වැසි අස්සේ ඛේදවාචක අනතුරු 3යි – මරණ 5යි – තුවාලකරුවෝ 50යි

129

දින කීපයක් තිස්සේ පවතින අධික වැසි තත්ත්වය හමුවේ කොල්ලුපිටිය, කුලියාපිටිය සහ නිට්ටඹුව ප්‍රදේශවලදී පෙරේදා (06 වැනිදා) සිදුවූ අනතුරු වලින් පුද්ගලයන් 05 දෙනකු මියගොස් 50 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ බස් නැවතුම්පොළේ දී ලංගම බස්රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඊට යටවූ පුද්ගලයෝ 05 දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටහේනේ පදිංචි 54 හැවිරිදි යූ. එස්. ප්‍රියංජන, අහංගම පදිංචි 34 හැවිරිදි ජී. ඒ. චතුරංග, මාතලේ පදිංචි 31 හැවිරිදි එච්. රත්නායක, පෑලියගොඩ පදිංචි 65 හැවිරිදි බාලකිෂ්ණන් සුබ්‍රමනියම් සහ රාගම පදිංචි අරුණ ප්‍රනාන්දු යන අය බව හඳුනාගෙන ඇත.

වසර 40කට වඩා පැරණි මෙම රොබරෝසියා ගස වටා නුග ගසක් ද වැඩී තිබූ අතර එය කඩාවැටීමේ අවදානමක් ඇති බව නගර සභාවෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් කලින් දැනුම් දීමක් කර තිබී නැත.

ගස කඩාවැටීමෙන් බස්රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් බේරා ගැනීමට පැය දෙකහමාරක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගැනීමට පොලිසියට සහ ගලවා ගැනීමේ හමුදාවේ නිලධාරීන්ට සිදු වී ඇත.

මේ අතර කුලියාපිටිය නගරයට ආසන්නයේදී පෙරේදා උදෑසන සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 15 දෙනකු ඇතුළු 26 දෙනෙක් තුවාල ලැබූහ.

අධික වේගයෙන් ධාවනය වූ ලංගම බස්රථයක් පාසල් සේවා බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

නිට්ටඹුව කජුගම ප්‍රදේශයේදී බස්රථයක් කන්ටේනර් රථයක් සහ ඉන්ධන පිරවූ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment