වසර 13කදී දක්ෂිණ අධිවේගයේ රිය අනතුරු 9375ක් ජීවිත 66ක් අහිමි වෙලා

159

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මේ දක්වා ගෙවී ගිය වසර 13ක කාලය තුළ අධිවේගී මාර්ගවල රිය අනතුරු 9375ක් සිදුවී තිබේ. මෙම අනතුරුවලින් මියගිය පිරිස 66 දෙනකු බව වාර්තා වේ.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුව විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකදී මෙම තොරතුරු අනාවරණය වෙයි. ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි, ආචාර්ය සමිත සමරනායක, ඉංජිනේරු කීර්ති රත්නායක යන මහත්වරුන් විසින් මෙම සමීක්ෂණය කර තිබේ.

මෙම අනතුරුවලින් 5282ක් රියැදුරන්ගේ වරදින් සිදුව ඇති බව අනාවරණය වෙයි. තවත් අනතුරු 3056ක් වී ඇත්තේ වාහනවල සතුන් හැපීම සහ අධික වර්ෂාව වැනි හේතුවලිනි. මත්තල ප්‍රදේශයේදී මෙලෙස වැඩිපුරම සතුන් අනතුරට ලක්වී තිබේ. ඉහත හේතුවලට අමතරව වාහනවල අඩුපාඩු, ටයර් පුපුරා යෑම්, තිරිංග පද්ධතියේ දෝෂ හේතුවෙන් ද අනතුරු 837ක් සිදුවී තිබේ.

මේ අතර අධිවේගී මාර්ගයේ මරණීය හා ශරීරාබාධ අනතුරු 1820ක් සිදුවී තිබෙන බව පෙන්වා දෙන ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා, එයින් අනතුරු 637ක්ම සිදුව ඇත්තේ රියැදුරන්ගේ වරදින් බව ප්‍රකාශ කරයි.

මරණීය හා ශරීරාබාධ වූ අනතුරු අතරින් 347ක් රියැදුරන්ගේ නිදිමත හා අධික වෙහෙස ගති නිසා සිදුවී ඇති බව ද හෙතෙම කියයි. සෙසු මරණීය හා ශරීර ආබාධ අනතුරු සිදුව ඇති ආකාරය වන්නේ, වාහනයක් ඉස්සර කිරීමට යෑමේදී 158ක්ද, වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් 159ක්ද ටයර් පුපුරා යෑමෙන් 260ක්ද ලෙසට යැයි ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි ප්‍රකාශ කරයි.

අහුන්ගල්ලේ – කමල් ශ්‍රී ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment