ගෝලීය උණුසුම නිහඬ මාරයෙකි

524

අධික ලෙස උණුසුම් වෙමින් පවතින අපගේ ලෝකය ඉදිරි වසර කිහිපය තුළ ප්‍රථම වරට ප්‍රධාන උෂ්ණත්ව සීමාවක් පසුකර යෑමට ඉඩ ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරය. 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 1.5ක් ලෙස පවතින ගෝලීය උෂ්ණත්ව මට්ටම වැඩි වීමේ 66%ක සම්භාවිතාවක් පවතින බව හෙළිව තිබේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු විමෝචන සහ එල් නිනෝ කාලගුණ රටාව හේතුවෙන් උෂ්ණත්ව මට්ටම වැඩි වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව පෙනේ. එල් නිනෝ යනු, පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ඇති වන ක්‍රියාවලියකි. දාහය දැරිය නොහැකි වන විට ලෝකයේ කාලගුණ වෙනස්කම් ගැනද මෙරට වැසියන්ට මතක් වෙයි. පසුගිය වසර පුරාම වැස්ස තිබුණත් මේ වසරේ මුල් මාස තුනම වියළි කාලගුණයක් පැවතියේය. එහි වෙනසක් ඉක්මනින් සිදු නොවන බව නොපෙනේ. එල් නිනෝ බලපෑමෙන් ලංකා දූපත ආරක්ෂා වී නැත. ලෝකයේ කාලගුණ වෙනස අපටත් හොඳින්ම දැනෙයි. එය ඇඟට පමණක් නොව බඩටද දැනෙයි. පසුගිය කාලයේ එළවළු මිල ඉහළ ගියේ අධික වර්ෂාව නිසා ඇතිවූ තත්ත්වය හේතුවෙනි. මේ වියළි කාලගුණය නිසා ඇතිවන්නේ කුමක්දැයි යන්න කියන්නට තවම කල් වැඩිය. දශකයක හෝ දෙකක කාලයක් තිස්සේ සෑම වසරක ම සෙල්සියස් අංශක 1.5ට වඩා උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් ප්‍රබල සුළි කුණාටු සහ ලැව්ගිනි ඇතිවීම නිරන්තරයෙන් වාර්තා විය. මේ විපත් වල අඩුවීමක් නොව වැඩිවීමක් වසරින් වසර සිදුවේ. 2023 මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර විය. නමුත් පසුගිය වසරට වඩා උණුසුමක් මේ වසරේ දැනෙයි. මේ වසර පසුගිය වසරේ වාර්තා බිඳ දැමුවහොත් ලෝකය එන්න එන්නම නරක තැනක් වන බව තවදුරටත් නොකියමනාය.

මීට වසර නමයක පෙර එනම් 2015 දී ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති දේශගුණික විපර්යාසයන් සම්බන්ධ සමුළුවේදී එළඹුණු තීරණයක් වූයේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 ඉක්මවා යෑමට ඉඩ නොදී සෙල්සියස් අංශක 1.5 මට්ටමක පවත්වා ගෙන යමින් ගෝලීය උණුසුම පාලනය කිරීමයි. නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත. දේශගුණික විපර්යාසයන් ශ්‍රී ලංකාවටද නුදුරු අනාගතයේදී දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට පාරිසරික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබේ. ඒ අනුව වසර 2030 වන විට මෙරට දැඩි නියං තත්ත්වයක් හටගනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී ඇති අතර දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වසර 2050 පමණ වන විට දැඩි නියඟයක් හටගෙන ඒ හරහා කෘෂි අස්වැන්න අඩු වීමෙන් රට තුළ ආහාර හිඟයක් හටගනු ඇති බව එම විද්‍යාඥයෝ පවසා තිබේ. ඇත්තෙන්ම වැඩිවන ගෝලීය උණුසුම නිහඬ මාරයෙක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශගුණ විපර්යාසවල අහිතර ප්‍රතිඵල නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ වී අස්වැන්න 10%කින් අඩුවී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය 50%කින් පමණ අඩුවී තිබේ. දේශගුණ විපර්යාස නිසා ලොව බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකයේ ශ්‍රී ලංකාව හයවන ස්ථානයට පැමිණ තිබෙන්නේ මේ නිසාය. ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රටකට දේශගුණ විපර්යාස නිසා ඇතිවන අහිතකර බලපෑම මෙරට ප්‍රශ්න තවත් උග්‍ර කිරීමට මිස සැහැල්ලු කරන්නේ නැත. ඇතිවූ දුර්භික්‍ෂ කිහිපයකින් 2022 වසරේ සෝමාලියාවේ පුද්ගලයන් 43 000ක් පමණ මියයන්නට ඇතැයි සෝමාලියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක් පෙන්වා දී තිබිණි. මේ සියල්ල උණුසුම වැඩිවීම හරහා සිදුවූ විපර්යාසයන්හි විපාක වේ. ‘මගේ නෝනා බඩගින්නෙ මැරිලා ගියා’ යනුවෙන් එක් සෝමාලි වැසියෙක් පවසා තිබුණේ කඳුළු පිරි දෙනෙතිනි. නමුත් ස්වභාවධර්මය සැහැසි වන විට කිසිම බලවතෙකුට එයට එරෙහි විය නොහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment