ශ්‍රී ලාංකික තරුණයන් රවටා ගෙන ගොස් යුක්‍රේන යුද්ධයට මැදි කළ කඩවත යුවළක් දැලේ

144

යුක්‍රේනයේ රැකියා ලබාදෙන බව කියමින් යුද හමුදාවෙන් ඉවත් වූ සෙබළුන් ඇතුළු තරුණයන් 55 දෙනකු රැගෙන ගොස් රුසියාවට එරෙහි ප්‍රහාරවලදී යුක්‍රේන හමුදාවට භාර කළ කඩවත රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය යුවළක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (17දා) අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ විමර්ශනවලින් හෙළි වූ කරුණු අනුව මෙරට තරුණයන් 55 දෙනකු මේ වන විට යුද්ධයට යොමු කර ඇති අතර මෙම සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ රැගෙන ගිය තරුණයන්ගෙන් 17 දෙනකු යුද ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වී ආපසු ලංකාවට පැමිණ ඇති බව ද රහස් පොලිසිය පවසයි.

රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන සැකකාර යුවළ යුක්‍රේනයේ හා පෝලන්තයේ උසස් රැකියා ලබාදෙන බව කියමින් තරුණයන් මෙසේ රැගෙන ගොස් ඔවුන් යුද ගැටුම්වලට එක්කර ඇති බවට අනාවරණය වී ඇත. එසේ රැගෙන ගිය තවත් තරුණයන් විශාල පිරිසක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර ඔවුන් යුද්ධයට මැදි වී සිටින බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම මිනිස් ජාවාරමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කීපදෙනකු හා මෙරට විදෙස් රැකියා ආයතන කීපයක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. මෙම මිනිස් ජාවාරමට මැදිවූ තරුණයන් පිරිසකගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව සිදුකළ විමර්ශනවලින් කඩවත පිහිටි මෙම විදේශ රැකියා ආයතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තවදුරටත් පුළුල් පරීක්‍ෂණයක් සිදු කරයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment