කුඹුක්ගැටේ සාම්පලය

984

ලංකාවේ පොලිස් ඉතිහාසය ආසියාවේ ද දීර්ඝතම පොලිස් ඉතිහාසය වේ. සිංහල රජකාලේ ලංකාවට පොලිසි හෝ ඒ හා සමාන ආරක්‍ෂක මධ්‍යස්ථාන තිබුණේ නැත. ගමේ පොලිසිය වූයේ ගම්මුලාදෑනියාගේ ගෙදරය. ලොකු ලොකු අපරාධ කළ අය රාජ්‍යපුරුෂයන්ට අල්ලා දෙන ලදුව එකෙනෙහිම හිස් ගසා මරනු ලැබීය. ලංකාවට විධිමත් පොලිස් සේවයක් මුල්වරට ලැබෙන්නේ 1659දී ය. එවකට ලංකාවේ මුහුදුබඩ පාලනය කළ ඕලන්ද ආණ්ඩුව විසින් තම බලප්‍රදේශයේ තැන තැන පොලිසි පිහිටුවන ලදී. මේ පොලිසි උදේට වසා දමා රෑට පමණක් විවෘත කරන ලදී. රාත්‍රි කාලයේදී හොර සතුරන් සිටින බැවින් ඔවුන්ගෙන් නගරය බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීහු ගිනි පන්දම් අතින් ගෙන තැන තැන මුර සංචාර කළහ. ඕලන්ද ආණ්ඩුව මුලින්ම පොලිසි තුනක් විවෘත කළහ. ඉන් පළමුවැන්න වූයේ කොළඹ කොටුවට උතුරින් ඇතුළුවන දොරකඩය. දෙවැනි පොලිසිය කොටුව සහ පිටකොටුව අතර එකල තිබූ මඩගොහොරුව අසල පිහිටුවන ලදී. තුන්වැන්න පිහිටියේ කයිමන් දොරකඩය. එකල පොලිසිය යන නාමය භාවිතා වූයේ නැත. නගරයේ තිබූ පොලිසි තුනම හඳුන්වන ලද්දේ ‘මඬුව’ යන නාමයෙනි. 1913 වන විට ලංකාවේ තිබූ සම්පූර්ණ පොලිසි ගණන 119කි. 2020දී 432කි. මේ පොලිසි 432කේ පොලිස් නිලධාරීහු 84000ක් සේවය කරති. ලංකාවේ ලොකුම සිවිල් ආයතනය පොලිස් දෙපාර්තමේන්තුව වේ. අද අප කියන්නට යන කතාව පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ ඔබ මෙතෙක් නෑසූ කතන්දරයකි. පාඨකයෝ එය සාවදානව අසත්වා!

වයඹ පළාතේ කුරුණෑගලට අයත් කුඹුක්ගැටේ පළාතේ කුඩා පොලිසියක් තිබිණි. මෙය අප පෙර කී පොලිසි 432න් එකකි.

කුඹුක්ගැටේ පොලිසිය පවත්වාගෙන යන ලද්දේ කුලියට ගත් ගෙදරකය. පසුගියදා පොලිසිය සමග ගිවිසගත් බදු කාලය අවසන් වීම නිසා ගෙවල් අයිතිකාරයෝ කුඹුක්ගැටේ පොලිසිය පිහිටි නිවස ආපසු ඉල්ලා සිටියහ. ඉඩම් මිලට ගෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ද මිලයට ගෙන අලුත් පොලිසි සෑදීම සඳහා තිබෙන පොලිසියක කැඩුනු ජනේලය රෙපයාර් කරගැනීමටවත් මේ වෙලාවේ පොලිස් දෙපාර්තමේන්තුවට සල්ලි නැත. ආර්ථික අර්බුදය කොපමණ දරුණු ද යත් අපරාධකරුවන් සිය පෞද්ගලික ධනයෙන් මුදල් ගෙවා වාහන හයර් කරගෙන පොලිසියට ඇවිත් භාර වෙනවා නම් ආණ්ඩුව ඒ තරමටම කැමතිය. කුඹුක්ගැටේ යනු මීට අවුරුදු 20කට පෙර නිෂ්ක්‍රීයව පිහිටි නමුත් මෑත අවුරුදු කිහිපය තුළ කුඩු සහ පාතාලය නිසා සක්‍රීය වීමට පටන් ගත් ප්‍රදේශයකි. කුඹුක්ගැටේට පොලිසියක් එන්නේ 2016දීය. ගතවූ අවුරුදු කිහිපය තුළ මේ පොලිසිය නිසා ප්‍රදේශය වළපල්ලට යෑමේ වේගය අඩු විය. මේ නිසා කුඹුක්ගැටේට ගමේ ජනතාවගේ වියදමින් පොලිසියක් සාදා දීමට ගැමියෝ තීරණය කළහ. ඒ සඳහා අවශ්‍ය අක්කර 2ක භූමිය කුඹුක්ගැටේ කසාගල රජමහ විහාරාධිපති මැල්සිරිපුර විමලරතන හාමුදුරුවෝ පරිත්‍යාග කළහ. පන්සලට අයත් එම ඉඩම පිහිටා තිබුණේ කුඹුක්ගැටේ නගරයේය. ඉඩම ලැබුණ සැණින් පළාත්වාසීන් සහ දානපතීන් එක්ව කුඹුක්ගැටේ එකමුතු ග්‍රාමීය සුබ සාධක සංගමය පිහිට වූහ. ඔවුහු සල්පිල් පවත්වමින් සංගීත සංදර්ශන පවත්වමින් ඉතා කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 3ක් එකතු කළහ. අද පන්සලට අයත් ඉඩමේ රුපියල් කෝටි 3ක වියදමින් ඉදිකළ අලුත්ම අලුත් පොලිසියක් දක්නට තිබේ.

පසුගියදා පොලිස්පති සහ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ගේ මූලිකත්වයෙන් මේ පොලිසිය ජනතා අයිතියට පවරන ලදී.

කුඹුක්ගැටේ පොලිසිය පිළිබඳ කතන්දරය කදිම ආදර්ශමත් සිදුවීමකි. ගමක ජනතාවට එකට එකතුවී ඕනෑම දෙයක් කරගත හැකි බව මේ කතාවෙන් පැහැදිලි වෙයි. කුඹුක්ගැටේ සිද්ධිය රාජ්‍ය සම්මානයට පවා පාත්‍ර විය යුතු බව අපගේ වැටහීම වේ. ගෙවල් අයිතිකාරයාගේ ඉල්ලීම නිසා කුඹුක්ගැටේ පොලිසියට පාරට බැසීමට සිදුවූයේ නම් එහි වාසිය මුලින්ම ගන්නේ අපරාධකරුවන් විසින්ය. නූතන ලංකාවේ ගමකට පොලිසියක් නැති විට ඒ ගම අනාථභාවයට පත්වේ. කුඹුක්ගැටේ පොලිසිය යම් හෙයකින් වසා දමන ලද්දේ නම් ඊළඟ පොලිසි දෙකම ඇත්තේ වාහනයකින් පැය එකහමාරක් ගමන් කරන දුරකය. ලංකාව දියුණු කිරීමේදී කුඹුක්ගැටේ සාම්පලය යොදාගත හැකිය. කැඩුනු පාරවල් කඩාවැටෙමින් පවත්නා රජයේ ගොඩනැගිලි වැනි ග්‍රාමීය ආර්ථිකය සමග සම්බන්ධකම් පවත්වන ඉදිකිරීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා කුඹුක්ගැටේ ආදර්ශය යොදාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment