නේකවිධ සාහිත්‍ය සම්මානවලින් සම්මානිත අග්‍රගන්‍ය ලේඛක අචාර්ය ඩබ්ලිව්- ඒ- අබේසිංහ මහතා විසින් විරචිත “දේශ දේශාන්තරයෙහි” නමැති දේශාටන විත්ති සංග්‍රහය තුළින් ඔහු අප කැඳවාගෙන යන්නේ ලෝක සිතියමේ ඇස ගැසෙන අපූර්ව දේශ දේශාන්තර වෙතය-

මෙම දේශාටන සටහන් තුළින් එම දේශ දේශාන්තරයන්හි එකල පැවැති සමාජ ආර්ථික සංදර්භය පමණක් නොව, විශ්ව සාහිත්‍යධරයන් සමග අබේසිංහ මහතාගේ පැවැති පයුරුපාසනයන්ද එම සාහිත්‍යධරයන්ගේ කීර්ති කදම්බයන් ද මනාව විශද වේ-

වර්ෂ 1966 අගෝස්තු මාසයේ දී ප්‍රථම විදේශ සංචාරය ලෙස රුසියානු සංචාරයට අහඹු ලෙසින් සහභාගි වන්නේ ලෙනින් සාම සම්මානලාභීව සිටි උඩකැන්දවල සරණංකර හාමුදුරුවන් පිහිටු වනු ලැබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සභාපතිත්වය හෙබවූ එක්සත් ලංකා ලේඛක සම්මේලනයේ උප සභාපති ධුරය හෙබවීමත් මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සමග පැවැති සදාශ්‍රය හේතුවෙනි-

එවකට සෝවියට් අසර්බයිජාන අගනුවර වන බකුහි දී පවත්වන ලද වියට්නාම් සහයෝගිතා ලේඛක සමුළුවට පැමිණි ලෝක ප්‍රකට භාරතීය ලේඛක මුල්ක්රාජ් ආනන්ද් සහ භාරතීය මහා කවි අලි සදාර් ජෆ්රි රුසියානු මහා කිවිවර ඉයුජිනි යෙෆ්ටුෂෙන්කෝ යන මහා පුරුෂයින් හමුවීම වෙසෙසින් සඳහන් කරන අබේසිංහ මහතා මුල්ක්රාජ් ආනන්ද්ගේ ප්‍රේම ප්‍රවෘත්තියක් විස්තර කරන්නේ මෙලෙසිනි-

“අබේ සිං ජී” මහා ලේඛකයා ඇමතූ අයුරුය-

“අයි හෑව් බීන් යුවර් කන්ට්‍රි තර්ටීන් ටයිම්ස්- ඉන් පැක්. අයි හෑඩ් අ ගර්ල් ප්‍රෙන්ඩ් ඉන්යුවර් කන්ට්‍රි” ඔහු ඉතා සැහැල්ලුවෙන් පියොවින් කියාගෙන ගියේය-

මෙම සංචාරයේ දී බොල්ෂොයි රඟහලෙහි “හංසවිල” මුද්‍රා නාටකය නැරඹීම චිත්‍රණය කර ඇත්තේ එම රඟහල මෙන්ම “හංසවිල” මුද්‍රා නාටකය අප දෑස් ඉදිරියේ මවාපාන අයුරින් හෘදයංගම විලාසයෙනි-

අප්‍රිකාසියා ලේඛක ව්‍යාපාරයේ තුන්වෙනි ලේඛක සමුළුවට සම්භාවනීය ලේඛක කේ- ජයතිලක මහතා සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇති අතර මෙම සමුළුවට රටවල් 43ක නියෝජිතයන් සහභාගිවී ඇත- මෙම සමුළුවේ දී රුසියානු මහා කිවිවර ඉයුජිනි යෙෆ්ටුෂෙන්කෝගේ කවි ගායනය ඉතා ප්‍රබල බවත් අනුකරණීය බවත් සඳහන්වේ- සෝවියට් දේශයට ගිය තුන්වෙනි ගමන හුදෙක් දේශපාලන චාරිකාවක් වූ වග සඳහන්ය- මොස්කව් නුවරින් “එයරොෆ්ලේට්” ගුවන් යානයේ මිනිත්තු හතළිතිස් පහක කෙටි ගමනකින් සේන්දු වී ඇත්තේ

දකුණු දිග කළු මුහුද අසල පිහිටා ඇති සුන්දරතම සෝචි නගරයටයි- සෝචි නගරයෙහි අසිරිය සිත්තම් කර ඇත්තේ අබේසිංහ මහතා සතු මනරම් කවීත්වය විශද කරමිනි- ඔහුගේ හදබැඳි වදන් අසනු මැනවි- “සෝචි නුවර අරුණෝදය ඉතාම පැහැබරය- උදාකල නන්විධ පැහැය ගුවන පුරා විසුරුවමින් නැඟී එන සෞම්‍ය හිරු මුළු නගරය ම මුදු ලෙස දොවාලනු වැන්න- සැඳෑ කල අහස වලාවෙන් තොරය- ක්ෂීරපථයේ ඇතිතාක් සියලු තාරකාවෝ ගුවන්තලය මත පිපී බබළන්නට වෙති- තරු එළිය සිහින්ව යන ඈත සිතිජය තුළ මතු වන්නේ කොකේසස් කඳු රැල්ලයි- සුදාධවල හිම සළුව පොරවාගත් කොකේසස් කඳු වැටිය කළු වලාකුළු මැඬගෙන අහස දෙසට නැඟෙන්නට තැත් කළ මෙම කඳුරැල්ලේ ඉඟටියෙන් පහල කොටස තද ගණ නිල්ලෙන් බබළයි”

සෝචි නගරයේ සිට ගුවනින් පැය භාගයකින් ගමන් කර ඇත්තේ ලෝකයේ ඉතාම අභිරමණීය දර්ශන පසුකර ජෝර්ජියාවේ ටිබ්ලිසි නුවර වෙතය- ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ නියමුවකු වූ ජෝෂප් ස්ටාලින්ගේ උපන්ගම ගෝරි නුවරය- ස්ටාලින් කෞතුකාගාරය පිහිටා ඇත්තේ ඔහුගේ ඉපැරණි පුංචි නිවහන ද මැදිකර ගෙනය-

ගෝරි නුවර සිට බර්ජෝමි නගරයට පැමිණි අබේසිංහ මහතා තබන සටහන බලනු මැනවි-

“බර්ජෝමි යනු සෝවියට් දේශයේ අස්සක් මුල්ලක් පාසා පතළ වූ නමකි- ඒ අන් කිසිවක් නිසා නොව එනමින් හැම තැනෙකම අලෙවිවන උල්පත් වතුර නිසාය- සෝවියට් දේශයේ හැම තැනෙකම වතුර වෙනුවට පානය කරන්නේ බර්ජෝමි උල්පත් වතුරය”

අහඹු ලෙස සිදුවුණු ඉන්දීයා සංචාරයට මුල්ව ඇත්තේ ආසියාතික බෞද්ධ රාජ්‍යයන් මැදි කරගෙන දේශපාලන ව්‍යාපාරයක් උඩ ගොඩ නැඟුණු ආසියාතික බෞද්ධ සම්මේලනයයි. මෙම සම්මේලනයේ මහලේකම් ධුරය හෙබවූ මොන්ගෝලියානු ජාතික බෞද්ධයෙකු වූ මහාචාර්ය චම්දීන් ජුගර්දි සමග ඇති වූ මිතුදම දැඩි වූයේ දේශීය ඖෂධයක් වූ පොල්පළා නිසාය. ඒ ගැන කරන සටහන මෙසේය.

“එතැන් සිට ඔහු හමුවුණු හැම වතාවක දීම මම ඔහු උදෙසා ලොකු විය. පොල්පළා මිටියක් ද රැගෙන ගියෙමි. එකල්හි මහාචාර්ය ජුන්දර් බරපතළ ලෙස වකුගඩු ආබාධයකින් පීඩා විඳිමින් සිටියේය.”

ඉන්දියානු සංචාර ආශ්‍රයෙන් ඉන්දියාව පිළිබඳ අබේසිංහ මහතා කර ඇති නිගමනයන් අපගේ මනස පුබුදුවයි.

“පැරණි ඉන්දියාව පෙරළුවත් නව ඉන්දියාව පෙරළුවත් දිග හැරෙන්නේ රටක කථාන්තරක් නොව ලෝකයක කථාන්තරයකි. රතු බලකොටුව බලද්දී මෙන්ම නේරු කෞතුකාගාරය බලද්දී මා තුළ හටගැනුණේ එම විමතියයි”.

1980 වර්ෂයේදී සයිප්‍රස්හි නිකෝසියා අගනුවර පැවැති දින පහකට සීමා වූ ලෝක සාම සම්මේලනයට සහභාගිවීම පිළිබඳව අදහස් දක්වන අබේසිංහ මහතාගේ පහත සඳහන් නිරීක්ෂණ අද දවසේ ඉතා වැදගත්ය.

“ගමනා ගමනයේදී යොදාගනු ලබන්නේ පා පැදියත් යතුරු පැදියත්ය. සුදු කබා හැඳගෙන බඳවටා කළුපටි බැඳගත් බොහෝ කතෝලික පූජකවරුන්ගේ ද ජනප්‍රිය වාහනය වූයේ යතුරු පැදිය නැත්නම් පාපැදියයි- බොහෝ ග්‍රීක ජාතික සයිප්‍රස් වැසියන් අතිශයින්ම ප්‍රිය මනාප ද විශේෂ වශයෙන්ම ඉතා සෞම්‍ය ද වීමයි”.

අබේසිංහ මහතාගේ වඩාත් සිත් ගත් විදේශ සංචාරය වන්නේ 1988 දී ඉන්දියාවේ ගෝපාල් නුවරදී පැවැති “කවිතා ඒෂියා” කවි සමුළුවයි. මෙහිදී අපූර්වතම කවි කිවිඳියන් රැසක් මුණ ගැසී ඇති අතර ඒ අතර භාරත මහා කවි අලි සදාර් ජෆ්රි රුසියානු මහා කවි ඉයුජින් යෙෆ්ටුෂෙන්කෝ කැපී පෙනේ.

පන්ජාබ් ජාතික චන්ජිත් තිවානාගේ “ස්වාමි පුරුෂයා” චීන ජාතික ලියූ හෑන්ගේ “ඔබයි මමයි” ඉන්දුනීසියානූ ජාතික සාපර්දි දර්ජෝකෝ දමෝනෝගේ “වැහි දිනෙක දෙබසක්” මලයාලි කවිවර කේ. සචිදාන නන්දගේ “පොත්වල අගය” නේපාල කිවිඳිය බනිරා ගිරිගේ “හිරු උදාව” යන කවි ඇතුළු සමුළුවට සහභාගි වූ බොහෝ කවීන්ගේ කාව්‍ය අනුවාදයන් අබේසිංහ මහතාගේ “ආසියාවේ කවි” සංග්‍රහයත් සංගෘහිතව ඇත-

දෙවතාවක් සිංගප්පූරුවේ චාරිකා කළ අබේසිංහ මහතා එම චාරිකා ඇසුරින් එළැඹි නිගමනයන්ගේ සමුදයාර්ථය මෙලෙසින් සටහන් කර ඇත-

“රාජ්‍යයකට ද හෘද සාක්ෂියක් කියා දෙයක් ඇත- මා තේරුම් ගන්නා ආකාරයට “නීතියේ පාලනය” වනුයේ රාජ්‍යය සතුවන එකී හෘදසාක්ෂියයි- ආණ්ඩුවේ හෘදය සාක්ෂිය යනු එකිනෙක පුද්ගලයින්ගේ හෘදය සාක්ෂියේ එෛක්‍ය වෙතැයි මම හැමවිට ම කල්පනා කර ඇත්තෙමි- රටක නීතියේ පාලනය යනු එයම නොවේදැයි යෝනිසෝමනසිකාරයෙන් සිතනු යෙහෙකිය-

2016 වර්ෂයේදී චීනයේ බීජිංහි පැවැති දකුණු ආසියා පුස්තකාල කළමනාකරණ හා සේවා වැඩමුළුව සතියකට සීමා වුවද චීනයේ විස්මිත දියුණුව සියැසින් දක්නට ලැබුණි- 2018 වර්ෂයේදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ලෙස ඉරානයේ ටෙහෙරාන්හි පැවැති “ආසියානු සංස්කෘතික සංවාද සම්මන්ත්‍රණ” සඳහා සහභාගි වූ අබේසිංහ මහතා ඉරාන ජාතික මහා කවියා ලෙස සැලකෙන පර්ඩව්සි කවියාගේ විශාල ස්මාරකය වෙත ගිය ගමන සිහිපත් කරන්නේ අභිමානයෙනි. 2020 වසරේ උදාව අබේසිංහ මහතා සමරනු ලැබුවේ නවසීලන්තයේ පාමස්ටන් නෝර්ත් නුවරදී සිය දියණිය සහ බෑනණුවන්ගේ ආරාධනයෙනි. තෙමසකට ආසන්න කාලයක් නවසීලන්තයේ ගතකළ ජීවිතය පූර්ණකාලීන ලේඛකයෙකු වූ අබේසිංහ මහතාට හුදෙක් විවේකයක් වුවත් එම විවේකය ඵලදායි ලෙස ගත කරමින් නවසීලන්තයේ ජන ජීවිතය හා පරිසරය පිළිබඳව උකහාගත් දැනුම හා අවබෝධය තුළින් ‘මවුරි ජනකතා’ වැනි ජනකතා සංග්‍රහ සම්පාදනය කිරීම අගනේය. නවසීලන්තයේ මැකන්සි රෝස උයනෙහි චමත්කාරයත් දැව සම්පතෙහි අරුමයත් ජාතික කෞතුකාගාරයේ කෞතුක රසයත් වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ විශ්වදැනුමත් නවසීලන්ත පාර්ලිමේන්තුවේ අභිමානයත් තවුසි මහ විලේ අසිරියත් හුකා දිය ඇල්ලේ රිද්මයත් මවුරි ජාතිකයින්ගේ පෞඪත්වයත් පිළිබඳව කර ඇති සටහන් අපට ආදර්ශයට ගතහැකි මහරු තොරතුරු ගොන්නකි.

මෙම දේශාටන සංග්‍රහයේ අවසානයට උප ග්‍රන්ථයක් ලෙස සහභාගි වූ සමුළුවලදී අබේසිංහ මහතා කරන ලද දේශනත් එම දේශන පිළිබඳව සෝවියට් පුවත්පත්වල පළවූ පුවත්පත් වාර්තා හා වර්ණ ඡායාරූපත් ඇතුළත් කිරීම ග්‍රන්ථයේ අගය වැඩි කරන්නකි. ආචාර්ය ඩබ්ලියූ- ඒ- අබේසිංහ මහතා විසින් විරචිත “දේශ දේශාන්තරයෙහි” කෘතිය පුළුල් පරාසයක දේශාටන අත්දැකීම් විදාරණය කරන අබේසිංහ මහතා සතු සුසුනිඳු කවිතාව තුළින් එක හුස්මට කියවා හමාර කළ හැකි පරිදි රචනා කර ඇති මනරම් කවියක් බඳු දේශාටන විත්ති සංග්‍රහයක් බැව් සඳහන් කළමනාමය.

● උදේනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment