ජෙරොම් රිමාන්ඩ්

225

භාෂණය නිදහස අනෙක් අයට අපහාස කරන්න දෙන බලපත්‍රයක් නොවේ – මහෙස්ත්‍රාත්

පසුගිය අප්‍රේල් 30 වැනිදා සිය දේවස්ථානයක පැවති දේශනයකදී බොදු දහමට සහ අන්‍ය ආගම්වලට අපහාසයක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01 දා) පස්වරුවේ නියෝග කළේය.

සැකකරු එකී ප්‍රකාශ මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු අනුව තම අධිකරණයට බැලූ බැල්මට පෙනී යන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සැකකරු එකී දේශන පැවැත්වූ ස්වරූපය සිය අනුගාමිකයන්ට දහම් දැනුම ලබාදීමකින් ඔබ්බට ගිය අන් ආගම් කෙරෙහි වෛරීය චේතනා ඇති කිරීමට දැරූ උත්සාහයක් බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළ එකී දේශන නැරඹීමේදී තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද පැවසූ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ අනුගාමිකයන් එම දේශනයේදී ඔල්වරසන් දෙමින් ඉහළ ප්‍රතිචාර දක්වා ඇතැයි ද පැවසීය.

විත්තියේ උගත් නීතිඥවරයා ඉල්ලා සිටින පරිදි ඔහුගේ සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් කරුණු නොමැති නම් නඩුවෙන් මුදාහරිනු මිස ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව ද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. කෙසේ නමුත් ඔහු සිදුකර ඇති එම දේශනය බලා සුදුසු තීරණයක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බව ද පැවසූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමට පැය කිහිපයකට පෙර මධ්‍යම රාත්‍රියේම ඔහු රටින් පිටවී ඇති බව ද විවෘත අධිකරණය හමුවේදී පැවසීය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජය බුද්ධ ධර්මය ආරක්‍ෂා කිරීමට බැඳී ඇති බවත් සිහිපත් කළ මහෙස්ත්‍රාත්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව අනුව භාෂණයේ නිදහස ආරක්‍ෂා කර ඇති නමුත් ව්‍යවස්ථාවේ 15(2) මගින් එයට සීමා පනවා ඇති බවත් භාෂණයේ නිදහස යනු අනෙක් අයට අපහාස කිරීමට ලබාදෙන බලපත්‍රයක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු අනුව පැහැදිලි වන්නේ යැයි ද පැවසීය. නීතියේ ආධිපත්‍ය සැමට සමාන විය යුතු බවත් රටේ උත්තරීතර නීතියට ඉහළින් කිසිවකු නොසිටිය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා ඉතිහාසය ජාතික හා ආගමික ගැටුම්කරී තත්ත්වය මින් පෙර තිබූ බව මෙන්ම වර්තමානය තුළදී විටෙන් විට එවැනි ගැටලු පැනනඟින බවට වාර්තාවීම අමතක නොකළ යුතු බව ද එම නියෝගය නිකුත්කරමින් පෙන්වා දුන්නේය.

එම සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ හා අන් ආගම් නියෝජනය කරන පිරිසකගෙන් ලබාගත් ප්‍රකාශ අනුව සැකකරු සිදුකර ඇති එම ප්‍රකාශය මගින් ඔහු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනතේ 3(1) යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බැවින් ඇප ලබා නොදෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි එම දෙපාර්තමේන්තුවේ නීති අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විමර්ශන නිලධාරීන් කුමක් කීවත් සිය සේවාදායකයා එදින ඔහුගේ අනුගාමිකයන්ට සිදුකර ඇති දේශනය මගින් අන් ආගම්වලට අපහාස වන පරිදි වචනයක් හෝ සිදුකර නොමැති බවත් ආගම් අතර එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට පොළඹවන ආකාරයේ කිසිදු කරුණක් එම දේශනයට අඩංගු නොවූ බවත් සැකකරු එදින සිදු කළේ යයි කියන දේශනයේ යතුරුලියනය කළ ඡේද කිහිපයක් විවෘත අධිකරණය හමුවේ කියවමින් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට පැවසීය. එකී දේශනය මගින් යමෙකුගේ සිත් රිදවීමක් වූයේ නම් ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේදී සමාව ඉල්ලා ඇතැයි ද අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා එකී ප්‍රකාශය මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති දැයි යන කරුණු ප්‍රශ්නකාරී බව ඔහුගේ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණය පෙන්වාදී ඇතැයි ද පැවසීය.

සැකකරුගේ බෝන් එගේන් නමැති ආයතනය කතෝලික සභාවේ ලියාපදිංචිය ලබා නොමැති ආයතනයක් බවත් එයට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇතැයි ද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක විජේසූරිය මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ද අධිකරණයට පැවසීය. එම කරුණු හා අදාළ වගන්ති සඳහන් කර එම ඉල්ලීම සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දන්තනාරායන, උප පොලිස් පරීක්‍ෂක අයගම, උප පොලිස් පරීක්‍ෂක දයානන්ද යන මහත්වරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිඥ නදිශා කන්නන්ගර, නිරෝෂන් සිරිවර්ධන, ඉසුරු දේවප්‍රිය ඇතුළු නීතිඥ මණ්ඩලය සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

පිංතූරය නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment