පාස්කු ප්‍රහාරකයා දන්නවා කියූ මෛත්‍රීගෙන් ප්‍රශ්න කරන්න CID ය සූදානම්

249

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකාරයන් තමන් දන්නා බවට සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට ඊයේ (24 වැනිදා) දැනුම් දීමට කටයුතු කර තිබිණි.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට දැනුම් දීමක් කර තිබුණේ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදෙන දිනයකදී ඒ මහතාගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

මීට දින කිහිපයකට උඩදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයන් තමන් දන්නා බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවත්ය.

එම හෙළිදරව්වෙන් පසුව විවිධ දේශපාලනඥයන් සිවිල් සංවිධාන ඇතුළු විවිධ පුද්ගලයන් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයන් පිළිබඳව දැනගෙන සිටියද එය හෙළි නොකිරීම බරපතළ වරදක් බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කළහ.

මේ අතර නැවත වතාවක් තවත් සාකච්ඡාවක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මෙම හෙළිදරව්ව කිරීමට සති තුනකට පෙර මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳව තොරතුරු තමන්ට ලැබුණු බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කරන හෙළිදරව්ව අධිකරණය ඉදිරියේ රහස්‍යභාවය ආරක්‍ෂා වන ආකාරයට සිදු කිරීමට තමන්ට අවශ්‍ය බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

ප්‍රසිද්ධියේ මෙම හෙළිදරව්ව සිදු කළහොත් තමන්ට මෙන්ම තම පවුලේ ඥාතීන්ද විනාශ කර දැමීමට පුළුවන් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ දීමට අකමැති නම් ඒ මහතාට අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment