හොරකම් කරපු රාජ්‍ය මුදල් නැවත ගේන්න ඕන කියන එකට අපි එකඟයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

55

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ස්වකීය දේශපාලන කටයුතු ආරම්භ කර තිබේ. එම පක්ෂයෙන් පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් ස්වාධීනව කටයුතු කරන තවත් කණ්ඩායමක් මේ මොහොතේ නව දේශපාලන සංධානයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවට කතාවක් පැතිර යමින් තිබේ. මේ ගැන දැන ගැනීමට අපි මෙවර එම කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සමග මෙසේ කතා කළෙමු.

● ඔබතුමාගේ කණ්ඩායම නව දේශපාලන සන්ධානයක් සඳහා සාක්ච්ඡා ආරම්භ කරල තියෙනවා කියල දැනගන්න ලැබෙනවා. කොහොමද ඒ කටයුතු?

නෑ… නෑ… සන්ධානයක් නෙවෙයි. ඇත්තටම අපි සියලුම විපක්ෂයේ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරමින් යනවා වැඩපිළිවෙළක් පිළිබඳව. ඒක තමයි ඔය සන්ධානයක් කියල කියනවා ඇත්තේ.

● ඒ සාක්ච්ඡා කෙරෙන්නෙ මැතිවරණයක් ඉලක්ක කරගෙන නව දේශපාලන වැඩපිළිවෙළක් ගැන නෙවෙයිද?

නැහැ.. දේශපාලන සන්ධානයක් හදනවනම් මැතිවරණයක් ඉලක්ක කරගෙන වෙන්න එපැයි. අපි මෙතනදි කරන්නෙ විපක්ෂයේ පළල් වැඩපිළිවෙළක් හදන්න සියලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කිරීමක්. පොදු වැඩපිළිවෙළකට අපිට එකතු වෙන්න පුළුවන්ද කියන එකත් එක්ක තමා සාකච්ඡා කිරීම සිදුවෙන්නේ.

● කුමක් අරභයා මොනවගේ ප්‍රතිපත්ති මතද මේ සාකච්ඡාව සිදුකෙරෙමින් තිබෙන්නේ?

ප්‍රධාන කරුණු හතරක් මත අපි මේ සාකච්ඡා සිදුකරන්නේ. එකක් තමයි මේ ආර්ථික අර්බුදයෙන් එළියට යන්න පුළුවන් මාවත මොකක්ද සහ අපේ දීර්ඝකාලීන ආර්ථික සැළසුම කුමන ආර්ථික මොඩලයක් මත පදනම් වෙන්න ඕනද කියන එක. ආර්ථිකය සම්බන්ධව මේ කරුණු දෙක ඇතුළත් සැළසුමකට විපක්ෂයේ එකඟතාව හදන්නයි අපේ උත්සහය. දෙවැන්න විදේශ සම්බන්ධතා කියන විෂය මේ වෙනකොට ප්‍රධාන කාරණයක් බවට පත්වෙලා තියෙනවා. මොකද ඉන්දියාව සහ චීනය කලාපීය බලවතුන් විදියට බලපෑම් වෙද්දි කොහොමද අපේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යන්නෙ. ඒ නිසා ඉතාම වැදගත් මාතෘකාවක් විදියට විදේශ සබඳතා අපි සළකනවා. එතනදී යම් දුරකට මධ්‍යස්ථ ආකෘතියකට පවතින්නේ කොහොමද කියන එක අපේ සාකච්ඡාවේ තියෙනවා. තුන්වෙනි කාරණය තමයි මේ රටේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. දහතුන් වැනි සංශෝධනය පළාත් සභා ඡන්ද ක්‍රමය වගේ මේ රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරක් විදියට අලුතින් අපිට හිතන්න පුළුවන් මොනවද? හතරෙ වැනි එක තමයි මේ රටේ ආර්ථික සහ සංවර්ධන සඳහා අනුගමනය කළ යුතු ආර්ථික මොඩලය. ඒ කියන්නෙ ලිබරල් ආර්ථික මොඩලයද නැත්නම් සංවෘත ආර්ථික මොඩලයක්ද අපිට ගැළපෙන්නෙ. දැන් ලිබරල් කිව්වොත් සියලුම අංශ පුද්ගලික කරණය මත විශ්වාස තබා අනුගමනය කරන ක්‍රමයක්. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා අනුගමනය කරන්නෙ ඒ ලිබරල් ආර්ථික මොඩලය වගේ එකක්. එත් එක්කම සම්පූර්ණ ආර්ථිකය වැහිච්ච කොමියුනිස්ට් මොඩලය ගැන විශ්වාසය තියන අයත් ඉන්නවා. මේ දෙක මැද්දෙ මොන වගේ ආර්ථික මොඩලයක්ද සංවර්ධනය සඳහා අපි අනුගත විය යුත්තෙ කියන සාකච්ඡාව අපි අතරෙ තියනවා. මෙන්න මේ කරුණු හතර මුල් කරගෙන විපක්ෂයේ කණ්ඩායම් අතර එකඟතා හැදීමේ වැඩපිළිවෙළක් සඳහායි අපි මේ ක්‍රියා කරන්නෙ.

● අයි. එම්. එෆ්. එකෙන් ලැබෙන්න තියෙන දෙවන ණය වාරිකය ලැබීම පිළිබඳ අවනිශ්චිත තත්ත්වයකයි පවතින්නෙ. මේ ණය වාරිකය නොලැබුණොත් මොනවගේ තත්ත්වයකට රට පත්වෙයිද?

මේ රටේ විශාල මිත්‍යා දෘෂ්ඨියක් නිර්මාණය වෙලා තියෙනවා අපේ ආර්ථිකය කඩා වැටුනේ අයි.එම්.එෆ්. එකට ගියේ නැති නිසා කියල. ඒක වැරදියි. අයි. එම්. එෆ්. එකට යෑමෙන් වෙන්නෙ ආර්ථිකයට පොඩි තල්ලුවක් සහ විදේශ සංචිත ටිකක් වැඩි කරගන්න උදව්වක් විතරයි. නැතුව ආර්ථිකය ගොඩ ගියා කියන එක නෙවෙයි. මේක හරියට තේරුම් ගන්න ඕන. මීට කලින් අයි.එම්.එෆ්. එකට දහසය වතාවක් ගිහින් තියනවනෙ. ආර්ථිකය ගොඩ ගියේ නෑනෙ. අයි. එම්. එෆ්. එකට ගියා කියන්නෙ මේ වාහනය නතර වෙන්න එනකොට පොඩි තල්ලුවක් දෙන වැඩක්. හැබයි ඒ තල්ලුව දෙන්න එද්දී එයාල හැමදාම මේ වාහනය වෙනත් පාරකට හරවන්න බලනවා. ඉතින් ඒ නිසා මේ තල්ලුව ගන්න එක පාඩුයි කියල සමහරු විශ්වාස කළා. එකයි සිදුවුණේ. ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුවත් ආර්ථිකය සම්බන්ධව ගත්ත වැරදි තීන්දුව නිසා තමයි අවසාන විග්‍රහයේදී අපිට මේ විදියට විදේශීය සංචිත නැති තැනට වැටුණේ. මේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට ආනයනය සඳහා විදේශීය සංචිත නොමැති වීම. ආනයනය සඳහා විදේශීය මුදල් නැතිවෙනකොට අපිට ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවෙනවා. විශේෂයෙන් 1976න් පස්සෙ කවදාවත් අපේ ගෙවුම් ශේෂය ධන අගයක් තිබිල නෑ. හැමදාම තිබිල තියෙන්නෙ සෘණ අගයක්. ඒ කියන්නෙ මේ විදේශීය මූල්‍ය අර්බුදය හැමදාම තිබිල තියෙනවා. මේ අතරමැදි ප්‍රමාණය වැයකරන්න හැමදාම ණය ගන්න එකම තමා කරල තියෙන්නෙ. මේ ණය ගැනීමේ ප්‍රශ්නය තමා මුලින් ආවේ. දෙවැනි එක තමයි, හැම ආණ්ඩුවක්ම වියදම් කරන ප්‍රමාණයට වඩා උපයාගන්න ප්‍රමාණය වැඩියි. එතනදී රට අභ්‍යන්තර මුදල් අඩු වීමේ ප්‍රශ්නයක් ඇතිවෙනවා. මෙතනින් කියන්නෙ රටේ සල්ලි නෑ කියන එක නෙමෙයි. ආණ්ඩුවේ සල්ලි නෑ කියන එක. අය වැය හිඟය කියන මේක තමයි දෙවැනි ප්‍රශ්නය. එත් එක්කම ආව අලුත් ප්‍රශ්නය ණය අර්බුදය. ඇත්තටම ණය ගැනීම කියන එක හැම තිස්සෙම අර්බුදයක් නෙවෙයි. හැබැයි දැන් අපේ රටේ ණය ගැනීම අර්බුදයක් වෙලා. මොකද ණය ගැනීම වගේම ගෙවන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. දැන් තියෙන්නෙ ණය අරගෙන ණය ගෙවන්න බැරි දුබල රටක් බවට පත්වෙලා තියෙන එක. මේ රාජ්‍ය මූල්‍ය අර්බුදයයි විදේශීය සංචිත අර්බුදයයි ණය ගෙවීමේ අර්බුදයයි කියන අර්බුද තුනේ අපි පැටලිලා තියෙන්නෙ. ඒකෙන් එළියට එන්න අපි අලුත් ක්‍රම හොයන්න ඕන. නැතිව මේ අයි. එම්. එෆ්. එකේ ණය මේකට විසඳුමක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඇවිත් කෝකටත් තෛලය කියල අයි. එම්. එෆ්. කතාව කියනවා. ඒකෙන් ලොකු දෙයක් වෙන්නෙ නෑ. පොඩි තල්ලුවක් ලැබෙන්නෙ.

● අයි. එම්.එෆ්. එකේ කොන්දේසී ඉටු නොවීමේ අසතුට තමයි මේ දෙවන ණය වාරිකය ලබා දීම සඳහා ගැටලුව වෙලා තියෙන්නෙ. මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම හිතකරද ?

අයි. එම්. එෆ්. එකේ දාපු හැම කොන්දේසියක්ම වික්‍රමසිංහ මහත්තයා හිනා වෙලා හරි හරි කියල භාර අරන් තියෙනවා. අයි. එම්.එෆ්. එක කියන කියන පැත්තට වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ආර්ථිකය හරවමින් ඉන්නෙ. රාජ්‍ය සම්පත් විකිණීම විතරක් නෙවෙයි කියන ඕන එකක් කරනවා. මේක විශාල අවුලකට යන්න පුළුවන්. මම හිතන්නෙ ඔය දෙන්නෙ නෑ කිව්වට එයාල අත කරකවල දෙවැනි වාරිකය දෙයි. හැබැයි ඒක දුන්න කියල මම කිව්ව අර්බුද විසඳෙන්නෙ නෑ.

● නැවතත් පාර්ලිමේන්තුවෙන් ඇහුණා මැති ඇමැතිවරු හොරකම් කරපු මුදල් මේ රටට නැවත ගේන්න ඕන කියල. මේ ගැන ඔබගේ කණ්ඩායම මොකද කියන්නෙ?

හොරකම් කරපු රාජ්‍ය මුදල් නැවත ගේන්න ඕන කියන එකට අපි එකඟයි. අයි. එම්.එෆ්. සංවාදය වගේම හොරකම් ගැන තියන සංවාදයෙත් පොඩි පරහක් තියෙනවා. රට වැටුණේ අයි. එම්.එෆ්. එකට ගියේ නැති එක නිසා කියල හිතන මෝඩ පිරිසක් වගේම මේ හොරකම් ටික නැවැත්තුවොත් මේ රට සුඛිත මුදිත වෙනවා කියල හිතන අයත් ඉන්නවා. ඒකෙන්ම මේ රට දියුණු වෙන්නෙ නෑ. ඇමෙරිකාව වගේ රටක් දියුණු වුණේ ඒ රටවල නිශ්චිතව තිබුණ ආර්ථික ප්‍රතිපත්තිවල ධණාත්මකභාවය නිසා. හොරකම් කරල තියනවා නම් ඒ සල්ලි රටට ගේන්න ඕන හැබැයි මේක විතරක් ප්‍රධාන සටන් පාඨය වෙලා රට දියුණු කරන්න බෑ.

● ලබන වසරේ කිසියම් හෝ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙනවා. පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය රජය මගහැරියත් ජනාධිපතිවරණය නිසි කාලයට පැවැත්විය යුතු නිසා බොහෝ විට ජනාධිපතිවරණය විය හැකියි. ඔබලාගේ කණ්ඩායමෙන් ජනාධිපතිවරණය සඳහා තේරීමක් තියෙනවාද ?

තාම ජනාධිපතිවරණයක් කැඳවලා නෑ. හැබැයි ලබන වසරේ නොවැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එතනදී ජනාධිපතිවරණය කැඳවූ විගස කළ යුතු හොඳම දේ මොකක්ද කියල අපි ඒ වෙලාවට තීරණයක් ගන්නවා.

● ඔබලා ඇත්තටම මේ පොහොට්ටුවෙන් ඉවත්වෙලා ඉන්නෙ තාවකාලිකවද? තීරණාත්මක මොහොතකදී නැවත පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙනවාද ?

අපි ඉන්නෙ විපක්ෂයේ. නැවත එකතු වීමක් පිළිබඳ කිසිම අදහසක් නෑ. අපි පොහොට්ටුවෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු වුණත් පොහොට්ටුව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය වෙනස් කළ නිසා රට අර්බුදයට යැවීමත් දෙවනුව වික්‍රමසිංහ මහත්තයාට රට භාර දීමත් කියන දෙකම අපිට ඡන්දය දුන්න පිරිසගේ දේශපාලන අනුමැතියට විරුද්ධයි. ඒ නිසා පොහොට්ටුවෙන් ඉවත් වූ අපිට තිබෙන්නෙ ස්වාධීන මතයක්. එම ස්වාධීන මතය දරමින් අපි දේශපාලනිකව ඉදිරියට යමින් ඉන්නේ. නැවත පොහොට්ටුව සමග එකතු වීමක් නෑ.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment