ගෝලීය පාරිසරික අර්බුදයේ වත්මන් දිශානතිය

96

මානව සංහතියේ හුස්ම පොද රකින පාරිසරික පද්ධතිය වත්මන් තාක්ෂණික ලෝකයේ ද එක්තරා සංරචකයක් බවට පත් වීම නිසාම නොයෙකුත් ආකාරයේ අහිතකර තත්ත්වයන්වලට මුහුණ දීමට අද වන විට සමස්ත මානව වර්ගයාටම සිදුව තිබේ. එහි භයානක ප්‍රතිඵලය වන්නේ නිරන්තරයෙන් කතිකා වන ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති දේශගුණික විපර්යාසයි. වායු ගෝලයේ දිගු කාලීනව පවත්නා තත්ත්වයේ වෙනස්වීමක් දේශගුණ විපර්යාසයක් ලෙස සරලව අර්ථකතනය කළ හැකිය. මෙයට බලපාන ප්‍රධානතම හේතුව වනුයේ දිනෙන් දින ඉහළ යන වායු දූෂණය බව පර්යේෂණ මගින් තහවුරු කරයි. ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන දහනය නිසා පිටවන කාබන්ඩයොක්සයිඩ් (CO2) වායුව දේශගුණය කෙරෙහි විශාල බලපෑමක් සිදුකර ඇත. ඒවගේම හරිතාගාර වායූන්, වායුගෝලයේ ස්වභාවිකව සහ කෘත්‍රීමව නිපදවා ඇති හිරුගේ සිට පැමිණෙන හෝ පෘථිවියෙන් පිට වන අධෝරක්ත කිරණ අවශෝෂණය කිරීමට සහ ඒවා නැවත පරිසරයට මුදා හැරීමට හැකියාව ඇති වායු කාණ්ඩයකි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි (UNFCCC), සැසිවාරයේදී (cop – 18) හරිතාගාර වායු ලෙස කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O),, හයිඩ්‍රො ෆ්ලෝරෝ කාබන් (HFCs) වැනි වායූන් හඳුනාගෙන ඇත. ගිනිකඳු පිපිරීම, ලැව්ගිනි, දූවිලි කුණාටු වැනි ස්වභාවික ක්‍රම තුළින් මෙන්ම වර්තමානයේ බහුලව සිදුවන වන විනාශය, ප්‍රවාහන පද්ධතිය, කර්මාන්තශාලා මගින් වායු දූෂණය සිදුවේ. මෙහි අහිතකර ප්‍රතිඵල නූපන් දරු පරපුරට ද භුක්ති විඳීමට සිදුවීම කනගාටුවට කරුණකි. මේ තුළින් ගෝලීය උණුසුම ඉහළ යෑම, අම්ල වැසි ඇති වීම, කාලගුණ පද්ධතියේ වෙනස්කම්, ජෛව විවිධත්වය හා ජෛව නිෂ්පාදන ක්‍රියාවලිය විනාශ වීම, ලෙඩ රෝග සහ වසංගත තත්ත්ව වලට මුහුණ දීමට සිදුවේ.

මෑත කාලයේ ඉන්දියාවේ නවදිල්ලීහි වායු දූෂණය ඉහළ ගොස් පවතින අතර අප ද එහි ගොදුරක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව සමකාසන්නව පිහිටි හොඳින් හිරුඑළිය ලැබෙන රටක් වුව ද ක්‍රම ක්‍රමයෙන් ආලෝකයෙන් අඳුර කරා ගමන් කිරීම ඛේදජනකය. වායු ගුණ සංගුණකයට අනුව 0 – 50 අතර ප්‍රමාණය හොඳ වායු ගෝලීය තත්ත්වයක් ලෙසත්, 50 – 100 අතර මධ්‍යස්ථ වායු ගුණ තත්ත්වයක් ලෙසත්, 100 – 150 අතර තත්ත්වය සංවේදී පුද්ගලයන්ට අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත්, 150 – 200 අතර තත්ත්වය අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත්, 200ට වැඩි තත්ත්වය ප්‍රබල ලෙස අහිතකර වායු ගුණ තත්ත්වයක් ලෙසත් හඳුන්වා දී ඇත. මෙම කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවෙහි ඇතැම් ප්‍රදේශයන්හි වායු ගුණ සංගුණකය විචලනය වෙමින් පවතින අතර පසුගිය දා අනුරාධපුර, කොළඹ, කුරුණෑගල, බදුල්ල වැනි දිස්ත්‍රික්කයන්හි අහිතකර වායුගුණ තත්ත්වයක් පැවති බව අනාවරණය විය. වායු දූෂණය අවම කර ගැනීම සඳහා ලොව පුරා දෙස් විදෙස් රටවල් අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාව ද වායු ගෝලයේ පවතින අහිතකර තත්ත්වය අවම කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. රථ වාහන සම්බන්ධයෙන් කෙරෙන දුම් පරීක්ෂාව, විදුලිය භාවිතයෙන් ධාවනය වන රථවාහන භාවිතය සඳහා ජනතාව යොමු කිරීම මෙන්ම කෙටි කාලීන පූර්වාරක්ෂක ක්‍රමවේදයන් ලෙස ශ්වසන අපහසුතාවන්ගෙන් පෙළෙන්නේ නම් සුදුසු මුඛ ආවරණ පැළඳීම, එළිමහන් ක්‍රියාකාරකම් සීමා කිරීම, වායු ගෝලයට දුම හෝ දූවිලි අංශු නිකුත් වන ඝන අපද්‍රව්‍ය පිළිස්සීම වැනි දේ අවම කිරීම, පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිතය, දුම් පානය කිරීමෙන් වැළකීම, හැකිතරම් මාර්ග තදබදය සහ වාහන විමෝචනය අවම කිරීම, වාතයේ ගුණාත්මකභාවය අධීක්ෂණය සහ කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම ඒ අතර වේ. විශේෂයෙන් ම මෙවැනි අවස්ථාවලදී මුහුණ දීමට සුදුසු ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, අනෙකුත් රටවල වායු දූෂණය, කාලගුණ තත්ත්ව, පරිසර තත්ත්ව පිළිබඳ අවධානයෙන් පසු වීම, මෙම කාලගුණ සහ දේශගුණ වෙනස්වීම් පිළිබඳ නිරන්තර පර්යේෂණ සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රජාව දිරිගැන්වීම ඉතා වැදගත් වේ. එමෙන්ම පාසල්, විශ්වවිද්‍යාල ඒකාබද්ධව ගෝලීය, කලාපීය සහ ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කරමින් ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ යුතුය. මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රජාව ද සමාජ වගකීමක් ලෙස මෙයට සම්බන්ධ වී ක්‍රියාත්මක වීම රටකට මෙන්ම සමස්ත ලෝකයටම වැදගත් පණිවුඩයක් ලබා දෙන්නකි. තමන්ගේ හුස්ම රකින පාරිසරික පද්ධතිය කෙරෙහි සංවේදී වීමත් ඒ සඳහා ආකල්පමය වෙනසක් ඇති කිරීමත් මේ මොහෙතේ දී ඉතා වැදගත් වන බැව් සඳහන් කිරීමට කැමැත්තෙමි. ලෝකයක් දියුණුව කරා ගමන් කළ යුතුය. නමුත් අසීමිත පරිභෝජනය උදෙසා සංවේදී ස්වභාදහමට තර්ජනයක් වනවා නම් එය යළි යළිත් සිතා බැලිය යුත්තකි.

දේශගුණ විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතුය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට පියවර ගැනීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් කාලෝචිත ක්‍රියාමාර්ගයකි. එය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන අතර ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් බැවින් කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ගොදුරුවීමේ සම්භාවිතාවය ඉතා ඉහළය. ලොව ඉහළ කාලගුණික හා දේශගුණික අවදානම්වලට ලක්විය හැකි රටවල් දහය අතර ශ්‍රී ලංකාව සිටින බව ගෝලීය කාලගුණික අවදානම් දත්ත පොතෙහි 2018 නිකුත් කළ වාර්තාවන්ට අනුව සඳහන් වේ.

තිස් අවුරුදු යුද ව්‍යසනයෙන් බැට කෑ ලාංකේය ජනතාව වත්මනෙහි නිදහසින් පසු හටගත් විශාලතම ආර්ථික ව්‍යසනය හමුවේ ගෙවා දමන්නේ ඉතා දුෂ්කර කාල පරිච්ජේදයකි. ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩිවෙමින් පවත්නා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා දිගු කාලීන සැලසුමක් සකස් කළ යුත්තේ එබැවිනි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සඳහා වන උපාය මාර්ගික වැඩසටහන මගින් දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා වන වැඩසටහන් ගණනාවකට සහය ලබා දී ඇත. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, හරිත තාක්ෂණය ප්‍රවර්ධනය, තිරසර ජල සම්පත් කළමනාකරණය, තිරසර ඉඩම් කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හා දේශගුණ විපර්යාස සඳහා අනුවර්තන ක්‍රියාමාර්ග දිරිගැන්වීම එම වැඩසටහන් අතර වේ. විශේෂයෙන් ම මෙම දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා යෝජනා ක්‍රම ලෙස ජල පෝෂක සංරක්ෂණයට විධිමත් කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, වාරි ජලය කාර්යක්ෂමව භාවිතා කිරීම හා නාස්තිය අවම කිරීම, පරිසර පද්ධති හා ජෛව විවිධත්වයට වන දේශගුණික බලපෑම් ආපදා හඳුනා ගැනීමට මෙන්ම ඒවා කළමනාකරණ පර්යේෂණ ආයතන ධාරිතාව වැඩිදියුණු කිරීම, වන හරණය අවම කිරීම සහ වන රෝපණය දිරි ගැන්වීම, ගොඩනැගිලි ඉදි කිරීමේ දී හා සැලසුම් කිරීමේදී හරිත ඉදි කිරීම් තාක්ෂණය භාවිතය වැනි යෝජනා ඉදිරිපත් කළ හැකිය. කෙසේ වෙතත් මිහිතලයේ හෙට දවස තීරණය වන්නේ අප අද ගන්නා ක්‍රියාමාර්ග තුළ බැවින් ගෝලීය වේදිකාවට බලපෑම් කිරීමට සියලු දෙනා අත්වැල් බැඳ ගැනීම කාලීන අවශ්‍යතාවයකි.

ඩබ්ලිව්. ඒ. ඩී. ශිවන්තිකා මධුෂානි ගුණසේකර,
පාරිසරික කළමනාකරණ අධ්‍යයනාංශය,
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment