වස විස කන රටවල් අතර අපේ රට තුන්වෙනි තැන

599

ඇළකන්ද ගබඩාවේ කුණු ආහාරවල වටිනාකම රුපියල් කෝටි 50ට වැඩියි…

පාරිභෝගික අධිකාරියේ විශාලතම විමර්ශනය ඇළකන්ද ගබඩාවේ කුණු ආහාර වැටලීම…

ප්‍රසිද්ධ තොග ව්‍යාපාරිකයා කුණු ආහාර බෙදීම කාලයක ඉඳලා කරගෙන ගිහින්…

ටින් මාළු, බිම්මල් ටින් තොගය අවුරුද්දකට වැඩි කාලයක් පරණයි…

2020 කල් ඉකුත් වෙච්ච හාල් අලුත් ලේබල් යටතේ නැවත ඇසුරුම් කරලා…

ඇළකන්ද ගබඩාවෙන් නිකුත් කරපු ආහාර රට පුරාම…

විස සල්ෆර් මිශ්‍ර කොත්තමල්ලි තොගයක් සමග පුද්ගලයෙක් කල්මුණෙන් අත්අඩංගුවට…

අපි කුණු ගොඩකට ගියෙමු. ඒ බ්ලූමැන්ඩල් පැරැණි කුණු කන්දට නොවේ. විසල් කුණු කන්ද පුපුරා ගොස් මහා විනාශයක් සිදු කර මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් බිලිගත් මීතොටමුල්ල කුණු කන්දට ද නොවේ. ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි මහා දැවැන්ත තොග ගබඩාවක කුණු ගොඩකට ය. පිටකොටුවේ ප්‍රසිද්ධ තොග ව්‍යපාරිකයෙක් විසින් ඉන්දියාවෙන් ආනයනය කර මෙරට මිනිසුන්ගේ පරිභෝජනය සඳහා අලෙවි කිරීමට සූදානම් කරන ලද කුණු ආහාර ගොඩකට ය.

ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි එම තොග ගබඩාව අඩි සියයකට වැඩි දිගකින්, අඩි හැටකට වැඩි පළලකින් සහ අඩි හැටක් පමණ උසකින් යුක්ත දැවැන්ත ගබඩාවකි. එම තොග ගබඩාව සම්පූර්ණයෙන්ම පිරී තිබුණේ ආනයනික ආහාර තොගවලිනි. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ලද ආහාර තොගවලිනි. එම ආහාර තොගවලින් වැඩි කොටසක් මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර තොග බව ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්‍ෂණවලින් සනාථ වී තිබිණි. ඒ පරිභෝජනයට නුසුදුසු ආහාර තොග ගබඩා කරගෙන නැවත ඇසුරුම් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ජාවාරමක් කරගෙන යන බවට ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේ දීය. පසුගිය 05 වැනිදා සවස 2.30 සිට පසුදා හිමිදිරිය වන තෙක් රැයක්, දහවලක් නොමැතිව එම නිලධාරීහු විමර්ශන කටයුතුවල නිරත වී සිටීයහ. එම පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති ආකාරයට අදාළ ගබඩාවේ තිබී සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොගවල වටිනාකම රුපියල් කෝටි පනහකට වැඩිය. මෙතෙක් කාලයකට පාරිභෝගික අධිකාරිය විසින් සිදු කර ඇති දැවැන්තම මෙහෙයුම ද ‘ඇළකන්ද කුණු ගබඩාව වැටලීම’ බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී. ඒ. සී. පී. පෙරේරා අප සමග පැවසුවේය.

එම තොග ගබඩාවෙන් සොයාගෙන ඇති හාල් තොග අතර කල් ඉකුත් වී පරිභෝජනයට නුසුදුසු බාස්මති සහල් කිලෝ 25 මලු ටොන් දෙකකට වැඩිය. නාඩු සහල් තොගයේ ප්‍රමාණය කිවනොහැකි තරම්ය. හුණු සහල් බවට පත් වී තිබුණු තවත් විශාල සහල් තොගයක් පැත්තක ගොඩ ගසා තිබිණි. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුළු මාධ්‍ය කණ්ඩායම කුණු ආහාර ගබඩාවට ඇතුළු වනවිටත් සේවකයන් පිරිසක් විසින් කල්ඉකුත් වූ බාස්මති සහල් අලුත් ලේබල් යටතේ නැවත ඇසුරුම් කරමින් සිටින අයුරු දැකගැනීමට ලැබිණි. ඒ අනුව 2019 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදන දිනය යටතේ 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ කල්ඉකුත් වී ඇති බාස්මති සහල් තොගය අලුත් නිෂ්පාදන නාමයක් යටතේ 2022 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදන දිනය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ කල්ඉකුත් වන ආකාරයට නව ඇසුරුම්වල බහාලමින් තිබිණි. එමෙන්ම 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් කල්ඉකුත් වූ නාඩු සහල් තොගය නව වෙළෙඳ නාමයක් යටතේ 2022 නිෂ්පාදන දිනය යටතේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ කල්ඉකුත්වීමේ දිනය සහිතව නැවත ඇසුරුම් කර තිබිණි. කල්ඉකුත් වූ විශාල පරිප්පු තොගයකට වසා තිබුණු ගුල්ලො වැනි සතුන් විනාශ කිරීමට කෘමි නාශක යොදා වසා තිබෙන අයුරු ද ඇස ගැටිණි. එම පරිප්පු තොගය ස්ථාන කිහිපයකින් ගල් වී තිබිණි. තවත් තැනක පරිප්පු නොපෙනන තරමට පුස් මතු වී තිබිණි. එම පරිප්පු තොගවල නිෂ්පාදිත දිනයක්, කල්ඉකුත්වීමේ දිනයක් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත. එමෙන්ම කල්ඉකුත් වූ සැමන් ටින් 44000ක් සහ බිම්මල් ටින් 44000ක් සොයාගෙන තිබිණි. 2022 වර්ෂයේ කල්ඉකුත් වී ඇති සතුන් වහපු කොත්තමල්ලි තොගයක්, මුං ඇට තොගයක්, වියළි මිදි, රටඉඳි, ගුල්ලො ගැසූ විශාල පාන් පිටි තොගයක් සහ එක්ස්ට්‍රා වර්ජින් ඔයිල් බෝතල් විශාල තොගයක් ද සොයාගෙන තිබිණි. ඒ සියලුම ආහාර ද්‍රව්‍ය මිනිසුන්ගේ පරිභෝජනයට නුසුදුසු ඒවාය. එම ආහාර ගොඩ ගසා තිබුණු ආකාරය, නරක් වී තිබුණු අයුරු දුටුවිට දෑස් නළලේ නතර විය. එම ආහාර තොග තුළින් මතු වූ දුර්ගන්ධය නාස් පුඬුවලින් ඇතුළු වී ඉහ මොළ රත් කරන විට කුස තුළ තිබුණු ආහාර ඔක්කාරයට ආවේය.

වස විස කන රටවල් අතර අපේ රට තුන්වෙනි තැන

අනේ අපොයි… අපි සල්ලි දීලා කඩවලින් අරගෙන කන්නෙ මේ වගෙ කුණු ආහාර ද? මගේ සිත ප්‍රශ්න කෙරිණි. විසල් ගබඩාව පිරී තිබුණේ කුණුම, කුණු පිළීගඳ මුසු අමුතුම දුර්ගන්ධයක් සහිත ආහාර තොගවලිනි. මිනිස් පරිභෝජනයට සුදුසු යැයි සිතෙන කිසිදු ආහාර වර්ගයක් එම ගබඩාව තුළ දී ඇස නොගැටිණි. එම ආහාර කෑමට තියා අතින් ඇල්ලීමට හෝ සිත ඉඩ නොදිණි. ලැබුණු තොරතුර මත ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් ඇළකන්ද කුණු ආහාර ගබඩාව වැටලීම් කළ පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී. ඒ. සී. පී. පෙරේරාගේ හඬ ඉස්මතු විය.

“මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර තොග සහිත ගබඩාව මේ වෙනකොට සීල් තබා තියෙනවා. එම ගබඩාවේ සහ බඩු තොග ආනයනකරුගෙන් කටඋත්තර ගන්න ඔහුට එන්න කිව්වට තවම ආවේ නෑ. ඒ ව්‍යාපාරිකයා මඟහරිමින් ඉන්න බව පේනවා. ඔහු මොන සෙල්ලම් දැම්මත් අධිකරණ නියෝගයක් ලබාදෙන තෙක් සීල් තැබූ ගබඩාව කිසිම කෙනෙකුගේ ඉල්ලීමකට විවෘත කරන්න නොදෙන බව මම වගකීමෙන් කියනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු, අවුරුදු ගණන් කල්ඉකුත් වෙච්ච ආහාර නැවත ඇසුරුම් කර වෙළෙඳ පොළට නිකුත් කිරීම මිනිසුන් මැරීමට තැත් කිරීමක් හා සමාන වරදක්. මේ වෙනකොට සියලුම බඩු තොගවල සාම්පල් අරගෙන තියෙනවා. ලබන සතිය වෙනකොට ඒ සාම්පල් රජයේ සියලුම රස පරීක්‍ෂණ ආයතනවලට යොමු කරනවා…” රාජ්‍ය නිලධාරියකුගේ මුවින් එවැනි නිර්භීත හඬක් පිටවීම හදවත පිනා යන්නකි. පිටකොටුව තොග වෙළෙඳුන්ගේ පමණක් නොව මුළු රටේ ම භාණ්ඩ ආනයනකරුවන්ගේ, නිෂ්පාදනකරුවන්ගේ, වෙළෙඳුන්ගේ සාක්කුවට වැටී සිටින නිලධාරීන් අතර පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී. ඒ. සී. පී. පෙරේරා රාජකාරිය දේව කාර්යයක් ලෙස සිදු කරන නීතිගරුක නිලධාරියෙක් බවට ප්‍රසිද්ධය. පිටකොටුවේ හතරවෙනි හරස්වීදියේ තොග ව්‍යාපාරයක් පවත්වාගෙන යන මෙරට ප්‍රසිද්ධ ආහාර ආනයකරුවෙක්ට හිමි ඇළකන්ද කුණු ගබඩාව වැටලීම සිදු වූයේ එම නිලධාරියාගේ නීතිගරුක සහ නර්භීතකම නිසාය. එසේ නොවෙන්න ඇතැම් කාලකණ්ණි දේශපාලුවන්ගේ සහයෝගයෙන් එම ව්‍යාපාරිකයා විසින් රටේ ජනතාවට කුණු ආහාර බෙදාහැරීමේ ජාවාරම් කරගෙන ගොස් ඇත්තේ අද ඊයේ නොවේ, කාලයක සිටය.

“මේ ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ ඉඳල කරගෙන ගිහින් තියෙනවා. මේ ගැන තොරතුරු වාර්තා වෙච්ච හැටියේ අපි ක්‍රියාත්මක වුණා. අතිශය සූක්‍ෂමව, හොර රහසේ තමයි මේ ජාවාරම කරගෙන ගිහින් තිබුණේ. ඒ වගේම වෙනත් තොග ව්‍යාපාරිකයෙක් ආනයනය කරපු ටින් මාළු සහ බිම්මල් ටින් තොගයක් තමයි මේ ව්‍යාපාරිකයා රෙගු වෙන්දේසියෙන් අරගෙන තියෙන්නෙ. ටින් මාළු සහ බිම්මල් තොගය අවුරුද්දකට වැඩි කාලයක් කන්ටේනර් පෙට්ටි තුළ රෙගුවේම තැම්බිලා තියෙනවා. මේ ව්‍යාපාරිකයා රෙගු නිලධාරීන්වත් අල්ලගෙන ඒ කුණු ගොඩත් අරගෙන ගබඩාවට ගෙනත් බානකොට තමයි අපි ගියේ. සමහර බිම් මල් ටින් දිරාපත් වෙලා ටින් හිල් වෙලා ඕජස ගලමින් තිබුණා. ඒ ටින් 88000ම මිල කරලා තිබුණේ එක ටින් එකක් 390ට. 88000ක් 390න් වැඩි කරනකොට ලැබෙන ගාණ කීයද? ඒ වගේම හාල්, පරිප්පු, පිටි වගේ ආහාරවලට වහන ගුල්ලො වැනි සතුන් විනාශ කරන්න රසායනික කෘමි නාශක යොදලා පැය ගණන් බඩු තොග වහල තියෙන බවට තොරතුරු අනාවරණය වුණා. ඒ වගේම අලුත් වෙළෙඳනාම යටතේ ව්‍යාජ තොරතුරු සහිතව කල්ඉකුත් වූ ආහාර තොග නැවත ඇසුරුම් කර මේ ගබඩාවෙන් බෙදාහැරිය බඩු තොග රට පුරා ම තියෙනවා. ඒ බඩු ඉවත් කරන එක ලේසි නෑ. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්නවත් බෑ. විමර්ශන කටයුතු සඳහා අපිට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ. ඇළකන්දේ තොග ගබඩාවේ විමර්ශනයට මා සමග නිලධාරීන් තිදෙනයි සම්බන්ධ වුණේ. විමර්ශන නිලධාරී ඒ. එච්. කේ රවිඳු, එච්. ජී. කළුබෝවිල, ඒ. එම්. කුමාර. පැය දොළහකට වැඩි කාලයක් එක දිගට විමර්ශන කටයුතු සිද්ධ කිරීමට අපේ නිලධාරීන් දැවැන්ත වෙහෙසක් දැරුවා…”

ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි පසුබිමක හිත් පිත් නැති කූට ව්‍යාපාරිකයන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ කල්ඉකුත් වූ ආහාර නව නිෂ්පාදන දින යටතේ නැවත ඇසුරුම් කර වෙළෙඳ පොළට නිකුත් කිරීම ජාවාරමක් කරගෙන සිටින බව සැබෑය. මේ වනවිට එම ජාවාරම රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සැබෑය. මෑතක සිට පාරිභෝගික අධිකාරිය විසින් එවැනි ජාවාරම් පවත්වාගෙන යන ස්ථාන දිගින්, දිගටම වැටලීම් කර විශාල ආහාර තොග අත්අඩංගුවට ගන්නා අයුරු ද පෙනේ. මෙරට විවිධ ප්‍රදේශවල සුපිරි වෙළෙඳ සැල් මෙන්ම සිල්ලර වෙළෙඳ සැල් වැටලීම් කරන පාරිභෝගික නිලධාරීන් එම වෙළෙඳ සැල්වල අලෙවියට තිබූ කල්ඉකුත් වූ ආහාර තොග අත්අඩංගුවට ගත් බව ද විටින්, විට මාධ්‍යයට වාර්තා විය. එවැනි පසුබිමක ඉතිහාසයේ විශාලතම කුණු ආහාර තොගය ඇළකන්ද ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගන්නා අතරේ කල්මුණේ කුඩි 03 ප්‍රදේශයේ දී ‘ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලිවලට විස සල්ෆර් මිශ්‍ර කර’ අලෙවි කිරීමට සූදානම් කර තිබියදී කොත්තමල්ලි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් එම මෙහෙයුම සිදු කර තිබිණි. එම වැටලීමේ දී සල්ෆර් කුඩු මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ 2125ක්, ප්‍රමිතියෙන් බාල තවත් කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 82,750ක් සහ සල්ෆර් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මිනී මරුවන් වැනි ව්‍යාපාරිකයන්ට හිතෙන පරිදි වෙළෙඳනාම වෙනස් කිරීමට මෙරට නීතියෙන් අවසර නැත. එමෙන්ම කල්ඉකුත් වූ ආහාර අලුත් ලේබල් සහිත නව ඇසුරුම්වල බාහලමින් මිනිස් පරිභෝජනයට වෙළෙඳ පොළට නිකුත් කිරීම බරපතළ වරදකි. එමෙන්ම රටක් ලෙඩ කරන අහස, පොළොව නුහුලන මහා අපරාධයකි. එහෙත් නව නිෂ්පාදිත දින යටතේ ‘කුණු ආහාර ඇසුරුම් කර වෙළෙඳ පොළට නිකුත් කිරීම ජයටම සිදු වේ. අලුත් ලේබල් යටතේ නිකුත් කරන කුණු ආහාර රට පුරා සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම ගමේ සිරිසේනගේ සිල්ලර බඩු කඩෙත් අලෙවියට තබා තිබෙන බව සැබෑය. ඇළකන්ද ගබඩාවේ කුණු ආහාර නව ඇසුරුම් යටතේ රට පුරා අලෙවි සැල්වල විකිණීමට තිබේ. මේ කතා ඇසෙනවිට අප කම්පනයට පත් වනුයේ ‘විස සහිත රසායනික යොදා අලුත් කරන පරණ ආහාර’ අනුභව කර රෝගීන් වන අප, ඔබ ගැන ය. රටක ජනතාවක්, ලෝකයේ ම එකම ජාතියත් වඳ කිරීමට, මුදල් ඉපැයීමේ හෝ වෙන යම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක අරමුණක් මුදුන්පත් කරගෙන කූට ආහාර ජාවාරම් කරගෙන යන හිත්, පිත් නැති වසලයන්ට එරෙහිව රටේ නීතිය තවමත් හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසාය.

අධික ලෙස රසායනික භාවිතකොට නිෂ්පාදනය කරන බත් ඇටයේ සිට මෙරට ජනතාව පාරිභෝජනය කරනුයේ වසය. පිටරටවල කුණු ගෙනැවිත් රසායනික භාවිතයෙන් අලුත් කර නව ඇසුරුම් යටතේ මෙරට වෙළෙඳ පොළට නිකුත් කරනුයේ ද වස සහිත ආහාරය. මේ රටේ මිනිසුන් කන තරමක් කන්නෙ වසය. ‘ලොව වැඩිම විස සහිත ආහාර පරිභෝජනය කරන තුන්වැනි රට මෙරට’ බව ජාත්‍යන්තර සමීක්‍ෂණයකින් ද ඔප්පු වී තිබේ. සාර භූමි ලංකා බයෝ ප්‍රඩක්ට් පර්යේෂණ, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය හෝමාගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිළිබඳ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ බව අනාවරණය විය. වස පරිභෝජනයට කප් ගසා ඇති රටක පිළිකා, දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය ආදී බෝ නොවන රෝග වැඩිවීම අරුමයක් නොවේ. ලෝකයේ දියවැඩියා රෝගීන් වැඩි ම රටවල් අතර මෙරට ඉදිරියෙන්ම සිටින බව ද වාර්තා වේ. බෝ නොවන රෝගයක් නොමැති කෙනෙක් සොයාගැනීමට නොහැකි තරමට රෝගීන් වර්ධනය වී තිබේ.

රටක්, ජාතියක් විනාශ කිරීමට යුද වැදීමට අවශ්‍ය නැත. ලේ සෙලවීමක් නොකර මරණයට පත්කිරීමේ අති බිහිසුණු කුමන්ත්‍රණය ගැන ජාතියක් වශයෙන් අප තේරුම්ගත යුතුය. කල්මුණේ තොග ගබඩාවක දී පරණ කොත්තමල්ලිවලට විස සල්ෆර් කුඩු කලවම් කළේ කවරහු ද? ඇළකන්ද කුණු ආහාර ගබඩාවේ අයිතිකරු කවරහු ද? මෙරටට ආහාර ආනයනය කරන බහුතරය කවරහු ද? මෙරට වගාවට රසායනික භාවිතය හඳුන්වා දෙමින් එය කළමනාකරණය කරගෙන යන්නේ කවරහු ද? සිහිබුද්ධියෙන් සොයාබලනවිට කුමන්ත්‍රණයේ බරපතළකම තේරුම් ගැනීමට අපහසු නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment