පුෂ්පිකා ද සිල්වා නොදන්න කෙනෙක් නැති තරම්. රූ රැජන තරගවලින් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙනා ඇය අද ව්‍යාපාරික කාන්තාවක්. මේ ඇයගේ අලුත්ම තොරතුරු.

පුෂ්පිකා, මේ දවස්වල මොකද වෙන්නෙ?

දරුවගෙ වැඩටිකයි, මගේ ව්‍යාපාර වැඩටිකයි කරගෙන පවුලේ හැමෝමත් එක්ක සතුටින් ජීවත් වෙනව.

මම යකඩ ගැහැනියක්

මොකද වැඩිය දකින්න නැත්තෙ?

දකින්න නැත්තෙමත් නැහැ. ව්‍යාපාර වැඩ පටන්ගත්ත විතරයි වගේ නිසා ඒ වෙනුවෙන් වැඩිපුර කාලයක් වැයකරන්න සිදුවෙලා තියෙනව. ඒ නිසා ටිකක් කාර්යබහුලයි.

පුෂ්පිකා ව්‍යාපාරික කාන්තාවක් වෙන්නද කැමති?

මෙහෙමයි, අපේ ජීවිතයේ එක එක පරිච්ඡේද තියෙනවනෙ. මේ වන තුරු පැමිණි ගමනෙදි මගේ වයස් ඛාණ්ඩ තුළ විවිධ ඉලක්කයන් තිබුණා. ඒවා සම්පූර්ණ කරගෙන මම දැන් හරි වයසෙදි ව්‍යාපාර කටයුතු පටන්ගත්තා කියල මම විශ්වාස කරනව. දැන් මම මවක් විදිහටත්, ව්‍යාපාරික කාන්තාවක් විදිහටත් වැඩකරගෙන යන එක මට සතුටක්.

පුතාගෙ තොරතුරු කොහොමද?

පුතාට දැන් වයස අවුරුදු හතයි. කළම්බු ඉන්ටර්නැෂනල් පාසලේ ඉගෙන ගන්නව.

ජීවිතේ වගකීම් වැඩිවෙලා?

ඇත්තටම ව්‍යාපාරික වැඩත් එක්ක මම දැන් ගොඩක් කාර්යබහුල වෙලා. ඉස්සර තිබුණ නිදහස නැහැ. ලොකු නිදහසක් තිබුණා කියන්නත් බැහැ. නමුත් මම තිබුණ නිදහස හොඳට බුක්ති වින්ඳා. ව්‍යාපාරයක් පටන්ගත්තාම දරුවෙක් වගේ තමයි. ඉපදුන ගමන් දරුවෙක් වුණත් අවුරුද්දක් විතර යනතුරු මුලින් පෙරළිලා අල්ලං නැගිටින තුරු රැකබලා ගන්න ඕනා. ව්‍යාපාරයත් ඒ වගේම රැකබලා ගන්න ඕනා. ඉතිං ටී. ජේ. පුෂ්පිකා ද සිල්වා ජුවලරි ආයතනය තමයි මගේ දෙවැනි දරුවා. ඒ දරුවා අල්ලගෙන හිටගන්නතුරු කැපවෙලා වැඩකරනව.

මම යකඩ ගැහැනියක්

ඇයි ව්‍යාපාරයකට යොමු වෙන්නෙ?

මම එන්නෙ ව්‍යාපාරික පවුල් පසුබිමකින්. මගේ තාත්තා පොලොන්නරුවේ ව්‍යාපාරිකයෙක්. තාත්තාගේ ව්‍යාපාරික හැකියාවන්, දක්‍ෂතාවන් මා තුළත් තියෙනව. ඉතිං මම හිතුවා මගේ දෙමව්පියන් මට නැතිවෙන්න කලින් මගේ නියම වයසෙදි දක්‍ෂ ව්‍යාපාරික කාන්තාවක් වෙලා ඒ අයව සතුටු කරන්න ඕනා කියල. මට ලොකු ආසාවක් තිබුණා ජුවලරි බ්‍රෑන්ඩ් එකක් පටන්ගන්න. ඒක මගේ හිතට ආවෙ 2012 අවුරුද්දෙදි. මොකද මම පෞද්ගලික ජුවලරි ආයතනයක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් වෙලා හිටියා. ඒ කාලෙ මටත් මේ වගේ ආයතනයක් තිබුණා නම් කියල මට හිතුණා. ඒ ඇතිවුණ සිතිවිල්ල තමයි අද මේ විදිහට මල්ඵල ගැන්විලා තියෙන්නෙ.

ඔබේ සිහිනය සැබෑ වුණා?

ඔව්, අපි හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒ වෙනුවෙන්, උනන්දුව, උත්සාහය, කැපවීම තියෙනව නම් මම හිතන්නෙ අපේ බලාපොරොත්තු සිහින කරා යන්න පුළුවන් කියල.

රූ රැජන තරගවලින් ඈත් වෙලාද?

මම මේ වන විට රූ රැජන තරගවලින් සිව් වතාවක් මගේ රට නියෝජනය කරල තියෙනව. ඒවායින් ලොකු ජයග්‍රහණ අත්කරගෙන තියෙනව. නමුත් විවාහ වෙලා දරුවා ලැබුණාට පස්සෙ මිසිස් වර්ල්ඩ් තරගයේ අවසන් සය දෙනා අතරට තේරීපත් වුණා. ඒ තරගය හරහා මුළු ලෝකයම මට ආදරය කරන්න, ප්‍රශංසා කරන්න පටන්ගත්තා. ඇත්තම කිව්වොත් ඒ ආශීර්වාදය නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ. ඉතිං මම හිතනව දැන් තියෙන්නෙ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන තරුණ තරුණියන්ගෙ කාලය. අපි සීනියර්ස්ල හැටියට අපේ අත්දැකීම් ඔවුන් සමග බෙදාගෙන, අපිට කරගන්න බැරි වුණ දෙයක් ඔවුන්ට හරි විදිහට කරගන්න උපදෙස් දීල නිසි මගට ඒ අයව යොමු කරන එක තමයි අපේ වගකීම.

ඔබට අදහසක් නැද්ද එවැනි තරගාවලියක් සංවිධානය කරන්න?

ඇත්තටම මට එහෙම අදහසක් නැහැ. නමුත් මගේ අත්දැකීම් තුළින් මම ලබාගත් පන්නරය නවක තරුණ තරුණියන් සමග බෙදාහදාගන්න මම සූදානමින් ඉන්නව.

ලංකාවේ රූ රැජන තරගාවලි ගැන ඔබේ අදහස මොන වගේද?

දැනටත් රූ රැජන තරගාවලි ගොඩක් පැවැත්වෙනව. නමුත් අපි මේ තරගවලට ඉදිරිපත්වෙන කාලෙ ලොකු ගරුත්වයක්, තත්ත්වයක්, ප්‍රමිතියක් කියල දෙයක් තිබුණා. නමුත් දැන් පැවැත්වෙන තරගවලදි ඒ තරගකරුවන් ගැනවත් හිතන්නෙ නැහැ. ඒ කරන කැපකිරීම්වලට, පුහුණුවීම්වලට වගේම අඩුම තරමින් ජයග්‍රහණයකරන කෙනකුට ත්‍යාගයක්ව දෙන්නෙ නැහැ. තරගාවලි පවත්වන්න කියල අනුග්‍රාහකයන්ගෙන් මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව. මේ නිසා තරගකරුවන් දැනගන්න ඕන තරගයට සහභාගී වෙන්න කලින් මේ තරගාවලිවල ඉතිහාසය ගැන හොයල බලන්න, සංවිධායකයන් ගැන හොයල බලන්න, තමන්ට මේ දෙයින් අත්වන දෙයක් තියෙනවද කියල හොයල බලන්න. මේ දේවල් හරියට හොයල බලල දෙමවුපියනුත් දැනුවත් කරල මෙවැනි තරගවලට සහභාගි වෙනව නම් හොඳයි.

පොලොන්නරුවෙ ඉඳන් ආපු ගමන ගැන අනැවත මතක් කළොත්?

පොලොන්නරුව කියන්නෙ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ගමක්. එවැනි ගමකින් නගරයට ඇවිත්, නගරයෙන් ජාත්‍යන්තරයට ගිහින් රූපරාජනී තරගවලින් ජය ලබල, නොයෙකුත් අභියෝග, බාධක, කම්කටොලුවලට එඩිතරව මුහුණ දීලා යකඩ ගැහැනියක් විදිහට මේ හැම අභියෝගයක්ම ජය අරගෙන අද මම මුළු ලෝකයෙන්ම ප්‍රශංසා ලබපු ගැහැනියක් විදිහට අද මම ඉන්න තැන ගැන නිහතමානීව සතුටු වෙනව.

ඔබට බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා?

පසුගිය අවුරුදු දෙක පුරාවට මගේ ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්නවලට, කම්කටොලුවලට මුහුණ දුන්න කාන්තාවක්. වෙන කාන්තාවකට එහෙම දේවල් වුණා නම් මම හිතන්නෙ නැහැ මේ වගේ ඉවසීමක්, දරාගැනීමක් තියේවි කියල. නරක අත්දැකීම් තුළිනුත්, නරක මිනිසුන් තුළිනුත්, පාඩම් ඉගෙනගෙන සෘණාත්මක දේත් ධනාත්මකව අරගෙන අපිට අපේ ජීවිතය අරමුණු කරා අරගෙන යන්න පුළුවන්නම් ඒ ධෛර්යයම ඇති අපිට අපේ ජීවිතය ගොඩනගාගන්න.

පුෂ්පිකා කියන්නෙ යකඩ ගැහැනියක්?

ඔව්, වැටි වැටි නැගිටින යකඩ ගැහැනියක්. මාව දැන් කාටවත් වට්ටන්න බැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment