයන්ට සෞඛ්‍ය රක්‍ෂණ තිබේ. මෙරටේ දහිර වාට්ටු සහිත බෙහෙත් ගඳට නාසා හකුළුවන රෝහල් සේවය ඔවුන්ට අදාළ නැත. සිංගප්පූරුව ඇතුළු වෙනත් රටවල සුපිරි සුව සේවා ඔවුන් සඳහා විවෘතව තිබේ.

ජනතාවට තිබෙන ප්‍රශ්න ඔවුන්ට නැත. මේ සුපිරි ජීවිත ගෙවන අය ගැන සාහිත්‍යමය උපමාවකින් කිවහොත් “කාලා රස මුසු භෝජන කර පෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම්” ලෙස මේ බොහෝ දෙනෙකුගේ ජීවිත ගෙවී යයි. එහෙත් ඈත ගම්දොර දුප්පතුන්ගේ ලෝකය මොනතරම් දුක්බරද? විමලරත්න කුමාරගම කවියා මෙයින් දසක ගණනාවකට පෙර ලියූ කවියක් මෙසේය.

ගුරුවරයකු නාවර පෙරාගත් දරුවකුගෙන් තුන්රුවන ගැන විමසයි. මෙන්න දරුවා දුන් පිළිතුරතාත්තගේ පය – මහපාර – බඩගිනි අද එබඳු කවි සංවේදී පුවත් කොපමණ තිබේද?. මේවා ලියන එවුන් තරම් ද්‍රෝහීන් බොහෝ දේශපාලනඥයන්ට නැත. එහෙත් ඒ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරැකීම අද යහපත් පුරවැසියන්ගේ මෙන්ම ප්‍රබුද්ධ මාධ්‍යවේදීන්ගේ ද වගකීම හා යුතුකම වී තිබේ. ජාතික සම්පත් වැනසූ, ජාතික ධනය සොරාගත් කිසිවෙකුට නිදහසේ ප්‍රභූවරුන් සේ වැජඹීමට ඉඩ දිය යුතු නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment