ඕපන්හයිමර් චිත්‍රපටය ඇසුරෙන්

‘මම දැන් මරණය වෙමි. ලෝක වනසන්නා වෙමි.‘ පරමාණු බෝම්බය නිර්මාණය කිරීමට මුල් වූ රොබට් ජේ. ඕපන්හයිමර් භගවත් ගීතාවේ විෂ්ණු දෙවියන් උපුටා දක්වමින් කළ ඉතා ප්‍රකට ප්‍රකාශය ඒ. ඕපන්හයිමර් පරමාණු බෝම්බය නිර්මාණය කිරීමෙන් දශක ගණනකට පසු, ඒ ගැන කී උක්ත ප්‍රකාශය වීඩියෝ කැමරාවල සටහන් වී තිබුණා. ඔහුගේ හැඟීම් විරහිත මුහුණත්, සමග ඔහු ඉන්නේ වේදනාවෙන් බව පෙනෙන්නට තිබුණා.

සැබෑ ලෝකයේ දී ඕපන්හයිමර් කළ ඒ ප්‍රකාශය කිසිදු කලාකෘතියකට, සිනමාකෘතියකට, චිත්‍රයකට මවන්න බැරි වූ ඒ හිස්ම හිස් රූපයක් වුණා. පැවැත්ම පිළිබඳ මෙන්ම විනාශය පිළිබඳ බිහිසුණු හැඟීම් ජනිත කරවන්නට ඒ කුඩා දර්ශනයට හැකියාව තිබුණා. ඒ පුංචි ම පුංචි දර්ශනය විස්තීර්ණ කොට සිනමා තිරය මත මැවීමයි, 2023 දී තිරගත වූ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය උත්සාහ කර තිබුණේ. මේ චිත්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී වැඩිම සම්මාන ලැබූ චිත්‍රපටය වුණා. ක්‍රිස්ටෝපර් නෝලන් නූතන යුගයේ විශිෂ්ටතම සිනමා චින්තකයන් කිහිපදෙනාගෙන් කෙනෙක්. සිනමා ඉතිහාසය වෙනස් කරන නිර්මාණ කරන්නට දක්ෂයෙක්. බොහෝ අය අසා ඇති, පරමාණු බෝම්බ නිර්මාපකයාගේ කතාව කෙලෙස ප්‍රතිනිර්මාණය කරන්න ඇතිද?

‘පව්කාර වැඩේ කරලා, පස්සේ ඒකේ ප්‍රතිඵල ආවාම ඒ ගැන හැමෝවම ඔයා ගැන දුක හිතෙන තැනට තල්ලු කරන්න අයිතියක් ඔයාට නැහැ.‘ කිටී ඕපන්හයිමර් හෙවත් රොබට් ඕපන්හයිමර්ගේ බිරිඳ චිත්‍රපටයේ එක් මොහොතක කියනවා. ඒ, දෙබස ඇය කියන්නේ, රොබට්ගේ පෙම්වතිය වූ ජීන් ටැට්ලොක් තමන්ගේ ජීවිතය නැති කරගත් බව දැනගැනීමට ලැබුණු අවස්ථාවේ. ඒ ගැන විශාල ආතතියකින් ඕපන්හයිමර් පසුවෙද්දී, එයට ප්‍රතිචාර ලෙස. එහෙත් එම දෙබසෙන් සංකේතවත් වෙන්නේ ඔහුගේ ජීවිතයේ ඔහු කළ බිහිසුණුම ක්‍රියාව වන පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේ සිදුවීමයි. රොබට්ගේ ජීවිතයම ඉතිහාසගත වී ඇත්තේ, බෝම්බය නිර්මාණය කළාට පසු ඔහු කළේ නිවැරදි දෙයක් ද? වැරදි දෙයක් ද? යන පැනය ඔහු තමන්ගෙන් ම විමසීම ගැන කතාවක් ලෙස. විශේෂයෙන්ම පසුතැවෙන්නෙක් ලෙස. මෙම චිත්‍රපටයෙත් එක් තැනක් වන්නේ ඕපන්හයිමර් කොමියුනිස්ට්වාදීන්ට සහයෝගය දක්වමින් සෝවියට් ඔත්තුකරුවන්ට පරමාණු බෝම්බය නිර්මාණය කිරීම ගැන තොරතුරු දුන්නා දැයි පසුකාලීනව ඔහුට එරෙහිව සිදු කළ විමර්ශනයකුත්, එම විමර්ශනයේ දී වැදගත් අනෙක් ප්‍රධාන චරිතය වන්නේ රොබට් ඩවුනි රංගනයේ යෙදෙන ලුස් ස්ට්‍රවුස් නම් චරිතය. මේ දෙදෙනාගේ දෘෂ්ටි කෝණ දෙකෙන් ඉතිහාසය දෙස හැරී බැලීම චිත්‍රපටයේ ආකෘතිය වුණා.

ත්‍රස්ත ක්‍රියාව

ඕපන්හයිමර් ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ක්‍රියාව ගැන හැදුණ චිත්‍රපටය. ඩොලර් බිලියන දෙකක්. රාජ්‍ය මැදිහත්වීමක් එක්ක ජපානයේ අහිංසක මිනිස්සු ජීවත්වෙන නගර දෙකක් තෝරලා බෝම්බ හෙළන්න තීන්දු කරනවා. ඒ ඇවිල්ලා බෝම්බය නොදැම්මොත් යුද්ධය දිනන්න බැරි වෙන හින්දා නෙවෙයි. ඒ වෙද්දීත් ජර්මනිය පරාජය කරලා ඉවරයි. හිට්ලර් වෙඩි තියාගත්තේ අප්‍රේල් 30 වැනිදා. එතකොට ට්‍රිනිටි ටෙස්ට් එකට හෙවත්, න්‍යෂ්ටික බෝම්බයේ අත්හදා බැලීමට සූදානම් වී සිටියේවත් නෑ. ලොස් ඇලමොස්වල පරීක්ෂණය කළේ ජූලි 16 වැනිදා. බෝම්බය දැම්මේ අගෝස්තු 06 වැනිදා.

පරණ ලොව පුපුරවා නව ලෝකයක් ගොඩනැඟූ බෝම්බය!

ඒ වෙද්දී බෝම්බය දැම්මත් නැතත් ජපානය යුද පිටියේ පසු බහිමින් හිටියා. ලෝක යුද්ධය ඉවර වෙමිනුයි තිබුණේ. චිත්‍රපටයේ ඉතාම පැහැදිලිව පෙන්වන පරිදි, ඉතිහාසයේ සැබෑ ලෙස සිදු වූ පරිදි බෝම්බය පුපුරවන ලද්දේ ඇමෙරිකාව සතුව මෙතරම් බිහිසුණු අවියක් තිබෙන බව පෙන්වමින්, ප්‍රතිවාදීන් නිහඬ කිරීමේ අරමුණිනුයි.

ඇමෙරිකාව බෝම්බය දාලා මුල්ම මොහොතේ දී 110,000ක් මරා දැම්ම බව ඇමෙරිකානු රජය කියනවා. ඒත්, සංඛ්‍යාව 210,000ක් බව න්‍යෂ්ටික බෝම්බවලට එරෙහි විද්‍යාඥයන් විශාල පිරිසක් එකතු වී හදපු වාර්තාවක සඳහන් වෙනවා. එතැනින් පස්සේ අද දක්වා ම පරම්පරා ගණනාවකට මේ බෝම්බවල විකිරණවලින් බිහිසුණු ජීවිත උරුම වුණා. යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වුණා.

ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද?

ඉතින්, ඕපන්හයිමර්ගේ බිරිඳ මෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාව ඕපන්හයිමර් මුණගැහෙන මොහොතේත් කියන පරිදි, ඉතාම නරක දේවල් කරලා, අපේ අනුකම්පාවත් බලාපොරොත්තු වෙන්න ඔබට බැහැ කියලා. ඔබ කරපු දේවල්වලින් පස්සේ, එයාගේ හෘදය සාක්ෂියේ ඇති වූ වේදනාව පෙන්වලා එයට අපේ අනුකම්පාව ඉල්ලන්න ඔහුට බැහැ. ඔහු යම්කිසි නරක දෙයක් කළා නම් කළා තමයි. ඒ නිසා ඕපන්හයිමර් කියන්නේ නූතන මනූෂ්‍ය ඉතිහාසය ගොඩනැංවූ බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාවට අවශ්‍ය බෝම්බය හැදූ කෙනා. එතැනින් එහාට ඕපන්හයිමර් මාර වීර චරිතයක් බවට පත් කරන්නත් බෑ. මේ චිත්‍රපටයේ දී එහෙම දෙයක් කරන්න උත්සාහ අරගෙනත් නෑ.

එහෙත් ඒ අතරේ ම ඕපන්හයිමර් තමා දායක වූ අපරාධයේ තරම බව මනා අවබෝධයකින් සිටින බවත් පැහැදිලියි. චිත්‍රපටයේ මේ බව පෙන්වන ප්‍රබලම දර්ශනය එන්නේ බෝම්බය පිපිරීමෙන් පස්සේ ඒක සමරන අවස්ථාවේ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නව ලෝකය ගොඩනැඟුණේ ඇමෙරිකාව මෙම බෝම්බය අත්හැරිමින්, ලෝකයම ත්‍රස්ත කරමින් සිය බලය පෙන්වීමෙනුයි. ඒ අනුව මේ චිත්‍රපටයේ ඒ ගොඩනැඟුණු නව ලෝකය පිළිබඳ පැහැදිලි ඉඟි සපයනවා.

මේ චිත්‍රපටය නියුක්ලියර් ෆියුෂන් සහ ෆිෂන් අතර චිත්‍රපටයක් විදියට ස්ථානගත කිරීමටත්, ඒ එක්කම කොමියුනිස්ට්වාදය සහ නව ලිබරල්වාදය අතර කතාවක් විදියට හැඩගැස්වීමටත් ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබෙනවා. පුදුම හිතෙන තරම් ප්‍රබල විදියට ඒ සියලු තේමා එකට මුහු කිරීමත් නෝලන්ගේ සිනමාව සතු ශක්තිය මනාව කියා පානවා.

ඒ අනුව දර්ශනවාදය, විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආදරය ආදී ක්ෂේත්‍ර කිහිපයක් එකිනෙකට මුහු වෙනවා. ඔහු ඒ හොඳ-නරක අතර කැළඹිලි සහගත අපැහැදිලි ලෝකය පෙන්වන්නේ, න්‍යෂ්ටික ලෝකය තුළ සාකච්ඡාවට ලක් වෙන ‘හයිසන්බර්ග් අවිනිශ්චිතතා න්‍යාය‘ සංකේතයක් ලෙස ගෙන එමින්.

පරණ ලොව පුපුරවා නව ලෝකයක් ගොඩනැඟූ බෝම්බය!

ඒ කතාව අදට වැදගත් වෙන්නේ, හෙට දිනය වෙනුවෙන්.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසු සීතල යුද්ධය, කොමියුනිස්ට් ලෝකය බිඳවැටීම, 2008 ආර්ථික අර්බුදයෙන් පසු කාලය සහ නූතනම කාලය දක්වා අවධි කිහිපහයක් පහු කළත් ලෝකය පවතින්නේ ඒ විදියටමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු හැදුණ ලෝකය එතැනමයි. ඒ කියන්නේ ලෝකය ඉස්සරහට ගිය නමුත්, ලෝකය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරන පිපිරීමක් නැහැ.

ඒ වගේම තමයි තාක්ෂණය. විශේෂයෙන්ම විශ්වයේ යථාර්ථය හොයන භෞතික විද්‍යාව එතැනමයි. සාපේක්ෂතාවාදයෙන් පසු, ක්වොන්ටම් භෞතිකයෙන් පසු, අද දක්වා ම අප කළු කුහරවල සිට තව බොහෝ දේවල්වලට අදාළව තවමත් අතිවිශේෂ මහා සොයාගැනීමක් විද්‍යාව තුළ අද දක්වාම නැහැ. අද අප පාවිච්චි කරන සන්නිවේදන උපකරණ, ජීපීඑස් ආදියේ සිට පාන් ටෝස්ටරය දක්වා උපකරණ රැසක් ක්වොන්ටම් භෞතික විද්‍යාව ප්‍රායෝගිකව පාවිච්චි කරමින් වඩ වඩාත් දියුණු වී තිබෙනවා. එහෙත්, එදා ක්වොන්ටම් භෞතිකය ගැන තිබුණු ගැටලු රැසක් එහෙමමයි. ඉන් එහා ගිය අතිදැවැන්ත සොයාගැනීම් කිසිවක් නැහැ. ඩාක් මැටර්, ඩාක් එනර්ජි වගේ දෙයක පැවැත්ම පිළිබඳ නිශ්චිත කරුණු සොයා නොගත්තා පමණක් නෙවෙයි, අවිනිශ්චිතතා න්‍යායෙන් එහාට විශ්වීය භෞතික පැවැත්ම ගැන වැඩිදුර සොයාගැනීම් කිසිවක් තවම නැහැ. ස්ට්‍රින්ග් තියරි ආදී න්‍යායන් ගණනාවක් තිබුණත්, තවමත් කිසිවක් නිශ්චිතව තහවුරු කර නැහැ.

එමෙන්ම එදා ගොඩනැඟූ ආදරය පිළිබඳ, ලිබරල් ආර්ථික න්‍යාය පිළිබඳ, හොඳ නරක සහ බලය පිළිබඳ දර්ශනය ඇතුළු බොහෝ දේ අද දක්වා ම එලෙසම පවතිනවා. විද්‍යාවත්, ලෝකයත් එක් තැනක නතර වෙලා.

භෞතික විද්‍යාව

මේ කාලය භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරපු දශක කිහිපයක අවසානය සනිටුහන් කරපු කාලයක්. ඒ කාලයට අදාළව ඉතාම වැදගත්ම සොයාගැනීම් හෝ හඳුනාගැනීම් තුන කරපු විද්‍යාඥයන් තුන්දෙනෙක් මේ චිත්‍රපටයේ එනවා. අයින්ස්ටයින් 1905 දී තමන්ගේ විශේෂ සාපේක්ෂතා වාදය ලිවීමක් ලෙස ප්‍රසිද්ධ කළා. සියලු දේවල්වල භෞතිකමය පැවැත්ම පිළිබඳ අදහස සම්පූර්ණයෙන් අලුත් කළා. යමක චලනය එහි ස්කන්ධයට, කාලයට සහ අවකාශයට බලපානවා කියල කිව්වා. ඒ කියන්නේ ඔබ එක් වේගයකිනුත්, මම තව වේගයකිනුත් අවකාශයේ ගමන් කරන්න ගත්තොත්, ඔයාගෙ ස්කන්ධයත් මගේ ස්කන්ධයත් වෙනස් වෙනවා. ස්කන්ධය කියන්නේ තරාදියෙන් එන බරම නෙවෙයි. විවිධ පුද්ගලයන්ට කාලය ගත වෙන වේගයත්, අවකාශයේ ගමන් කරන වේගයට අනුව වෙනස් වෙනවා.

මෙය මතු වූ 1905 වර්ෂයට අවුරුදු හතරකට කලින්, 1901 දී වර්නර් හයිසන්බර්ග් කියන විද්‍යාඥයා උපත ලැබුවා.

ඊට පස්සේ 1013 දී නීල්(ස්) බෝර් පරමාණුවක ආකෘතිය ප්‍රසිද්ධ කළා. ඒ කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් ආදී ලෙස අපි කතා කරනු පරමාණුවලත් අභ්‍යන්තරය හෙවත් නියුට්‍රෝන්, ඉලෙක්ට්‍රෝන් ආදියේ පැවැත්ම ගැන හෙළි කළා. අපි දන්න පුංචි ම පුංචි මට්ටමෙන් සියලුම දේවල්වල භෞතික පැවැත්මක හරස්කඩ එතැනදී එළියට ආවා. ක්වොන්ටම් භෞතික විද්‍යාවට මුල් ගල එය.

ඊට පස්සේ, වර්නර් හයිසන්බර්ග් තමන්ගේ ‘අවිනිශ්චිතතා නියමය’ එළිදැක්වුවා. ඒ කියන්නේ පුංචි ම පුංචි පදාර්ථ නිශ්චිතව හඳුනාගන්න බැරි බවත්, ඒවා එකම වෙලාවේ ද්‍රව්‍ය ලෙසත්, තරංග ලෙසත් හැසිරෙන බව කීවා. ඒ අනුව ඒ න්‍යෂ්ටික මට්ටමේ දී තරංගයක් මනින, වේව්ලෙන්ත් එක සහ ද්‍රව්‍යයක් මනින්න ඒක පවතින නිශ්චිත ස්ථානය හෝ වේගය හඳුනාගැනීමේ අවිනිශ්චිතතාව ඔහු පෙන්වා දුන්නා. යහපත- අයහපත පිළිබඳ වාගේම පරමාණුවක හැසිරීම ගැනත් තිබෙන්නේ අවිනිශ්චිතතාවක්.

පරණ ලොව පුපුරවා නව ලෝකයක් ගොඩනැඟූ බෝම්බය!

මේ සියල්ල මැද නව ලෝකය ගොඩනැඟූ ආර්ථික-සමාජ-දේශපාලන දර්ශනයත් මේ චිත්‍රපටයේ එනවා. ඇමෙරිකාව තුළ කොමියුනිස්ට් වාදය ‘රාජ්‍යද්‍රෝහී ත්‍රස්තවාදයක්’ ලෙස ලේබල් කළා. විනාශයක් විදියට ලේබල් කරමින්, ඇමෙරිකානු පාලකයන් මාධ්‍ය, කලා, විද්‍යා ලෝකවල සිටින වාමාංශිකයන් බිය ගන්වන්නට සහ තුරන් කරන්නට දැවැන්ත දඩයමක් ක්‍රියාත්මක කළා. ඇමෙරිකන් සීමාවෙන් එළියට ගිහින් සීතල යද සමයේ දී චිලිය ආදී නොයෙකුත් රටවල්වල පැවැත්ම ම විනාශ කරමිනුයි ඇමෙරිකාව සිය ලිබරල් ලෝකය ස්ථාපිත කළේ. අදත් පවතින්නේ එම ලෝකය.

එහෙත්, වත්මන් ලෝකය සිටින්නේ නැවත වතාවක් පුපුරනසුලු මොහොතක. දෙවැනි ලෝක යුද සමට පෙර කාලය මෙන්ම ලෝකය ඉන්නේ අවිනිශ්චිත තැනක.

දෙවැනි ලෝක යුද්ධය ඇරඹෙන්නට ඔන්න මෙන්න තිබූ සමයේ ඉතාලියේ ඒකාධිපතිවාදයට එරෙහිව නැඟී සිටි වාමාංශික නායකයෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි නම් වූ විද්වතා සහ ක්‍රියාකාරිකයා ලියූවක්, ඕපන්හයිමර් චිත්‍රපටය සමග සිහිපත් කළ හැකියි.

‘පැරැණි ලොව පණ අදී!
නව ලොවක් උපදින්නට වෙර දරයි!
මේ රකුසන්ගේ හෝරාවයි!

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment