ලෝ පුරා සංගීත කලාවේ නැඟී මතුවී වියැකී යන විවිධ රැලි අතරින් 60 දශකයේ පිබිදුණු සංගීත කණ්ඩායම් ගයන, සමූහ ගී කලාව මෙහිදී දැඩිව ප්‍රචලිත වූයේ ශ්‍රී ලංකාව සංනිවේදන මාධ්‍ය කලාවේ ප්‍රාථමික අවධියක පසුවෙද්දීය. බටහිර ගායක – වාදක කණ්ඩායම් අනුකරණය කරමින් මෙහි ද නැඟී මතුවී ආ සංගීත කණ්ඩායම් හතු පිප’ වේගයෙන් පැතිර යෑමේ ප්‍රතිඵලයක් වූයේ සිංහල ගීතාවලිය පෙර නොවූ විරූ නව මානයකට එළැඹීමයි.

එතෙක් උත්තර භාරතීය රාගාශ්‍රිත මෙන්ම දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීත කලාවෙන් පෝෂණය ලබමින් සිටි සිංහල වේදිකා නාට්‍ය – සිනමා මෙන්ම වෙළෙඳ තැටි ගී නිර්මාණ අතරට පෙරකී සංගීත කණ්ඩායම් විසින් ගැයූ සමූහ ගැයුම් ද එතැන් සිට එකතුවන්නට විය. එහෙත් ඒවා නාගරික සංස්කෘතියෙන් බැහැර පොදුජන ශ්‍රාවකයාට නුහුරු නුපුරුදු බටහිර සංගීතයේ ලතින් ඇමෙරිකානු ශෛලියේ ඇසුර ලැබීම නිසා මෙම නව ආරේ ගීත කලාව එදවස සීඝ්‍රයෙන් ජනාදරයට පාත්‍ර වන්නට විය.

ඊට මූලිකවම හේතු වූයේ පැවති එකම පොදුජන විද්‍යුත් මාධ්‍යය වූ ගුවන්විදුලිය විසින් මේ උදෙසා විශේෂ වැඩසටහන් වෙන්කරමින් ඒවා ඔස්සේ වාදනය කිරීමයි. ඒ, පෙර කී සංගීත කණ්ඩායම් අතරින් වඩාත් පෙරළිකාර සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ කැපවීම කරණකොටගෙන ඇතිවූ ප්‍රතිඵලයකි. මෙම සාමාජිකයන් ලිපි හුවමාරු කරගනිමින් තමන් විසින් වෙළෙඳ ආයතන හරහා නිකුත් කරන්නට යෙදුණු ගීත පොදුජන රසවින්දනය උදෙසා ගුවන්විදුලි තරංගමාලා ගතකරන ලෙස උක්ත බලධාරීන්ගෙන් ආයචනය කළ පසුව, ඒවා ඈත ගම් දනව් සිසාරා විසිර පැතිර යන්නට විය. මන්ද යත්, තැටි ධාවන යන්ත්‍ර පෞද්ගලිකව සතු කරගෙන එවා මිලදී ගෙන රසවින්දනයේ යෙදිය හැකි ආර්ථක කවයේ සිටි සාමාජිකයන් එදා සිමිත බැවිනි.

60 දශකය උදාවේදී එසේ බිහිවූ මුල්ම පුරෝගාමී සංගීත කණ්ඩායම බිහි කරනට උරදුන්නේ මිගමුවේ අතිදක්ෂ ස්පාඤ්ඤ (බොක්ස්) ගිටාර් වාදන ශුරයකු වූ තරුණ නෙවිල් ප්‍රනාන්දු ය. ඔහු සිය කණ්ඩායම ස්පාඤ්ඤ බස අනුව යමින් ලොස් කැබැයිරෝස’ ලෙසින් නම් කරන්නට යෙදුණු අතර, ඔහුට සමගාමීව කෝට්ටේ නොයෙල් බ්‍රයන් රණසිංහ තරුණයා ද නවක සංගීතලෝලී යෞවනයන් පිරිසක් එක්රැස් කොට, ලා සෙයිලනියන්ස’ තැනූවේය.

රත්නපුර ප්‍රදේශයෙන් බිහිවූ මූන්ස්ටෝන්ස් ක්ලැරන්ස් විජේවර්ධන ගේ මූලිකත්වයෙන් දියත් කෙරුණු අතර ආරම්භයේදී ගීත ගායනයෙන් වැළැකුණු ඔහුගේ අඩුපාඩුව ඇනස්ලි මාලේවන විසින් සම්පූර්ණ කරන ලද්දේය. අදටත් රසිකයන් පිනවන ඔවුන්ගේ මුල් ගීතාවලියේ එදත් ප්‍රමුඛව නැඟුණේ ඇනස්ලි ගේ ගීයි.

වසරක් දෙකක් ඇතුළත තරුණ ප්‍රජාව අතර මහා මාරුතයක් සේ හමාගිය කණ්ඩායම් ගී උන්මාදයේ අවසන් ප්‍රතිඵලය වූයේ 70 දශකයේ උදාවේදී එවැනි කණ්ඩායම් හැටකටත් (60) අධික සංඛ්‍යාවක් ජනගත වීමයි. ඔවුන් අතරින් අති බහුතරය යටත් පිරිසෙයින් එක් වෙළෙඳ තැටියක් හෝ නිකුත් කරවාගැනීමට සමත් වූහ.

ඒ කර්තව්‍යය ශාක්ෂාත් කරගන්නට ඔවුනට අතහිත ලැබුණේ, මෙම යුගය එනම් 60 දශකයේ මධ්‍ය භාගයේදී අගනුවර ව්‍යාපාරයක නිරත වූ එහෙත් අසීමාන්තික ගීත රසකාමියකු බවට පත් වී සිටි පැට්‍රික් කොරේරා නම් සුන්දර මිනිසාය. ඔහු දිවයිනට විදෙස් ගී තැටි ආනයනය කිරීමේ ව්‍යාපාරයක නිරත වූ ද්‍රවිඩ ජාතිකයකුගෙන් ගෞරි කොර්පරේෂන් නම් වෙළෙඳ ආයතනයේ හිමිකාරිත්වය අත්කර ගත්තේය. එය එවකට ප්‍රමුඛ ජාත්‍යන්තර ගී තැටි වෙළෙඳ සන්නාමයක් වූ පිලිප්ස් දේශීය නියෝජිතයා විය.

එතැන් සිට පිලිප්ස් ලේබලය වෙන්වූයේ මෙකී කණ්ඩායම් ගී රසවතුන් වෙනුවෙනි. එදා ගුවන්විදුලියෙන් වාදනය වූ අතිබහුතරයක් කණ්ඩායම් ගී මෙම නාමය යටතේ පෙළගැසිණි. ඒ තත්ත්වය උදාකර දෙන්නට උරදුන් පැට්‍රික් කොරේරා ව්‍යාපාරික රසවතාණන් හට ඔවුන් සදා ණයගැතිය.

මෙම ගීත රසයේ මහිමය වෙනත් ගීත ලෝලී ව්‍යාපාරිකයන් විසින් ද වහා වටහගන්නා ලද අතර එහි දෙවැන්නා සූරිය ලේබලයේ අධිපති ජෙරල්ඩ් වික්‍රමසූරිය විය. මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් ගී තැටි නිෂ්පාදන කලාව වෙත පිළිපන් ඔහු එතැන් සිට ක්ලැරන්ස් ගේ මූලිකත්වයෙන් ගොඩනැඟූ ගෝල්ඩන් චයිම්ස’ – 1969 සහ සුපර් ගෝල්ඩන් චයිම්ස් – 1973 නිර්මාණ ජනගත කළා මතු නොව එකී නාමකරණය ද සිදුකළේය.

යුගයක් විචිත්‍රවත් කළ කණ්ඩායම් ගී

මෙම ප්‍රමුඛ කණ්ඩායම් අතරට එක්වුණු සතරවැන්නා මෙල්රෝයි ධර්මරත්න ය. ඔහුගේ සුවිශේෂීත්වය වූයේ කණ්ඩායමේ සාමාජිකයන් එකම පවුලේ සහෝදරයන් වීමය. ඒ අනුව ඔවුන්ගේ මව ඊට ධර්මරත්න බ්‍රදර්ස් යන නාමය තැබුවාය. ඔවුන් හැරුණුවිට සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් ද ඉන්ද්‍රානි පෙරේරා ගේ ත්‍රී සිස්ටර්ස් ද, මනෙලා ජෝසප් ගේ වින්ස්ලෝ සික්ස් ද සහෝදර සාමාජිකයන්ගේ කණ්ඩායම් විය.

කණ්ඩායම් ගී සාමාජිකයන් බහුතරය මතුවූයේ දිවයිනේ බටහිර මුහුදු තීරය ආශ්‍රිත හලාවත සිට කළුතර දක්වා නගරයන් වෙතිනි. ඒ අනුව කළුතර ප්‍රදේශයේ සිට ඊට පිවිසි රේමන්ඩ් ෆොන්සේකා ඇතුඵ පිරිස තමන්ව සමනලයෝ ලෙසින් හඳුන්වා ගත්හ. ජෝ බී පෙරේරා ඇතුළු කණ්ඩායම මී මැස්සේ’ මීමැස්සෝය. ඒ හැරුණුවිට සෙසු අය තමන් ගේ පිරිස ස්පාඤ්ඤ බස් වහරෙන් ද තවත් කිහිපයක් ඉංග්‍රීසි බසින් ද තම කණ්ඩායම් නම් කරගත්හ. ඉහත කණ්ඩායම් හා සමවන ලෙස සැලකිය යුතු ගී තැටි සංඛ්‍යාවක් නිකුත් කළ අතර ප්‍රියා පීරිස් ගේ ලා බම්බාස් සහ වින්සන්ටි ජයවර්ධන එක්වූීලොස් ෆ්ලෙමින්කෝස්, නිශ්ශංක විමලසූරිය සමගීඇමිගෝ රොමැන්ටිකාස්, ලොස් මුචාචෝස් පිරිස් විය. මීට අමතරව ලෙස්ලි ප්‍රනාන්දු ප්‍රමුඛීබෙන්තොට බීස්, ද ලවර්ස්, ග්‍රෙන් ලෙනාඩොස්, ද සන්ෂයින්ස්, ජේ බ්‍රදර්ස්, ඇතුඵ කණ්ඩායම් විසින් පටිගත කොට නිකුත් වූ වෙළෙඳ තැටි 70. 80, 90 දශකයන් කරා කණ්ඩායම් ගීතය රැගෙන අවේය. ඒ ලංකා ගුවන්විදුලි වෙළෙඳ (එදවස දෙවැනි) සේවයේ කණ්ඩායම් ග’ තීරය නම් වූ දිනපතා විනාඩි පහළොවක් වූ සංගීතමය ප්‍රණිතාංගය ඔස්සේය.

මේ අතරින් කාන්තාවන් පමණක් සහභාගි වූ ගායිකා කණ්ඩායම් අතරින් ප්‍රමුඛස්ථානයේ වැජඹුණේ ඉන්ද්‍රානි පෙරේරා සිය දෙසොහොයුරින් සමග එක්ව තැනූ ත්‍රී සිස්ටර්ස් ය.

ගී පද සංකල්පනාවන් තමන්ගේ සාමාජිකයන් විසින්ම සපයාගන්නට සෙසු කණ්ඩායම් සමත්වූවත්, ත්‍රී සිස්ටර්ස් ගී තනු සහ ගී පද රචනා එදවස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතින් නිර්මාණය විය. ඔවුන් අතර ගී පද රචනයන් කරුණාරත්න අබේසේකර, කේ ඩී කේ ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, හේම ශ්‍රී ද අල්විස් වැන්නන් මතුනොව ප්‍රවීණ සාහිත්‍යධර මහගම සේකර පවා ඊට දායක විය. ක්ලැරන්ස් විජේවර්ධන සහ සරත් දසනායක ප්‍රමුඛව වික්ටර් දළුගම, අර්නස්ට් සොයිසා, ස්ටැන්ලි පීරිස් මධූතර ගී තනු සපයා දුන්හ.

එසේම සහෝදරියන් මෙන්ම වින්ස්ලෝ සික්ස් හි එක් සාමාජිකයකු හැරුණුවිට අන් සියල්ලෝ යුවතියන්ය. හෙළයේ අසහාය නිළි, ගායන ශිල්පීනී රුක්මණී දේවි, ලොස් කැබැයිරොස් වෙනුවෙන්ද, ඉන්ද්‍රානි පෙරේරා ක්ලැරන්ස් ගේ මූන්ස්ටෝන්ස් වෙනුවෙන්ද ප්‍රියන්ති සේනාරත්න, ලාංකිකා පෙරේරා ඔහුගේම ගෝල්ඩන් චයිම්ස් උදෙසාද ආචාර්ය සුජාතා අත්තනායක වරක් පමණක් ධර්මරත්න බ්‍රදර්ස් සමග ද, ලතා දිසානායක ඇමිගෝ රොමැන්ටිකාස්, මාලනී බුලත්සිංහල ග්‍රෙන් ලෙනාඩෝස් හි නිත්‍ය ගායිකාව ලෙසද දායකත්වය ලබා දුණි.

ලතින් ඇමෙරිකානු සම්ප්‍රදාය රකිමින් කොංගො, බොංගෝ ඩ්‍රම්ස්, මරකස් සහ තත් භාණ්ඩයක් ලෙස ස්පාඤ්ඤ ගිටාරය දැරූ මේ ඇතැම් සාමාජිකයන්, ගුවන්විදුලි පරීක්රෑෂණය සමත්ව ලියාපදිංචිව එහි පටිගත කිරීම් සඳහා ද බාහිර වේදිකා ප්‍රසංග වර්ණවත් කරනට ද සහභාගි විය. එහෙත් වාණිජමය ගීත තැටිගත කිරීමේදී, ඉලෙක්ට්‍රෝනික සංගීතය සහිතව පූර්ණ වාද්‍ය මිහිර කැටිවූ අන්තර් වාද්‍ය ඛණ්ඩද යොදාගත යුතු ලෙස නියම කරන්නට යෙදිණි. එතැන්හිදී ඔවුන්හට බටහිර සංගීතයේ විවිධ අංශ පිළිබඳව කෙළ පැමිණි, අත්දැකීම් බහුල, වෘත්තීයමය, ප්‍රවීණ සංගීතඥයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය විය.

ඒ රික්තය සම්පූර්ණ කරදෙමින් ඒවා නාද රසයෙන්, මධුරත්වයෙන් පුරවාලූයේ එදා ලාංකීය ගීත කලාවේ විශිෂ්ටයන් වූ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන, පැට්‍රික් දෙණිපිටිය, සහ එම්.කේ. රොක්සාමි වැන්නවුන්ය. ඒ යුගය එනම් 1970 පමණ වෙද්දී ඔවුන් තිදෙනා සිංහල සිනමා මෙන්ම ගුවන් විදුලි, වෙළෙඳ තැටි ගීත නිර්මාණ විශාල සංඛ්‍යාවකට දායකත්වය පළකර අත්දැකීම් බහුල පළපුරුදු නියමුවන් බවට පත්ව සිටියහ. ඒ හැරණුවිට ක්ලැරන්ස් විජේවර්ධන, සරත් දසනායක සහ වික්ටර් දළුගම ත්‍රී සිස්ටර්ස් උදෙසා මෙන්ම ක්ලැරන්ස් පමණක් ඔහුගේ කණ්ඩායම් සහ වින්ස්ලෝ සික්ස් ඉලක්ක කොට නිර්මාණකරයේ යෙදුණි.

යුගයක් විචිත්‍රවත් කළ කණ්ඩායම් ගී

මේ ගීත රසයෙන් තම සිනමා නිර්මාණ රසගන්වන්නට මහ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා පෙලඹුණි. එහිදී ඔහු නෙවිල් ප්‍රනාන්දු ගේ හරෑන් වසගව ඔහුගේ පිරිස හට සියීදෙළොවක් අතර (1964) සිනමා නිර්මාණයේ පෙනී සිටින්නට වරම් ලබා දුන්නේය. ගයන ගැයුම් නටන නැටුම් ….. (තනුව – පණ්ඩිත් අමරදේව ගී පද – මහගම සේකර) නම් වූ කණ්ඩායම් ගී අනන්‍යතාවයේ මුදුන් මල්කඩ බඳුවූ ගීතය බිහිවූයේ එතැන්හිදීය. බී. ටී. මෙන්ඩිස් ලියූ බඳුන් පිරි ඉතිරෙන මේ….ගීය නෙවිල් ගේ හඬන් යළිත් ගැයුණේ ලෙස්ටර් ගේ රන්සළු වෙනුවෙනි. ටයිටස් තොටවත්තයන්ගේීසිහසුන’ සිනමා පටය වෙනුවෙන් ක්ලැරන්ස් ඇතුළු පිරිස උඩරට මැණිකෙට පට සළු පොරවන………

ගැයුවේ ගෝල්ඩන් චයිම්ස් නාමයෙනි. ගේ සහෝදරියෝ ගේ 1974 තිරගත වූ හදවත් නැත්තෝ ….හිදී ඇයි දුක් වන්නේ කරදර වන්නේ.. (සංගීතය බ්‍රයන් ප්‍රනාන්දු) ලෙසින් රාවනැංවිණි. ත්‍රී සිස්ටර්ස් ගායිකාවෝ ද මහගම සේකර පද සංකල්පනාවක් දෙවන වරට කණ්ඩායම් ගීයකට නතුකර ගත්තේ ප්‍රවීණ රංගධර සිරිල් වික්‍රමගේ හැදූ සිහින ලොවක් (1972) රසගන්වන්නටය. එහි තනුව සංගීතඥ සෝමදාස ඇල්විටිගලයන්ගේය. යළිත් ඔවුන් දයානන්ද රොද්‍රිගෝ ගේ ජීවන ගංගා (1974) වෙනුවෙන් ජන ගී ආර අනුව ඔමරි ලතා කොමළ කතා ..(ගී පද සරත් විමලවීර එම ගීතයේ සංගීතය එම්. කේ. රොක්සාමි) සහ දයානන්ද ජයවර්ධන ගේ සමන්මලී (1979) හිදී මන්දහාසේ …මන්දහාසිනී… (ගී පද ධර්මසිරි ගමගේ, සංගීතය සරත් දසනායක)

‘දශකයක ඇවෑමෙන් යොවුන් වියෙන් පියමං කරන්නට සිදුවන ලෙසින් මෙම සාමාජික සාමාජිකාවෝ ද එකිනෙකා දුරස් වෙමින් උක්ත ගීත කලාවෙන් ඈතට පියමං කරන්නට වූයේ 70 දශකය ගෙවි යද්දීය. ඒ යුගයේදී ගීත වාහක මාධ්‍ය ද කැසට් පටය වෙත රූපාන්තරනය වී තිබියදී අවම වශයෙන් ගීත දහයක් වත් නිර්මාණ කරගැනීමේ අපහසුතාවයකටද ඔවුන් ලක්වන්නට ඇත. ඒ නයින් කණ්ඩායම් ගී නව නිර්මාණ ඇනහිටියේය. එහෙත් සහෝදර බැම්මෙන් එකට බැඳුණු ධර්මරත්න බ්‍රදරස් සහ ජිප්සීස් එකාවන්ව එකට සිටියහ.

කණ්ඩායම් ගී සුළුතර සංඛ්‍යාවක් හැරුණුවිට සෙසු නිර්මාණ ළමා ග’ වෙස්ගත් සරල පදමාලාවන්ගෙන් සමන්විත විය.‘මේ අතර ලොස් ෆ්ලෙමින්කෝස් කණ්ඩායම එදවස ගුවන්විදුලියෙන් ප්‍රචලිත කරමින් පැවති දේශීය ජන ගී රටාව ගුරුකොටගත් ගැයුම් ඉදිරිපත් කළේය. ඒවා කලෙක ජනහද ජයගන්නට එයද හේතුවන්නට ඇත. තැටිගත ගී සතළිස (40) ඉක්මවා ගායනයේ යෙදුණුීත්‍රී සිස්ටර්ස් වැඩිම කණ්ඩායම් ගී ගණනකට හිමිකම් ලබනවා විය හැකිය. පහත ලැයිස්තුව විමසනු මැනවි.

යුගයක් විචිත්‍රවත් කළ කණ්ඩායම් ගී

ධර්මරත්න බ්‍රදර්ස් –

හෝ… වැස්ස වහිනවා, අව්ව පායලා…, රජකුමාරි මල්සරදෝණි, උපන්දිනය, වැහිදාක ගගනෝදරේ, වාසිටි කොල්ලෝ, රොමියෝ මමයි (සුජාතා අත්තනායක සමග)

ලොස් කැබැයිරෝස් –

ලස්සන ලෝකෙට පා ඔසවාලා,මල්බර හිමිදිරියේ (රුක්මණි දේවි සමග), ගලන ගඟක දොළ පාරක (රන්මලියා)

ලා සෙයිලනියන්ස් –

පුංචි නංගී මාගේ, හිරු නැඟි එන උදයේ,

ලොස් මූචාචෝස් –

පොදින් පොදින් මල් පැණීයේ, සෝබමාන ගුවන් සේවිකා, මුඵ ගතම වෙහෙසුණා

(යකඩ තළන්නා)

ඇමිගෝ රොමැන්ටිකාස් –

රුවන් අඹර සෙමෙර සලන..

(ලතා දිසානයක සමග)

ලොස් ෆ්ලෙමින්කෝස් –

අහසට පිඹිනා භූමි කළේයා, පෝය සඳයි ඔය මුහුණයි, කළු කෙල්ලේ ඔබ

ග්‍රෙන් ලෙනාඩෝර්ස් සමග මාලිනි බුලත්සිංහල

යාල යාල යන්න, පාසල් ජීවිතය, දුන්හිඳ කෙල්ලේ…

යුගයක් විචිත්‍රවත් කළ කණ්ඩායම් ගී

ලා බම්බාස් –

කොක් අ ඩුඩ්ල් ඩූ …(ඉංග්‍රිසි), ලක්නදී සෝබා, කළේ උකුළේ තියලා,

සමනලයෝ

කඳු ගැට පසුකර යන්නේ, සුන්දර ගැයුම් ගෙනෙන.., නැළවෙන මව් උකුළේ,

ජේ බ්‍රදර්ස්

කරට කදේ රැගෙන යමි,

ද ලවර්ස් –

ලස්සන සුසිනිඳු, ඉද්ද පිච්ච මල් පිපිලා,

ගේ සිස්ටර්ස්

ළා හිරු බැසයනවා, ඇයි දුක් වන්නේ,

සන්ෂයින්ස් (වර්ණන් පෙරේරා සමග)

ඔයා මගේ සුරංගනා කථාවේ,

වින්ස්ලෝ සික්ස්

දුව රෝසී, රන් මොණරුන්

මේ සියළු ගී වෙළඳ තැටිගත කරන ලදුව, අදටත් දිවයින පුරා විසිරි පැතිර ඒවා සංරක්ෂණය කරන ගීතලෝලීන් සතුව හොඳ තත්වයෙන් පවතී. සිංහල ගී වංශකතාවේ සොඳුරු යුගයක් සටහන් කළ මේකී ගීතාවලිය අභාවයට යා නොදී, ඔවුන්ගේ අධාරෝපකාරයෙන් වත්මන් ළමා හා යොවුන් පරපුරේ රසවින්දනය උදෙසා ජනගත කරන්නට කටයුතු කළ හැකි වන්නේ ශ්‍රව්‍ය මධ්‍යකරුවන් හටමය.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment