ගුණාත්මක හා රසවත් ආහාර පිණිස ඇමරිකාවේ රන් සම්මානය හිමිකර ගනී…

පොල් කිරි හා දේශීය කුළුබඩු රසයෙන් ඇමරිකාව රස ගන්වයි…

ආහාර වේලක් ඩොලර් 85යි…

ඔරිගන්වලට ලාංකීය ආහාර හඳුන්වා දුන්නේ මමයි…

ඇමරිකානු එක්සත් ජනපදයට අයත් ප්‍රාන්ත රාජ්‍යයක් වන ‘ඔරිගන්’ ප්‍රාන්තය පිහිටුවනු ලබන්නේ 1859ක් වූ පෙබරවාරි මස 14 වැනි දින ය. එතැන් සිට එක්සත් ජනපදයේ 33 වැනි ප්‍රාන්තය බවට පත්වන ‘ඔරිගන්’ විශාලත්වය අතින් එරට නව වන ස්ථානය හිමිකර ගන්නා අතර එහි විශාලත්වය වර්ග සැතපුම් අනූඅට දහසකින් යුක්තය. එක්සත් ජනපද ප්‍රාන්ත සමූහය අතරට අයත් ජනගහනය අතරින් ඔරිගන් ප්‍රාන්තය විසිහත්වන ස්ථානයට හිමිකම් කියන අතර එහි ජනගහනය දැක්වෙන්නේ මිලියන 4.02ක් ලෙසය.

ඉහත විස්තර උපුටා දක්වන ලද්දේ ඔරිගන් ප්‍රාන්තයේ මේ වනවිට සිදුවෙමින් පවතින ‘පෙරළියක්’ පිළිබඳ පැවසීමේ පෙරනිමිත්තක් ලෙසය. ඔරිගන් ජනතාව ඉමහත් කැමැත්තක් දක්වන එම පෙරළිය සිදුකරමින් සිටින පෙරළිකාරයා බවට පත්වන්නේ ශ්‍රී ලාංකිකයෙක්ය. ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය එහි රස, සුවඳ ඔරිගන් හි වැසියන් වෙත සමීප කරමින් සිටින මේ කියන්නට යන ශ්‍රී ලාංකිකයා ඉකුත් දිනක එම ප්‍රාන්තයේ ඉහළම සම්මානයකින් පිදුම් ලැබීමට සමත්වීම රටක් ලෙස අපට සතුට ගෙන දෙන කාරණයක්ය. හේ නමින් කැළුම් පීරිස්ය. 2023 වසර ඔරිගන් ප්‍රාන්තයේ පිහිටි අවන්හල් සහ ආහාර පාන සේවා සපයන ආයතන (Catering service) අතරින් පළමු ස්ථානය හිමිකර ගැනීමට කැළුම් පීරිස් සමත් වන අතර ඒ පිළිබඳව ඔහු ලබන සතුට දෙගුණ තෙගුණ කරනු ලබන්නේ එම ජයග්‍රහණය තුළින් ඈත දුරබැහැර පිහිටි ‘ඔරිගන්හි’ ශ්‍රී ලාංකික නාමයට මේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමිවෙමින් පැවතීම හේතුවෙන්ය. Taste of Pearl නමින් මෙරට ආහාර පාන සේවා සපයන ආයතනයක් එම ප්‍රාන්තය තුළ පවත්වාගෙන යන කැළුම් පීරිස් තම ආයතනය හිමිකරගත් සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳවත් මෙරට ආහාර පාන එහි ජනප්‍රිය කරවීම පිණිස ඔහු විසින් ගන්නා ලද උත්සාහය පිළිබඳවත් ‘දිවයින’ට අදහස් දක්වා සිටියේ මේ අයුරින්ය. ඔහු පළමුව විස්තර කර සිටින්නට වූවේ මව්බිමට සමුදෙමින් ඈත දුරු රට ඇමරිකාව බලා පිටත්ව ගිය ආකාරය සහ එසේ පිටත්ව ගිය හේතුව සම්බන්ධයෙන්ය.

“මම ඇමරිකාවට ඇවිත් මේ වනවිට වසර 29ක් වෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් සඳහා තමයි මම ආවේ. ඔහොම කාලයක් යද්දි මම විනෝදාංශයක් වශයෙන් ඉවුම් පිහුම් කටයුතු කරන්න ගත්තා. මොකද මම ලංකාවේ ඉන්න කාලෙත් අපේ දේශීය ආහාර සඳහා ලොකු කැමැත්තක් තිබුණා. රට අතහැරල රැකියාවක් පිණිස ඇමරිකාවට ආවත් ඒ ආශාව, කැමැත්ත මා තුළ පැවතුණා. මම මුලින්ම කළේ අපේ රටේ අපේ රසයට ගැළපෙන පරිදි ව්‍යාංජන වර්ග හදල මම දැනට පදිංචිවෙලා ඉන්න ඔරිගන් ප්‍රාන්තයේ මගේ හිත මිතුරන්ට සංග්‍රහ කරපු එක. ඒක බිස්නස් එකට කරපු දෙයක් නොවෙයි. ඔහොම කාලයක් තිස්සෙ කරගෙන යද්දී මගේ මිතුරන් ඉල්ලීමක් කළා ඔරිගන්වල බිස්නස් එකක් ලෙස මේක දිගට ම කරගෙන යන්න කියල. අන්න ඒ මිතුරු ඉල්ලීම එක්ක තමයි TEAST Of PEARL නමින් කේටරින් සර්විස් එකක් පටන් ගත්තේ.”

ඒ අනුව තමන් එතෙක් දිනක් නිරත වෘත්තියට අමතරව ශ්‍රී ලාංකික රසය ඔරිගන් හි ව්‍යාප්ත කිරීම පිණිස තීරණය කරන කැළුම් පීරිස් ඔහුට අයත් ආහාර පාන සේවා සපයන ආයතනයක් ඔරිගන් හි ආරම්භ කර ඇත. ඉකුත්දා එම ප්‍රාන්තයේ පිහිටි දහස් ගණනක්වූ ආපණශාලා හා ආහාර පාන සේවා සපයන ආයතන අතරින් ඉහළම ස්ථානය හිමිකර ගැනීමට සමත්වන කැළුම් එහිදී රන් සම්මානයෙන් විශිෂ්ටත්වයට පත්වූ අතර එම අසිරිමත් මතකය ඔහු විසින් අප සමග විස්තර කර සිටින්නේ මේ අයුරින්ය.

“ඇමරිකාවෙ ඔරිගන් ප්‍රාන්තය කියන්නෙ හරිම ලස්සන ප්‍රදේශයක්. එහෙමත් නැත්නම් ප්‍රාන්තයක්. ඒ අයගේ ජන ජීවිතය ගත්විටත් එහෙමයි. හරිම සෞඛ්‍යාරක්‍ෂිත ජීවිතයක් තමයි ඒ අය ගතකරමින් ඉන්නෙ. විශේෂයෙන්ම කෑම බීම ආදියේ දී ඒ අය හරි පරිස්සම් වෙනවා. ඒ විතරක් නොවෙයි. සෞඛ්‍යරක්‍ෂිත කෑම බීම සපයන්නෙ කවුද ඒ කටයුතු සිද්ධ කරන්නෙ කොහොමද කියන කාරණා පිළිබඳවත් ඔවුන් නිතර නිතර විමසිලිමත් වෙනවා. වාර්ෂිකව එවැනි තැන් තෝරා බේරා ගනිමින් සම්මාන, සහතික ආදිය පවා ප්‍රදානය කරනවා. පසුගිය වසරේ (2023) එහෙම පවත්වන ලද තරගයෙන් තමයි ශ්‍රී ලාංකික ආහාර සපයන ආයතනයක් ලෙස මගේ ආයතනයට රන් සම්මානය හිමිවුණේ.”

හේ… රනින් සම්මානිත වන්නේ ශ්‍රී ලාංකික රසයෙන් හා ගුණයෙන් යුක්ත වූ දේශීය ආහාර සංස්කෘතිය තුළින් ඔරිගන් ප්‍රාන්ත වාසීන්ගේ ‘රස නහර පිනවීමට සමත්වීම හේතුවෙන්ය. එම සමත්කම දක්වන ලද්දේ මොන ආකාරයෙන්ද? යනුවෙන් අප නැඟූ පැනයට පිළිතුරු දුන් කැළුම් පීරිස් එහිදී සඳහන් කර සිටියේ දේශීය කුළුබඩු රසය සහ එය වඩාත් රසවත් කිරීම පිණිස ඔහු විසින් යොදා ගන්නා ස්වභාවික පොල් කිරි රසය මේ වනවිට ඔරිගන් හි ‘රස රහස’ බවට පත්ව ඇති බවකි. දේශීය ඌරුවට සකසන ලද භෝජන ලෝක ආහාර මේසය මත තැබූ මෑතකාලීන මිනිසා වූ දේශබන්දු ආචාර්ය පබලිස් සිල්වා මහතා ගත් ගමන් මඟ අනුව යමින් කටයුතු කරන කැළුම් පීරිස් අප නැඟූ පැනයට වැඩිදුරටත් පිළිතුරු දෙමින් මෙසේද සඳහන් කර සිටියේය.

සැරට මිරිසට දෙකටම සුද්දන්ව හුරුකළ ශ්‍රී ලාංකිකයා

‘ඔරිගන් පුරවැසියන් තමන්ගේ ජීවිත කාලය ඇතුළත අපේ රටේ දේශීය ඌරුවට සකස් කරන කෑම කවදාවත් රස බලල තිබුණෙ නෑ. නමුත් දැන් ඒ අය අහනව ඒ වගේම පුදුමය පළකරනව මේ තරම් රසවත්ව ආහාර සකසන්න පුළුවන් රටක් ලෝකයේ තවත් නැතුව ඇති කියලා.

අපේ කුළුබඩු සහ පොල් කිරි මිශ්‍ර කළුපොල් මාළුව, තුඹ කරවිල ව්‍යාංජනය වගේම මෑ කරල්, බණ්ඩක්කා, කජු ව්‍යාංජනය, වම්බටු මෝජුව, රතු අල, කෙළවල්ල මාළු ඇඹුල් තියල් ඔරිගන්වල දැන් ඉතාම ජනප්‍රියයි. ඒ ව්‍යාංජන සකස් කරන්න අවශ්‍ය කුළුබඩු අපේ රටෙන් මම ගෙන්වනවා. මගේ අත් දෙකෙන් තමයි හැම ව්‍යාංජනයක්ම ඒදන්නෙ. එළවළු වර්ගවලින් ඇතැම් වර්ග මම වගා කරල තියෙනවා. එහෙම නැති දේවල් පමණක් මිලට ගන්නවා. විශේෂයෙන්ම කාබනික වගාවෙන් නෙළාගත් එළවළු ආදියට මේ අය හරි කැමතියි. Taste of Pearl කියන නමත් මේ ජනප්‍රියත්වයට ඉවහල් වුණා. මගේ ආයතනයට ඒ වගේ නමක් තියන්න හේතුව තමයි ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ නමින් අපේ රට හැඳින්වීම. ඒ අරුතෙන් තමයි එවැනි නමකින් මගේ ආයතනය නම් කරන්න මම තීරණය කළේ.

“මගේ බිරිඳ ඇමරිකන් ජාතික කාන්තාවක්. ඇය සහ මගේ දරුවන් රස විඳින්නෙත් මා විසින් සකසන ආහාර. ඒ අය කියන්නෙත් තාත්තගේ රටේ ආහාර හරිම රසවත් කියලා. ඒ විතරක් නොවෙයි අද ඔරිගන්වල ඉන්න දස දහස් ගණනක් වූ ජනතාව ඒ අයගේ උත්සව අවස්ථාවන් ප්‍රිය සම්භාෂණ සඳහා ඇණවුම් කරන්නෙ මම හදන බත් සහ ව්‍යාංජන. මගේ ගනුදෙනුකරුවන් ගත්විට 90%ක් විතර ඉන්නෙ ඇමරිකානු ජාතිකයන්. මගේ කාර්ය මණ්ඩලය ඇතුළේ ඉන්නෙත් ඇමරිකානු ජාතිකයන්. ව්‍යාපාරිකයෙක් වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් හිමි වූ පුද්ගලයකුටත් වඩා ලොකු සතුටක් අද මම ලබනවා. මොකද අපේ රට මොන වගේද අපේ ආහාර සංස්කෘතිය මොන වගේ ද කියල ඇමරිකාව වගේ රටකට කියල දෙන්න මට පුළුවන්කම ලැබුණා. ඒක ලොකු ජයග්‍රහණයක්…”

මට මතකයි අපි පුංචි කාලේ අපේ ආච්චි අම්මල, අම්මාවරුන් හරිම රසවත්ව ඒ වගේම ඉතාමත් පිරිසිදුව ඉවුම් පිහුම් කටයුතු කළා. අපේ පරම්පරාව මේව දැක්කා. ආහාර සැකසීමේදී මම අදත් ඒ එදා අපි දැක්ක ආහර පිසීමේ රටාවන් අනුගමනය කරනවා. මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට එයත් එක් හේතුවක් කියල විශ්වාස කරනවා.”

මෙරට ආහාර සංස්කෘතිය විදේශයන්හි පවා ප්‍රචලිත වෙමින් පවතින වටපිටාවක ශ්‍රී ලාංකිකවාසීන් වූ අප ‘රසය’ පසුපස පමණක් හඹා යමින් ‘වස’ කන ආකාරය පිළිබඳ කැළුම් පීරිස් තුළ පවතින්නේ නොකැමැත්තක්ය. ඔහු පවසා සිටින්නේ රටක් ලෙස එය අප විසින් නොකළ යුත්තක් බවය.

සැරට මිරිසට දෙකටම සුද්දන්ව හුරුකළ ශ්‍රී ලාංකිකයා

“අද ලෝකයේ බොහෝ රටවල් තෙල් උපයෝගී කරගනිමින් සකස් කරන ආහාර ආදියෙන් ඉවත්වෙමින් ඉන්නවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සහිත පුද්ගලයෙක් ලෙස ඒක හොඳ ප්‍රවණතාවයක් ලෙස මමත් දකිනවා. නමුත් මෙච්චර හොඳ ඖෂධීය ගුණයෙන් යුක්ත කුළුබඩු අපේ රටේ තිබිය දී අපි තෙල්වලින් රසගැන්වූ ආහාර වැඩිපුර ආහාරයට ගන්න තත්ත්වයක් දකින්න ලැබෙනවා. ලංකාවට එන සෑම අවස්ථාවකම මම මේක දකිනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. කුඩා දරුවගේ පටන් දැන උගත් වැඩිහිටියන් දක්වා රසය මුල්කර ගනිමන් දැනටමත් එහි ගොදුරු බවට පත්වෙලා අවසන්. අපේ මිනිස්සු එක දෙයක් තේරුම් ගත යුතුයි. ඒ තමයි අපි ජීවත් වෙන්නේ ආහාර ගන්න නොවෙයි. ආහාර ගන්නෙ ජීවත් වෙන්න පමණයි කියන දෙය. මේක දැන් ලෝකයේ බොහෝ රටවල් තේරුම් ගත්ත සත්‍යයක්. නමුත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ ඇත්ත පිළිගන්න තවමත් සූදානම් නැහැ.”

උසස් ආහාර සංස්කෘතියක් සහිත රටක් මේ වනවිට අත්කර ගනිමින් ඉඳන ‘විපත්’ පිළිබඳව කැළුම් පීරිස් තුළ පවතින්නේ කනස්සලු සහගත බවක්ය. ඈත දුර බැහැර ඇමරිකාවේ ජීවත් වුවද උපන් රට කෙරෙහි පවතින ඇල්ම, කැමැත්ත ඔහු තුළින් තවම පහව ගොස් නැත. ශ්‍රී ලාංකික අප සතු ආහාර රටාවන්ගේ අවිධිමත් බව ඇතුළු තවත් බොහෝ දේ අපගේ මාතෘකාවට බඳුන් වුවද ඒ සියලු කරුණු මෙහිලා ගොනු කළ නොහැක. නැවතත් අපගේ මාතෘකාවට යොමුවන්නේ එබැවින්ය.

“සෑම රටකට ම තමන්ටම කියල වෙන්වූ ආහාර සංස්කෘතියක් පවතිනවා. එහෙම වටපිටාවක ඇමරිකාව වගේ සෑම පැත්තකින්ම දියුණු රටක් සහ තවත් රටවල් රැසක් සමග තරග කරල මම ලබපු ජයග්‍රහණය මම දකින්නේ මගේ රට ලැබූ ජයග්‍රහණයක් ලෙසයි. මේ තරගය සඳහා ඔරිගන්වල පවත්වාගෙන යන ඉන්දියානු අවන්හල් හා කේටරින් සේවා සපයන ආයතන ඒ වගේම මෙක්සිකෝව, චීනය ඇතුළු රටවල් ගණනාවක ආයතන දහස් ගණනක් සහභාගි වුණා. නමුත් ඒ රටවල් සියල්ල ම අපේ “රසයට” පරාජය වුණා. එපමණක් නොවෙයි ඔරිගන්වල තිබෙන රාජ්‍ය ආයතන ගත්තත් පුද්ගලික අංශයේ ආයතන ගත්තත් ඒ අයගේ උත්සව ප්‍රිය සම්භාෂණ ඒ වගේම පුද්ගලික මට්ටමින් පවත්වන උපන් දින සාද ආදියේදී ප්‍රධාන වශයෙන් දැන් කෑම මේසයට එන්නෙ අපේ රටේ දේශීය ඌරුවට සකසන ලද ආහාර වීම විශේෂත්වයක්. එහෙම හපන්කමක් කරන්න පුළුවන්වීම පිළිබඳ මම ලොකු සතුටක් ලබනවා. අපේ රටේ මතයක් පවතිනව යුරෝපීය ජාතිකයන් මෙරට ආහාර සම්බන්ධව එතරම් කැමැත්තක් නැහැ කියල. ඒක මිත්‍යාවක් කියල මම ඔප්පු කරල තිබෙනවා. ආහාර පිසීම කියන්නෙ කලාවක්. ඒක ඕනවට එපාවට කරන්න බැහැ. පිට රටක නොවෙයි ලංකාවෙ ඇතුළේ වුවත් හරි දේ හරියට කරනවනම් මේ ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න ඕන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. කැපවීම සහ උත්සාහය පවතිනවනම් ඒ දෙය කරන්න පුළුවන්.”

කැළුම් පීරිස් යනු මේ වනවිට ඔරිගන්හි ප්‍රසිද්ධ චරිතයක් පමණක් නොව එරට කෑම මේසය මෙරට රසයෙන් රසගන්වන ලද රසවතෙකු බවට පත්ව හමාරය. ඔහු රනින් සම්මානිත වන්නේත් ශ්‍රී ලාංකික නාමය ඔරිගන්හි ඉහළින් ඔසවා තබන්නට සමත්වීම හේතුවෙන්ය. සැරට මිරිසට බිය සුදු ජාතිකයන්ට නැතුව බැරි මිනිසෙකු සේම මිතුරෙකු ද බවට මේ වනවිට පත්ව ඇති ඔහු අවසන් වශයෙන්ද සඳහන් කර සිටියේ තම දෑතින් සකසන ආහාර වේලක් රස බැලීම පිණිස ඔරිගන්හි දී ඩොලර් 85ක මුදලක් වැයවන බවත් අපගේ කතා බහ සිදුවීමට දින කීපයකට පෙරද ඔරිගන් ප්‍රාන්තයේ ජීවත්වන සුදු ජාතිකයන් 450ක් පමණ සහභාගිවූ ප්‍රිය සම්භාෂණයක් පිණිස ශ්‍රී ලාංකීය රස සුවඳ සහිත දැවැන්ත කෑම මේසයක් තම ආයතනය විසින් සූදානම් කළ බවත්ය.

නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ උපන් කැළුම් පීරිස් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර තර්ස්ටන් විදුහලෙන් ලබාගත් ජීවිත පන්නරය ද තම සාර්ථකත්වය පිණිස බෙහෙවින්ම ඉවහල්වූ බව පවසමින් කැළුම් පීරිස් විසින් තම කතා බහ නිමා කළ ද ඔහු විසින් සිදුකරන ලද හපන්ම පිළිබඳව සිතන්නට තවත් බොහෝ දේ අපට ඉතිරිව ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment