වාරණයට යට වූ මහනුවර පාපන්දුව

194

සුපර් ලීග් අන්තර් ක‍්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ දෙවන අදියර ලබන නොවැම්බර් මස අගදී ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එය දේශීය පාපන්දු ක‍්‍රීඩා ලෝලීන්ට සතුට දනවන ප‍්‍රවෘත්තියක් වුවත් මහනුවරට එසේ නොවේ. මහනුවර දිස්ත‍්‍රිකයේ ක‍්‍රීඩකයින් හිස් අහසට දෑස් දල්වා ගනිමින් එදෙස බලා සිටින බව දැනගන්නට තිබේ. මහනුවර නගරයේ පාපන්දු ක‍්‍රීඩා සමාජ නියෝජනය කරන ක‍්‍රීඩකයන් හට තම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට මෙවර තරගාවලිය තුළ ඉඩක් වෙන්ව නොතිබීම එයට හේතුවයි.

හැකියාවන් ඇති ක‍්‍රීඩකයන් කිහිප දෙනකු හට පමණක් වෙනත් ක‍්‍රීඩා සමාජ සමග ගිවිසුම්ගතව ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලැබී ඇති නමුත් ශීත කඳුරට ක‍්‍රීඩකයන් බොහෝමයකට සිදුවී ඇත්තේ තම ජර්සිය සහ බූට් සපත්තු යුගළ කිහිල්ලේ රුවා ගනිමින් හිස් අහසට දෑස් යොමා හීල්ලීමටය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර පාපන්දු කෙළි බිමට ආදරේ කරන සිය දහසක් ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් හඬ මෙවර සුපර් ලීගයේදී නැගෙන පාටක් පෙනෙන්නට නොමැත.

ඒ තමන් ආදරය කරන මධ්‍යම ලංකා, රෙඞ් ඩයමන්ඞ්. කැන්ඩි යෝර්ක්, හයිලයින්, ගෝල්ඩන් ස්ටාර්ස් වැනි ජාතික මට්ටමේ ශූරතා කුසලාන දිනා ගනිමින් කන්ද උඩරටට කීර්තිය රැුගෙන ආ කිසිදු ක‍්‍රීඩා සමාජයක් බලගන්වන්නට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු සංගමය උත්සාහ කර නොමැති පරිසරයක් තුළය. එවැනි තිරසර පරිසරයක් සකස් කරන්නට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයට කිසිදු වැඩපිළිවෙළක් තිබුණ බවක් ද පෙනෙන්නට නොමැත. එසේ නොමැති නම් තම පාර්ශ්වයට මහනුවර පාපන්දුවේ ඡුන්දය ඩැහැ ගැනීමේ අවස්ථාව ඇහිරී ඇති නිසාය. එවන්න ප‍්‍රශ්නාර්ථයක් නැගෙන්නේ පුරා සිව් වසරක් තිස්සේ මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු සංගමයට පනවා ඇති තහනම හා වාරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. මෙම අවුල වහා විසඳීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මැදිහත් විය යුතු බව අපේ හැඟීමයි.

මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු ලීගය නියෝජනය කළ නිලධාරීන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඔවුන්ට ව්‍යවස්ථානුකූලව විනයානුකූල පියවර ගැනීම ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරීන්ගේ වගකීම සහ වගවීම වනු නොඅනුමානය. මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ක්ෂණිකව ලබා දීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපොහොසත් වීම තුළ අපේක්ෂා භංගත්වයට පත්වී ඇත්තේ අහිංසක ක‍්‍රීඩකයන් ය. ක‍්‍රීඩකයන්ට තරග කිරීමේ අවස්ථාව උදා කිරීම වහ වහා සිදුවිය යුතුය. එමෙන්ම චූදිත නිලධාරීන්ගේ වැරදි නිවැරදි කිරීමේ ක‍්‍රියා පිළිවෙතක් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙතින් දක්නට නොමැති වීම ප‍්‍රශ්නය දිග් ගැසීමට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් දෙනවා වෙනුවට සිවු වසරක් තිස්සේ කල් මැරීමේ න්‍යාය අනුගමනය කිරීමෙන් පාපන්දු කෙළි බිමට පෙම්බැඳි මහනුවර ක‍්‍රීඩකයන් වෙනත් ක‍්‍රීඩාවන් තෝරා ගැනීම සඳහා පෙළඹී ඇති බවක් ද වාර්තා වේ. මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු ලීගයේ නිලධාරීන් අතින් සිදුවී ඇති වරද නිවැරදි කරනවා වෙනුවට ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව අහුරා තිබීම කනගාටුවට කරුණකි.

මෙවැනි පරිසරයක් තුළ මහනුවර නගරයේ ප‍්‍රධානතම ක‍්‍රීඩාංගණය ලෙස සැලකෙන ඓතිහාසික බෝගම්බර පිටිය අදටත් පවතින්නේ නවීකරණ මට්ටමේය. ඒ අයුරින්ම 1990 මුල් භාගයේ දී බෝගම්බර ක‍්‍රීඩාංගණය නවීකරණය විය. එම නවීකරණ ක‍්‍රියාවලිය තුළ පාපන්දු තරගයක් පැවැත්වීමට හෝ ක‍්‍රමවත් පුහුණු වීමක නිරතවීමට අවස්ථාව නොලැබීමෙන්ද මහනුවර පාපන්දුවට මරු පහරක් එල්ල වූ බවක් එකලද දිස් විය.

එහි අතුරු ඵලයක් ලෙස දක්ෂ පාපන්දු ක‍්‍රීඩකයන් මෙන්ම දහස් ගණනක් වූ ‘පාපන්දු’ ලෝලීන් ‘රග්බි’ ක‍්‍රීඩාවට පෙම් බඳිමින් ‘නිත්තවෙල’ ට සේන්දු වූ බව නම් සැබෑය. එය දේශීය පාපන්දු ක‍්‍රීඩාවට අනියමින් එල්ල වූ මරු පහරක් බව මහනුවර ක‍්‍රීඩාලෝලීන්ගේ විශ්වාසයය. සිව් වසක් පුරා ක‍්‍රියාත්මක වන වාරණය හේතුවෙන් මහනුවර දිස්ත‍්‍රිකයේ පාපන්දු ක‍්‍රීඩකයන් පත්වී ඇත්තේ ද එවැනිම අභාග්‍යසම්පන්න ඉරණමකටය.

මහනුවර දිස්ත‍්‍රික්කය තුළ අන්තර් ක‍්‍රීඩා සමාජ ලීග් තරග මාලාව සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ක‍්‍රියාත්මක නොවීම මගින් ද මෙම ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා මොට වී ඇති බව පෙනී යයි. 1990 දශකය තුළ දිවයිනේ හොඳම පාපන්දු ලීගයක් බවට පත්ව තිබුණු මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු සංගමය පත්ව ඇති තත්ත්වය ද සෝචනීය ය. ඒ සිව් වසරක් පුරා අකර්මණ්‍යව පැවතීම හේතුවෙනි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දක්වා ද පියවර තැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ බෝධි එම්. ලියනගේ මහතා මහනුවර දිස්ත‍්‍රික් පාපන්දු සංගමයේ සභාපති ධුරය උසුලන අවධියේ දී ක‍්‍රීඩා සමාජ අතර පැවති උද්‍යෝගය මෙන්ම ක‍්‍රීඩක විනය අනෙකුත් පාපන්දු ලීගවලට ආදර්ශයක් ගෙන දුන් බව ද ඉඳුරාම කිව යුතුය. එකල ඓතිහාසික

බෝගම්බර ක‍්‍රීඩාංගණය පාපන්දු ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා වලින් ආලෝකමත් වූ බවක් දිස් විය. සෑම සති අන්තයක්ම පාපන්දු තරග වලින් ස්වයංපෝෂිත කිරීමට එකල නිලධාරීන්ට හැකි විය.

අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් පාපන්දු කෙළි බිමට පිවිසී යොවුන් හා කනිෂ්ඨ ක‍්‍රීඩකයන් හට ද තම දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව අද දවසේ නොලැබීමෙන් ඔවුන්ගේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී තිබේ. මහින්ද අළුවිහාරේ, ශංකර්, මහින්ද ජයරත්න, ඩයමන්ඞ් සෙනෙවිරත්න, රාසා, රහීම් සහෝදරයෝ, ඩබ්ලිව්. ඞී. සරත්, ඞී. එම්. කපිල වැනි මහනුවර ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා තුළින් එකල ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ආලෝකමත් වූ බවක් දක්නට ලැබුණි.

එවන් ක‍්‍රීඩකයන්ගේ අඩිපාරේ පියවර ඔසවන යොවුන් ක‍්‍රීඩකයන් රැුසක් මහනුවර පුරවරයේ සිටින බවද ජස්වර් උමාර් මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලධාරීන් නොපමාව අවබෝධ කරගත යුතු බව අපේ හැඟීමයි.

*  අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment