දීපංගම

2145

දින කිහිපයක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා අසරණව සිටින හම්බන්තොට – කතරගම මාර්ගයේ සොහොන්ගල ජනතාව ගමේ පෙට්‍රල් ෂෙඩ් එක ඉදිරිපිට ‘තෙල් දීපංගම’ යනුවෙන් අලුත් ගමක් විවෘත කර තිබේ. මෙහි සිටින්නෝ තෙල් ඉල්ලා උද්ඝෝෂණ කරන්නෝය. අපට හැඟෙන පරිදි තෙල් දීපංගම යනු දැනට පවතින ‘ගෝඨා ගෝ ගම’, ‘මයිනා ගෝ ගම’, ‘225 ම ගෝ ගම’ යන ගම්මාන රැල්ලේ දිගුවකි. මෙය දැන් එක්තරා ආකාරයක විකාරයක් වී තිබේ. රටේ නීතිය මස්තබාල්දුවන් අතට පත්වී ඇති අතර එයට හේතුව රටේ පාලකයන්ගේ වරදය. මේ පාලකයන්ද මස්තබාල්දුවන්ද නිසා ළඟදීම දිනක ‘මහ මුහුදට පනිමු ගම යනුවෙන්’ වෙරළාසන්න ගම්මානයක් ඉදිකර එතැනින් මුහුදට පැනීමට අපට සිදුවන බව සියලු දෙනා මතක තබාගත යුතුය. ගෝල්ෆේස් පිට්ටනියේ දැනට තිබෙන ගෝඨා ගෝ ගම ද අර්බුදයට පත්ව තිබේ. යූ ටියුබ් කාරයන් විසින් මෙහෙයවන මේ අරගලය ඔවුන් අතින්ම අපහරණය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය දිනක ගෝල්ෆේස් අරගලය මෙහෙයවන යූ ටියුබයකුගේ පෙම්වතිය ස්වකීය ෆේස්බුක් ගිණුම මගින් තම පෙම්වතාගේ දිග පළල හෙළි කළාය. තම පෙම්වතා ‘කොළඹ සිටි හොටෙල්’ එකේ කාමරයක් ගෙන කුඩු ගහන බවත් ඔහු ඒවාට සල්ලි වැය කරන්නේ අරගලය සඳහා ලැබෙන මහජන ආධාර වලින් බවත් ඇය කියා තිබේ. එමතුද නොව ඔහු අරගල භූමියට එන්නේ ෆේස්බුක් එකේ වැඩසටහනක් නිෂ්පාදනය කර ගැනීමට වුවමනා වූ විට පමණක් බවද ඇය කියයි. මේ යූ ටියුබයා හඳුනාගැනීම පහසුය. ඔහු ළඟදි පොලිස් කොස්තාපල් කෙනකුට පහත් ලෙස බැන වදින අයුරු අන්තර්ජාලයෙන් පෙන්වනු ලැබීය.

 මේ සියලුම කරුණු අපට කියන්නේ පෙම්වතියගේ ෆේස්බුක් එකවුන්ට් එකය. මේවායේ දිග පළල අපි නොදනිමු. එහෙත් අරගලය යනු දීර්ඝකාලීනව පවතින විට අතනින් මෙතනින් කුණු වීමට පටන් ගන්නා වැල ගෙඩියකි. මෝටිවේෂන් අප්පච්චි නමැති යූ ටියුබ් රැවුලාට සිදුවූ දේ මතකද? ගෝඨා ගෝ ගම අරගලයේ සමාරම්භකයා ලෙස මෝටිවේෂන් අප්පච්චි නමැති යූ ටියුබයා හඳුන්වාදීමට පුළුවන. පසුගියදා ඔහු අරගල බිමට පැමිණි විට ඔහුගේ සගයන් විසින්ම ඔහු අරගල භූමියෙන් එළවා දමන ලදී. ඔහු අරගලය පෙන්වා පිට රටින් සල්ලි එකතුකරන බවත් මැයි 9 දා පොහොට්ටු ප්‍රහාරයේදී අරගල භූමියෙන් අතුරුදන්ව සිටි බවත් ඔහුගේ සගයෝ කියති. එවැනි කතන්දර තව බොහොමයක් ගෝඨා ගෝ ගමේ තිබෙන්නට පුළුවන. එම අරගලය විෂ බීජ වලින් ගහන වුවහොත් ලොකු සමාජ ප්‍රශ්නයක් මතුවේ. දැනට කොළඹ අරගලය භාරව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තුළ යූ ටියුබ් කාරයන් හෝ කළම්බෝ සෙවන් ප්‍රොටෙස්ටර්ස්ලා නැත. එබැවින් එම තරුණ පිරිස පිරිහිලා ද නැත.

 ගෝඨා ගෝ ගම, මයිනා ගෝ ගම යනාදී වශයෙන් තිබෙන ගම්මාන වැනි, එහෙත් අරමුණින් මහත් සේ වෙනස් වූ ගම්මාන සංකල්පයක් අගමැති ආර් ප්‍රේමදාස විසින් යූ එන් පී ආණ්ඩු සමයේදී ආරම්භ කරන ලදී. ප්‍රේමදාස මහතාගේ ගම්මාන සංකල්පය ගම්උදාව ලෙස හැඳින්වුණු අතර, එය ගෙවල් නැති දිළිඳු ජනයාට නිවාස ලබාදීමේ උදාර අදහසින් ඇතිකරන ලදි. ගම්උදාව මගින් නිවාස දසලක්‍ෂයක් සෑදීම ප්‍රේමදාස මහතාගේ අභිලාශය විය. ජීවතුන් අතර සිටි කාලයේදී ඔහු සිය අභිලාශයෙන් දහයෙන් එකක් සම්පූර්ණ කර ගනිමින් අඩුම ගණනේ මධ්‍යම පාංතික නිවාස ලක්‍ෂයක් සාදා ඒවා දිළිඳු ජනයා වෙත ලබා දුන්නේය. එහෙත් ඉන් පසු බලයට පැමිණි එකෙකුටවත් ප්‍රේමදාස මහතා නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ වැඩපිළිවෙළින් 1/10 ක් වත් සම්පූර්ණ කර ගැනීමට බැරි විය. ප්‍රේමදාස මහතා උදාගම් සියල්ලටම වෙන වෙනම නම් දැමුවේය. මව්ගම, පියගම වැනි නම් ඒ අතර විය. කජු වෙළෙන්දියන් වෙනුවෙන් කජුගම සාදන ලදි. එය දුටු දේශපාලන කුහකයෝ ඔහු මතු යම් දවසක සංගීතකාරයන් සඳහා ගම්මානයක් ඉදිකොට එයට සරිගම යන නම තබනු ඇතැයි ඔච්චම් කළහ. ලංකාවේ දේශපාලනය කුහක ලෙස වල්වැදීම පටන් ගන්නේ 1977 න් පසු ය. ජනාධිපති ප්‍රේමදාස ද ඒ වල්වැදීමේ පාපය විසින් මරාදමන ලද මිනිසෙකි. මේ රටේ දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය වන්නේ තෙල්, ගෑස් සහ විදුලි ප්‍රශ්නයයි. මේ ප්‍රශ්න සඳහා උත්තර දීමට කිසිදු පාලකයෙකුට තවමත් හැකිව නැත. ඊයේ මේ වැකිය ලියන මොහොතේදීද මේ රටේ දුප්පත් මිනිස්සු භූමිතෙල් ලීටරයක් ලබාගැනීම සඳහා පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට අරගල කළහ. මේ අරගල සංසිඳවීමට පොලිසියට නොහැක. හෘද සාක්‍ෂියට එරෙහිව අරගලකරුවන්ට පහරදීමට ද පොලිසියට නොහැක.පසුගිය දින කිහිපය තුළ විවිධ නොසන්සුන්කාරී තත්ත්වයන් පවතිද්දී මේ රටේ ජනයා පොලිසිය සහ යුද හමුදාව නිදාගෙන සිටින්නේදැයි ප්‍රශ්න කළහ. සමහර විට ඊයේ යුද හමුදාපති ශවේන්‍ද්‍ර සිල්වා ඉල්ලා අස්වන්නට ඇත්තේ ද අරගලයේදී හමුදාව නිදා සිටියේ යැයි කියන චෝදනාව දුරදිග ගිය නිසා වන්නට ඇත. එහෙත් යුද හමුදාවත් අරගලකරුවනුත් යන දෙගොල්ලම මිනිස්සුය. සාමාන්‍ය ජනතාවට තිබෙන භූමිතෙල් ප්‍රශ්නය හමුදා සෙබළාගේ ගෙදරටත් එසේම පවතී. සාමාන්‍ය මිනිසාට ඇති විදුලි ප්‍රශ්නය හමුදා සෙබළාටත් ඇත. මේ දෙකම පොලිස් රාලහාමිටත් තිබේ. එකම ප්‍රශ්නයක් වෙනුවෙන් දුක් විඳින මිනිස්සු ඒ ප්‍රශ්න නිමිති කොට ගෙන ගහමරා ගන්නේ නැත. භූමිතෙල් සහ පෙට්‍රල් නැතිව සාමාන්‍ය ජනයා ඝෝෂා කරන විට ඔවුන්ට පහර දී එළවා දැමීමට ආරක්‍ෂක අංශවල හෘද සාක්‍ෂියට නොහැක.

 අපට දැනගන්නට ඇති පරිදි මේ රටේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් තවත් හයමසකට වැඩි කලක් පැවතීමට ඉඩ තිබේ. මෙහිදී අත්‍යන්තයෙන් ම සිදුවනු ඇත්තේ අප පෝලිම්වලට පුරුදු වීමය. ඒ අනුව පෙට්‍රල් ෂෙඩ් හිමියා ද, පෙට්‍රල් පොම්පකරු ද ගෑස් වෙළෙන්දා ද පෝලිම්වලට හුරුවනු ඇත. එය න්‍යායාත්මක වශයෙන් එසේ වුවහොත් පෝලිමක් නැති තැන පෙට්‍රල් නිකුත් නොකිරීමටත්, පෝලිමක් නැති තැන ගෑස් නිකුත් නොකිරීමටත් න්‍යායාත්මකව සිදුවේ. මේ න්‍යායයේ ඊළඟ පැත්ත වන්නේ තෙල් ලබා ගැනීමට අවශ්‍ය පෝලිම නිර්මාණය කිරීමට ජනතාවට සිදුවීමෙනි. මෙය විකාර තත්ත්වයක් වුවද, ඉදිරියේදී මෙවැනි විකාර තත්ත්වයන් නිර්මාණය නොවනු ඇතැයි කාටවත් කියන්නට බැරිය. සොහොන්ගල ගමේ පිහිටුවා ඇති තෙල්දීපංගම ද මෙවැනි විකාරරූපී තත්ත්වයකි. සෑම දේශපාලන විකෘතියක් තුළම සමාජ විකාරයක් බිහිවේ. අප මේ භුක්ති විඳිමින් සිටින්නේ ඒ තත්ත්වයයි.

advertistmentadvertistment
advertistmentadvertistment