දශක ගණන් පැරැණි වාර්තා බිඳ ශ්‍රී ලංකාව රනින් බැබළේ

1043

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක ඉහළම තැන ද දිනයි

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තා දෙකක් අලුත් කරමින් රන් පදක්කම් දෙකක් ඊයේ (16 වැනිදා) ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේ පදක්කම් 8 ක් ජයග්‍රහණය කරමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ තරගාවලිය ලෙස 2023 තරගාවලිය සටහන් කිරීමට සමත් වූයේය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ජයග්‍රහණය කරමින් 4 වැනි ස්ථානයට පත්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීට පෙර දැක්වූ ඉහළම දක්ෂතාවය වූයේ එහි 6 වෙනි ස්ථානයට පත් වීමයි.

දශක ගණන් පැරැණි වාර්තා බිඳ ශ්‍රී ලංකාව රනින් බැබළේ

ඒ 2002 වසරේ පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ය. ඒ අනුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙවර වසර විසි එකකට පසු එම වාර්තාව අලුත් කිරීමට සමත් වී තිබේ.

ඊයේ (16 වැනිදා) මීටර් 800 කාන්තා ඉසව්වේ ආසියානු වාර්තාව පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න ත්, මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ආසියානු වාර්තාව අලුත් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට අරුණ දර්ශන, රාජිත රාජකරුණා සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය ජුනි මාසයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද වලල ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීට පෙර සමත්ව සිටියාය.

චීනයේ ශියාන් ජියාන් ‘Zhang Jiyan’ 1998 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව වූ 2.01.16 දක්ෂතාවය 2.00.66 ක කාලයකින් අලුත් කරමින් තරුෂි මෙම රන් පදක්කමට හිමිකම් පෑවාය.

ඒ අනුව තරුෂි වසර 25 ක් පැරණි ආසියානු වාර්තාවක් බිඳ දැමූ අතර ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායම ඊයේ බිඳ හෙළනු ලැබුවේ 2000 වසරේදී මීටර් 400 පිරිමි සහාය දිවීමේ තරගයේදී වාර්තා කර තිබූ 3.02.71 වාර්තාවකි.

ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම 3.01.56 කින් ඊයේ එම තරගය නිම කළ අතර මෙම දක්ෂතාවයද නව ශ්‍රී ලංකා වාර්තාවකි.

2002 වසරේදී සුසන්තිකා ජයසිංහ විසින් මීටර් 200 කාන්තා ඉසව්ව ආසියානු වාර්තාවක් තබමින් ජය ගත් අවස්ථාවට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ආසියානු වාර්තාවක් පිහිටුවූ පළමු අවස්ථාව ලෙස තරුෂි අදාළ වාර්තාව පිහිටුවූවාය.

එම රන් පදක්කම ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් ඇතුළත මීටර් 400 කාන්තා සහය දිවීමේ තරගයට එක් වූ තරුෂි එම තරගයේ ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට ගෙන දීමට සමත්වූවාය.

තරුෂි සමග එම තරගයට එක් වූ නදීෂා රාමනායක, නිශේන්ද්‍ර ප්‍රනාන්දු සහ සයුරි ලක්ෂිමා ඇතුළු ක්‍රීඩිකාවන් ඊයේ වාර්තා කළ 3.33.27 තරග නිමි කාලය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූයේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ නිමාලි රත්නායක ඇතුළු ක්‍රීඩිකාවන් 2019 වසරේදී පිහිටුවනු ලැබූ 3.35.06 ක වාර්තාවයි.

මේ අතර පෙරේදා පැවැති මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයෙන් ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන දීමට තරුෂි කරුණාරත්න ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අරුණ දර්ශන, කාලිංග කුමාර සහ නදීෂා රාමනායක එම තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූහ. ඔවුන් එහිදී වාර්තා කළ තරග නිමි කාලය 3.15.41 කි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනකු සහභාගි වූ අතර ඒ අතරින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනකුම පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබුණි.

අසියානු වාර්තා දෙකක්, ශ්‍රී ලංකා වාර්තා පහක් සහ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තායිලන්තයේ පැවැති මෙම තරගාවලියේ ශූරතාව රන් පදක්කම් 16 ක් ජයග්‍රහණය කළ ජපානයටත්, දෙවන ස්ථානය රන් පදක්කම් 8 ක් ජයග්‍රහණය කළ චීනයටත් හිමි විය. රන් පදක්කම් 6ක් ජයග්‍රහණය කළ ඉන්දියාවට හිමි වූයේ තුන්වන ස්ථානයයි.

advertistmentadvertistment
advertistmentadvertistment