පඩි වැඩි – ඉල්ලීම් කුණු කූඩයේ නම් වෛද්‍යවරු සටනේ

265

වෛද්‍යවරුන්ට ආර්ථික සහනයක් ලබාදීම සඳහා බලධාරීන් විසින් ලබා දුන් විසඳුම් ප්‍රකාශයට පත් නොකිරීම සහ සෞඛ්‍ය පද්ධතියේම පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා රජයට ඉදිරිපත් කළ අටවැදෑරුම් යෝජනා මාලාවට ද නිසි ප්‍රතිචාර නොලැබීමට විරෝධය දක්වමින් අදින් (31 දා) පසු එළැඹෙන ඕනෑම දිනයක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත පිවිසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

2024 අය වැයට සමගාමීව ඉදිරිපත් කිරීමට එකඟ වූ වෛද්‍යවරුන්ට කඩිනමින් ආර්ථික යුක්තිය ඉටුකිරීම ඉලක්ක කරගත් නිශ්චිත විසඳුම්, අය වැය සම්මත වී තිබියදීත් ඉටුකර නොමැති බව ද එම සංගමය චෝදනා කරයි.

මතුව ඇති විසඳුම් ප්‍රමාදයන් හරහා සිය සාමාජිකත්වය අතර පැන නැඟී ඇති අතෘප්තිකාරී හැඟීම් සහ නොසන්සුන්තාවය දැනුවත් කරමින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද එහි ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කර සිටී.

එමෙන්ම මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රභූ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත්වීමත්, දේශපාලන අරමුණු සහිත ජංගම සායන කටයුතුවලින් බැහැර වීමත් යන වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment