ජනමාධ්‍ය අමාත්‍යංශයක් තිබියදී සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැති ගේන්නේ ඇයි? – මුජිබර් රහුමාන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

105

ජනමාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම, පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද? කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ (26 දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතලා ලෝක නායකයන් ඉදිරියේ කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය හදා ගන්න අවශ්‍යයි කියලා. ජනාධිපතිවරයා ආර්ථිකය හදන්න විශාල වැඩ කොටසක් කරනවා කියලා පෙන්වනවා. ආර්ථිකය හදන්න ස්ථාවර වැඩසටහන් කරන ගමන් අපට පෙනෙන්නට තිබෙනවා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් තමයි ආර්ථික ස්ථාවරය හදන්න යන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතා කරන ගමන් ආණ්ඩුව මාධ්‍ය විනාශන අධිකාරී පනතක් ගේන්න හැදුවා. සමාජ මාධ්‍ය නියාමනයට පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ත්‍රස්ත විරෝධි පනත කියලා අලුත් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමෙන් කැඳවපු මැතිවරණය සඳහා මුදල් නොදී ඉන්න මැතිවරණය නොපවත්වා ඉන්න විශාල වැඩ කොටසක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අහන විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරන්න පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු ලවා වරප්‍රසාද ප්‍රශ්න පාර්ලිමේන්තුවේ දී මතුකරලා විනිශ්චයකරුවන්ට බලපෑම් කරන්න ජනාධිපතිවරයා දිගින් දිගටම උත්සාහ කරනවා.

රට සහ ආර්ථිකය ස්ථාවර කරන්න ඕන කියන අදහස ඉදිරියට දාලා සම්පුර්ණයෙන්ම භාෂණයේ නිදහස සියලු අයිතීන් යටපත් කරන්න ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ආර්ථිකය විනාශ කරන්න වැඩ කරපු මිනිස්සුන්ව අල්ලන්න වැඩ කරන්නේ නෑ. ආර්ථිකය හදන්න ඕන කියන ගමන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හැම එකක්ම යටපත් කරන්න පාර්ලිමේන්තුවට අණ පනත් ගෙනල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නෙවෙයි අද ඉන්නේ. රාජපක්ෂලාගේ අදහස් වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ පත්වෙලා. 2019 සිට රටේ ආදායම වැඩි වෙලා නෑ. වියදම වැඩි වෙලා තියෙනවා. විදුලි බිල ජල බිල ඇතුළු සියල්ල ජනතාවට දරා ගන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. ජනතාවට කියනවා දරාගෙන කැප කිරීම් කරන්න වෙයි කියලා නමුත් ආණ්ඩුව කිසිඳු කැප කිරීමක් ජනතාව වෙනුවෙන් කරලා නෑ.

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡාවට යනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හත් අට දෙනෙක් එක්ක ගිහින් තියෙනවා. ඔවුන් සමග ගිය එකෙන් රටට සිදුවුණ කිසිදු ප්‍රතිලාභයක් නෑ. ඔවුන් ගිහින් තියෙන්නේ ටි්‍රප් එකක්. ජනාධිපතිවරයාගේ විනෝදයට තමයි ඒ මන්ත්‍රීවරු එක්කගෙන ගිහින් තියෙන්නේ. වැඩකරන මිනිස්සුන්ගේ අර්ථ සාධක අරමුදලට ගහලා දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා ඒ මුදල් ටික කප්පාදු කරන්න හදනවා.ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ දුන්න බදු සහනවලින් විශාල ව්‍යාපාරිකයන් පිරිසක් ලාභ ලැබුවා. අයථා ලෙස උපයාගත්ත විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවා. සිනි ගණුදෙනුවෙන් රජයට මිලියන 15,000 ක් අහිමි වෙලා කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. ඒවා අය කර ගන්න රජය වැඩ කරන්නේ නෑ. වංචා දුෂණ හරහා රටේ මුදල් අහිමිවීම නවත්වන්න රටේ යාන්ත්‍රණයක් නෑ. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා වැඩකරන ජනතාවගේ ඊටීඑෆ් එකට සහ ඊපීඑෆ් එක ගසාකන්න ජනාධිපතිවරයා වැඩ කරනවා.

ඉහළ ආදායම් ලබන තැනැත්තාගේ සිට පහළ ආදායම් ලබන තැනැන්තා දක්වා සියලුදෙනා කැප කිරීම් කරන්න ඕන. නමුත් ඉහළ ආදායම් ලබන බදු සහන ලබාගත් අය බදු නොගෙවා ඉන්න අය අයථා මුදල් උපයන පිරිස් ආර්ථික අමාරුකම්වලදී කැප කිරීම් කරන්නේ නෑ. ඒවා අය කර ගන්න රජයට කිසිම යාන්ත්‍රණයක් නෑ. රටේ ඉන්න සමාන්‍ය ජනතාවට තමයි කැප කිරීම් කරන්න සිදුවෙලා තියෙන්නේ. ආර්ථිකය බංකොළොත් කරපු අය ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුව සිදුකළේ පොදුජන පෙරමුණේ ලේකම්ගේ මුලිකත්වය යටතේ තේරීම් කාරක සභාවක් පත් කළා. තේරීම් කාරක සභාවට ගිය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවල් ගිනි තියන්න ඕන කියලා. මේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය පිළිබඳ කතානායකවරයා ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද? ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ආර්ථිකය බංකොළොත් කරපු දේශපාලඥයින් බේර ගන්න රාජ්‍ය නිලධාරීන්ගේ බිල්ලට දෙන්න හදනවා.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති ගෙන ඒම පනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩක්ද පොලිසියේ වැඩක්ද කියන එක ප්‍රශ්නයක්. මීට කලින් ජනමාධ්‍ය අමාත්‍යාංශය තමයි ඒ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගේන්නෙම මේකේ යටි අරමුණක් තියෙනවා. සමාජ මාධ්‍ය නියාමන කොමිසන් සභාවටත් ජනාධිපති තමයි නිලධාරීන් පත් කරන්නේ. ඒක ස්වාධීන ආයතනයක් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා මේ කොමිසන් සභා පත් කරගන්නේ ඔහුට ඕන දේවල් කර ගන්න. සමාජ මාධ්‍ය නියාමන පනත හරහා සමාජ මාධ්‍ය ආයතන ලංකාවෙන් ඉවත් වෙන්න පුලුවන්. මේ ප්‍රශ්නය පකිස්තානයෙත් ඇතිවුණා. ගෝලීය සමාගම් අපේ රටේ ලියාපදිංචි වෙන්න ඕන කියලා නීති ගේනවනම් ඔවුන් අපේ රටෙන් ඉවත් වෙනවා. රට ඩිජිටල් කරනවා කියලා කියනවා. ඒදෙය කරන්න බෑ මේ සමාගම් ලංකාවෙන් ඉවත් වුණාම. අයිසීසීපීආර් පනත යටතේ රජයට විරුද්ධ පිරිස් දඩයම් කරන්න කටයුතු කළා. මේ පනත යටතේ වැරදි ලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසක් නිදහස් වුණා. ආණ්ඩුව මේ සමාජ නියාමන පනත ආණ්ඩුව භාවිතා කරන්න පුලුවන් රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන පිරිස් අත්අඩංගුවට ගන්න පුලුවන්. අයිසීසීපීඅර් පනත සමාන පනතක් මේක. ඒ නිසයි මේක පොලිසිය භාර ඇමැතිවරයා ගේන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment