රඟපෑම ගැන හීන තිබිල නැහැ
ඇත්තටම මම සතුටින්

ප්‍රියසාද් පවුලෙ වැඩිමල් දියණිය තමයි දිනක්‍ෂි ප්‍රියසාද්. පසුගිය කාලෙ දරු සුරතල් එක්ක කාලය ගෙවපු දිනක්‍ෂි කලා කටයුතුවලින් ටිකක් ඈත් වෙලා හිටියා. නමුත් දැන් නැවතත් සුපුරුදු රිද්මයෙන් ඇය වැඩ පටන්ගෙන. පසුගිය දා තිරගතවීම ඇරඹුණු ‘විසල් ආදරේ’ සිනමා නිර්මාණයත් එක්ක දිනක්‍ෂි ගැන නැවතත් කතාබහක් ඇතිවෙලා තියෙන නිසා වැඩිදුර තොරතුරු ටිකක් දැනගන්න ‘මීවිත’ අපි දිනක්‍ෂි එක්ක මේ විදිහට කතාබහක නිරත වුණා.

දිනක්‍ෂි විසල් ආදරයක පැටලිලා කියලයි ආරංචිය?

ඔව්, ගිය අවුරුද්දෙ ඉඳන් පැටලිලා හිටියෙ. පසුගිය මැයි තුන්වැනිදා ඉඳන් ටිකෙන් ටික ලිහෙනව.

කොහොමද මේ වන විට තියෙන සූදානම?

ප්‍රේක්‍ෂකයන් ගොඩක් ආසාවෙන් චිත්‍රපටය බලන්න සූදානමින් ඉන්නව කියල වගේම එයාලගෙන් ලොකු ආදරයක් අපිට දැනෙනව. ඒ නිසා අපිත් හොඳ සූදානමකින් ඉන්නව.

විසල් ආදරයක පැටළුන දිනක්‍ෂි

විශේෂ දර්ශනයේදී නරඹපු අය මොකද කිව්වෙ?

අපේ නංගි ශනුද්‍රි චිත්‍රපටය බලල ඇඬුවා. මේක හරිම සංවේදී නිර්මාණයක්. සාරංගත් බොහොම කැමති වුණා චිත්‍රපටයට. මොකද අලුත් පරපුරට ගැලපෙන දෙයක් නිසා එයා සතුටින් ඉන්නෙ.

ඔබේ චරිතය ගැන කතා කළොත්?

විසල් ආදරේ චිත්‍රපටයේ මගේ චරිතය වෙන්නෙ සාරා. තාදී කියන්නෙ රශී. අපි දෙන්න හොඳම යාළුවො. යාළුකම, ආදරය මේ හැමදෙයක්ම එක්ක තමයි මගේ චරිතය ගලාගෙන යන්නෙ.

අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?

වාසව ගොඩක් සතුටු වුණා. ඔහුගෙ හිතේ ඇඳුන චරිතය මගෙන් දකින්න පුළුවන් වුණා කියල තමයි කිව්වෙ.

මේ දවස්වල මොකද වෙන්නෙ?

තේජා ඉද්දමල්ගොඩ මහත්මයාගෙ අලුත් චිත්‍රපටයේ රූගතකිරීම් පසුගිය දවස්වල අවසන් කළා. තවම නමක් දාල නැහැ. ඊට අමතරව හර්ෂ උඩකන්ද අයියගෙ ‘රෝස ආදරේ’ චිත්‍රපටයේ වැඩකටයුතුත් ඉවර කළා. ඒ වගේම හසුන් සමීර අයියගෙ අලුත් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු පටන්ගෙන තියෙනව සහ බෙනට් මහත්මයාගෙ අලුත් චිත්‍රපටයට සූදානම් වෙනව.

දිනක්‍ෂි බොහොම කාර්යබහුල වෙලා?

ඔව්, ටිකක් විතර. නමුත් ඉස්සර තරම්ම නම් නැහැ. විවාහවෙලා බබා ලැබුණට පස්සෙ ඒ කාර්යබහුලත්වය ටිකක් විතර අඩු කළා.

දැන් දිනක්‍ෂිගේ වැඩි කැමැත්ත සිනමාවටද?

ඇත්තටම චිත්‍රපටවලට කැමතියි. හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නව. ටෙලි නාට්‍ය මගින් තමයි මම ක්‍ෂේත්‍රයට ආවෙ. ඒ නිසා ඒවාට තියෙන ආදරය අඩුවෙන්නෙ නැහැ.

විසල් ආදරයට තියෙන්නෙ මොන වගේ ආදරයක්ද?

විසල් ආදරයට මගේ හිතේ ලොකු ආදරයක් තියෙනව. මොකද ඒක මම හරිම ආදරෙන් ආසාවෙන් කරපු නිර්මාණයක්. ඒ කණ්ඩායම හිටියෙ එක පවුලක් වගේ. තවමත් එහෙමයි. චිත්‍රපටය නරඹපු අයත් නළු නිළියන්ට එහා ගිය බැඳීමක් ඒ නිර්මාණය තුළ දැකල තියෙනව. මෙහි අධ්‍යක්‍ෂ වාසව අයියත් එක්කත් මගේ ලොකු බැඳීමක් තියෙනව. අපේ මිත්‍රත්වයට අවුරුදු දහයක් විතර වෙනව.

කොහොමද විසල් ආදරයට ආරාධනය ලැබෙන්නෙ?

මෙහි අධ්‍යක්‍ෂ වාසව තමයි මට මේ ආරාධනය කරන්නෙ. ඔහු මීට කලින් කළ ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයේ ශනුද්‍රි රඟපෑවෙ. ඒකත් ඉතාම සාර්ථක වුණා. ඉතිං මේ නිර්මාණයට මට කතා කළා. මට ප්‍රතික්‍ෂේප කරන්න හේතුවක් තිබුණෙ නැහැ. බොහොම සතුටින් බාර ගත්තා.

මේ අවුරුද්ද දිනක්‍ෂිට වාසනාව ගෙනෙයිද?

ඒකනම් දන්නෙ නැහැ ඉතිං. හොඳ වැඩ ටිකක් ඉදිරියේදී එන්න තියෙනවන. ඒවත් එක්ක සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නව.

සාරංග පසුගිය දවස්වල ජනප්‍රිය නළුවා වුණා?

ඒ ගැන ගොඩක් සතුටුයි. එයා ලැබෙන වැඩ බොහොම කැපවීමෙන් කරන කෙනෙක්. ඒවාට නිසි අගැයීමක් ලැබෙන එකත් ලොකු සතුටක්.

ඒ සම්මානය ගන්න ගියේ ඔබයි, දුව ශාරන්‍යායි?

ඔව්, ඇත්තටම එදා සාරංග කිව්වෙ එයාට එන්න බැරි වුණ එකත් හොඳයි, දුව සම්මානය ගත්ත එක එයාට අමතක නොවෙන අවස්ථාවක් කියල. ඒ වගේම මම හිතනව එතන හිටපු හැමෝටම ඒක සුන්දර අවස්ථාවක් වුණා කියල.

දුවත් එක්ක ගෙවෙන ජීවිතේ මොන වගේද?

හරිම සුන්දරයි. හැමදාම එයාගෙන් අලුත් දෙයක් අහන්න දකින්න ලැබෙනව. ඒවා දකිමින්, විඳිමින් ඉන්නව.

වේදිකාවේ වැඩකටයුතු කොහොමද?

වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නව. මේ වන විට දර්ශණ වාර දහයක් විතර වේදිකාගත කළා. ලබන මාසයටත් දර්ශන වාර කිහිපයක් සඳහා ආරාධනා ලැබිල තියෙනව. ඒ වගේම විශ්වවිද්‍යාල සහ පාසල්වලටත් අපි නාට්‍යය අරගෙන යනව. මේ හැම තැනකින්ම අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනව.

සාරංගගේ චිත්‍රපටයේ වැඩකටයුතු කොහොමද?

චිත්‍රපටයේ වැඩකටයුතු දැන් තියෙන්නෙ අවසන් අදියරේ. මේ දවස්වල කලර් ග්‍රීඩින් සහ මියුසික් සම්බන්ධ වැඩකටයුතු තමයි කෙනේනෙ. ඒ ටිකත් ඉක්මනින්ම අවසන් වේවි.

දිනක්‍ෂි අද ගෙවන ජීවිතය ගැන සතුටින්ද?

ඔව්, ඇත්තටම මම සතුටින්. ජීවිතේ මම කැමති ගොඩක් දේවල් අද මට ලැබිල තියෙනව. ඒ වෙනුවෙන් මගේ දෙමව්පියන්ට වගේම ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් මම ස්තූතිවන්ත වෙනව.

නමුත් රඟපෑම ඔබේ හීනයක් වුණේ නැහැ?

ඔව්, මට කවදාවත් රඟපෑම ගැන හීනයක් තිබිල නැහැ. මගේ ආසාව තිබුණෙ අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට යන්න. ඒ දේ අද වන විට වෙනස් වෙලා තියෙනව.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – මනුල විතානගේ

advertistmentadvertistment
advertistmentadvertistment