විශේෂඥ වෛද්‍ය වාර්තාව එයි: – බිරිඳ මැරූ සැමියාගේ රංගනය හමාරයි

1254

ත්‍රිරෝද රථයෙන් ඇදවැටී හිසට බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ බිරිඳ මාසයකට පසු මියයෑම ඝාතනයක් බවට සැකකර පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

බදුරලිය, මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය. සැකකරු 2023 අප්‍රේල් 10 දා රාත්‍රී සිය බිරිඳ වන එම්. බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රිරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2023 මැයි මස 07 දා මියගොස් ඇති බව පොලිසිය කීය. ඇයගේ මරණය සැක සහිත බවට පවුලේ සාමාජිකයන් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය.

මොට ආයුධයකින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කාන්තාවගේ මරණය සිදුව ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පෙනී යන බව පොලිසිය කියයි. අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන සහ සහකාර පොලිස් අධිකාරී යූ. ඩී. එල්. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පො.ප. තිලංග සංජීව මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. උපුල් හර්ෂ, පො.සැ. වරුන් වන ගුණේන්ද්‍ර (55301), සමන්තිලක (41104), ප්‍රසන්න (69479), ජයසූරිය (69615) සහ පො.කො. තුෂාර (79335) වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment