රෙදි කඩකින් හුස්ම හිරකර මිත්තනිය මර පලාගිය මුනුපුරෝ අත්අඩංගුවට

191

කටුගස්තොට උගුරැස්සපිටියේදී 76 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මියගිය කාන්තාවගේ මුනුපුරන් දෙදෙනකු පෙරේදා (18 දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු බවත් ඔවුන් අවුරුදු 24 හා 26 වයසේ පසුවන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අක්කරෙයිපත්තුව ප්‍රදේශයට පළාගොස් සැඟව සිටියදී ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පවුමක පමණ බරින් යුත් රන් මාලයද පොලිසිය සොයා ගෙන ඇත. මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයින් දෙදෙනා ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස ආසන්නයේම පදිංචිව සිට ඇත.

ඥාති සම්බන්ධය අනුව මියගිය කාන්තාවගේ මුණුපුරන් වන සැකකරුවන් නිතර එම නිවසට පැමිණ තිබෙන අතර සිද්ධිය වූ දින රෙදි කඩකින් හුස්ම සිරකර මොවුන් සිය මිත්තණිය ඝාතනය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

අබ්දුල් සලාම් සිත්ති රෆීකා නමැති කාන්තාව පසුගිය 16 දා දහවල් සිය නිවසේදී ඝාතනය කර තිබිණ. ඝාතනය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අදාළ කාන්තාව පමණක් වන අතර ඇගේ පුතා හා ලේලිය අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට නිවසින් බැහැර ගොස් සිට ඇත.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රසික සම්පත් මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment