යුගයට නොගැළපෙන ගොවි කම්කරු අරගල…වෘත්තීය සමිති සටන් ගැනත් අලුතින් සිතිය යුතුයි!

276

සංවාදයට විවෘතයි

● අරගල බිහිවීම

අරගල යන වචනය මෑතක දී ජනප්‍රිය වූයේ ඒ මගින් සිදුවූ දේශපාලන පරිවර්තන නිසා ය. ජනතා අරගලයක් තුළින් බලවත් රජයක් හෝ දණ ගැස්විය හැකි බව ශ්‍රී ලංකාවේ මෑතක දී සිදුවූ ජන අරගලය කලින් පමණක් නොව, බොහෝ ජාත්‍යන්තර අත්දැකීම් මගින් පවා සනාථ වී ඇත. පසුගිය දින සිදුවූ අරගලය තුළ බොහෝදුරට තරුණ මැදිහත්වීම ද කැපී පෙනුණු අතර අරගලයත් මගින් බොහෝ සමාජ, දේශපාලන හා ආර්ථික පෙරළියක් ද සිදුකළ හැකි බවට මතයක් ද සමාජ ගතවිය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ අරගල ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය තුළ සිදුවූ අරගල විශ්ලේෂණය කිරීම තුළ පෙනී යන්නේ අරගල තුළින් බලාපොරොත්තු වූ බොහෝ අභිමතාර්ථවලට වඩා වෙනස් වූ ප්‍රතිඵල ද සමාජයට දායද කොට ඇති බවයි. බොහෝදුරට අරගල ප්‍රතිවිප්ලවකාරී ප්‍රතිඵල ගෙනදුන් අවස්ථා ද බොහෝ අරගලකරුවන්ට විනාශය අත්කර දුන් අත්දැකීම් ද ඉතිහාසයට පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ අත්දැකීම් ද සමග සාකච්ඡා කිරීමේ දී අරගල බොහෝදුරට කම්කරු හෝ ගොවි ධීවර ආදී සංවිධාන සංස්කෘතිය හා බැඳී පවතී. පසුගිය දින ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ අරගලය සමග හා එයට සමගාමීව ගොවි කම්කරු අරගල රැල්ලක් ද බිහිවිය. මේවා බොහෝදුරට ගොවියන්ට, කම්කරුවන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද මුහුණ දීමට සිදුවූ අපහසුතාවයන් සමග සබඳතාවයක් දැක්වීය. කාබනික පොහොර ගැටලුව මත මෑතක දී නිර්මාණය වූ අරගලය, ගොවි පන්තියට අමතරව රාජ්‍ය හා රාජ්‍ය නොවන කම්කරු පන්තිය දක්වා ව්‍යාප්ත විය. ඩොලර් අර්බුදය, සමග සබඳතාවයක් ඇතිවූ බොහෝ අර්බුදය ජීවන වියදම ඉහළ යෑම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම ආදී කරුණු මත ගොවි බිමෙන් ඇරඹි අරගලය කොළඹ 7 නෝනලා ද පාරට බසින තැනට දික් ගැසුණි.

● අරගලය හා දේශපාලනය

කෙසේ හෝ අරගලය මගින් දේශපාලන වෙනසක් ද සිදුවිය. දේශපාලන නායකයෙක් වෙනුවට වෙනත් නායකයෙක් බිහිවිය. ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අරගලවල ගිනි සිළු ද හෙමින් නිවී ගොස් ඇත. අරගල නිසා ගිනියම් වූ ගම් හා නගර මහා වැස්සක් වැස නිවී ගියාක් මෙන් සන්සුන් වී ඇත. වරින් වර තැනින් තැන ‘අරගලයට ජයවේවා‘ යනුවෙන් හීන් කෙඳිරිලි ඇසුණත් අරගලය අඩාල වූ බව බොහෝදුරට පුවත් පිළිගැනීමයි. කෙසේ හෝ ජනතාවට සහනයක් ලැබීම තුළ ජනතාව අරගලයෙන් ඈත්වූ බව යථාර්ථය යි. මේ සඳහා අරගලය දේශපාලන බල අරගලයක් වීම දක්වා යෑමට තිබූ මාර්ග අලස ප්‍රජාතන්ත්‍රවාදය මගින් හීලෑ කරනු ලැබ ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් නිර්මාණය වූ පාර්ලිමේන්තුව බල අරගලය අබිබවා අරගලය අළු යට ගිනි බවට පත්කර ඇත. එහෙත් අරගලය තවදුරටත් ලැබෙන අවස්ථාවලින් එළියට ඒම නොවැළැක්විය හැකි වනු ඇත. එය එලෙස කිව හැක්කේ අරගල සඳහා බොහෝ කරුණු එදිනෙදා නිපදවීමට දුර්වල වූ පරීක්‍ෂණය හා දේශපාලනය අනිවාර්ය හේතුවක් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ගොවි කම්කරු අරගල බොහෝදුරට විවිධ වූ ඉල්ලීම් දිනාගැනීම සඳහා වූ කරුණු කාරණා සමග බැඳී පවති. කිසියම් ඉල්ලීමක් ඉටුවූ පසු වෙනත් ඉල්ලීමක් ඉදිරියට පැමිණේ. එසේ නොවන්නේ නම් වෙනත් මතවාදී කරුණක් මත හෝ ගොවි කම්කරු අරගල ඉදිරියට පැමිණේ.

ශ්‍රී ලංකාවේ වෘත්තිය සමිති මෙන්ම ගොවි සංවිධාන ව්‍යාපාරය ද බොහෝදුරට දේශපාලනීකරණය වී ඇති බැවින් ඒ සඳහා දේශපාලන සංවිධාන ව්‍යුහයක් වෙනම නිර්මාණය වී ඇත. ගොවීන් සංවිධානය කිරීමට හෝ ධීවරයන් සංවිධානය කිරීමට හෝ කම්කරුවන්, වෘත්තිකයන් සංවිධානය කිරීමට වෙනම අංශ හෝ කාඩර්වරු දේශපාලන පක්‍ෂ විසින් යොදවා ඇත. බොහෝදුරට ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ හේතුවක් ඇතිව හෝ හේතුවක් මවා පාමින් කුමක් හෝ ඉල්ලීමක් මුල්කරගෙන විරෝධතා දැක්වීමයි.

මෙම විරෝධතා දැක්වීම් ද දීර්ඝ කාලයක් තිස්සේ ඒකාකාරී ක්‍රමයක් මත පවත්වාගෙන යනු ලබයි. පිකටිං තිබීම, වැඩවර්ජනය කිරීම, පන්දම් දැල්වීම, පත්‍රිකා බෙදීම ආදී සාම්ප්‍රදායික විරෝධතා දැන්වීම් බෝවෙන රෝගයක් ලෙස පසුගිය දිනවල ව්‍යාප්තවී දේශපාලන ශක්තිය පෙන්වීමේ තරගකාරී බවක් ද අරගලවලට මුසුවිය. විරෝධතා දැක්වීමට පැමිණෙන පිරිස් ශක්තිය තක්සේරු කිරීම මත දේශපාලන පක්‍ෂවලට පවතින ජනමතය පිළිබඳ තක්සේරුව අරගල මගින් පෙන්විය.

● ඉඟුරු දී මිරිස් ගත් අරගලය

පසුගිය දින පැවැති අරගලයන් මගින් සිදුවූ වෙනස අරගලය මගින් බලාපොරොත්තු වූ දෙයම නොවේ. ඔවුන් අරගලය මගින් පූර්ණ දේශපාලන වෙනසක් අපේක්‍ෂා කළත් අටපට්ටම් හැඩයක්වූ ආණ්ඩුව රවුම් හැඩයකින් නැවත කරළියට පැමිණීම අරගලයේ ප්‍රතිඵලය විය. මේ පිළිබඳ බොහෝ විචාරවල මෙයට සිදුවීම් දෙස බැලීමේ දී පෙනී යන්නේ පැවැති රජය ම වෙනස් අයුරකින් අරගල සඳහා වැටවල් බඳිමින් සිටින බවයි. බොහෝ දේශපාලන විචාර අනුව මෙම අරගලය මෙන්ම අර්බුදය ද නිර්මාණය කරනු ලැබූ එකකි. වංචාවට හෝ දූෂණයට පැවැති විරෝධය හා අරගලය තුළින්ම නැවත ඒවා ආරක්‍ෂා කිරීමට යටත් වූ බවයි. දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ සමාජයේ හා ආර්ථිකයේ තිබූ දූෂණය, වංචාව හා ඒ සම්බන්ධිත බලවේග ඒකාබද්ධතාවයකින් ක්‍රමෝපායික පක්‍ෂ අරගලය තම වසඟයට ගෙන ඇති බවත්ද විචාරශීලීව සලකා බැලීමේ දී නිරීක්‍ෂණය වන කරුණකි. මෙය බොහෝ විචාරකයන් විසින් හඳුන්වන ‘අර්බුදය ධනවාදයේ’ ගති ලක්‍ෂණ සෑම අතින්ම පෙන්වනු ලබයි. අර්බුදය විසින් නිර්මාණය කළ අරගලය කූට දේශපාලන ක්‍රමෝපායන් මගින් මෙල්ල කිරීමට කටයුතු කර ඇති බව මෑත ඉතිහාසයේ සිදුවීම් හ අරගලයේ අත්දැකීම් ඒකාබද්ධව විමර්ශනය කිරීමෙන් පෙනී යන යථාර්ථයයි. දීර්ඝකාලීනව ඩීල් දේශපාලනය විසින් බිහිකරනු ලැබූ දේශපාලනික ධනවාදය ඒකාබද්ධව අරගලය තම පැවැත්ම හා ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රමෝපායිකව යොදා ගත් බවද නිරීක්‍ෂණය වන කරුණකි.

● අරගල ජනතා සහායෙන් ඈත්වීම

දීර්ඝකාලිනව ශ්‍රී ලංකාවේ වැඩබිම්වල පැවැති අරගල හා වෘත්තිය ක්‍රියාමාර්ගවලින් මහජනතාව පීඩාවට පත්වූ බව සමාජ පිළිගැනීමයි. සමහර ජනතාවට එදිනෙදා ජීවිතයට දැනෙන සේවාවන් අඩපණ වීම තුළ පොදු සමාජය අරගලය හෝ නිරන්තර වෘත්තීය ක්‍රියා මාර්ග පිළිබඳ අයහපත් සමාජ ආකල්පයක් නිර්මාණය කරනු ලැබීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, තැපැල්, දුම්රිය, ගමනාගමන ආදී ක්‍ෂේත්‍රවල නිරන්තරව පැවැත්වූ අරගල බොහෝදුරට සුළු කරුණු කාරණා මත ද පදනම් විය. පවතින නීතිමය හෝ ආර්ථික කරුණු කාරණා මත ඉටුකළ නොහැකිවූ ඉල්ලීම් ආදිය මුල්කරගෙන දිගු කලක් පවත්වාගෙන යන අරගල ක්‍රියා මාර්ග අවසන් වන්නේ විසඳුමකින් තොරවය. කෙසේ වුවද ඉල්ලීම් ඉටුවීම හෝ ඉටුනොවීම අරගල හෝ වෘත්තීය ක්‍රියා මාර්ග අවම කිරීමට හේතුවක් නොවීය.

දේශපාලන තීන්දු තීරණ නිසා ඇතිවූ ආර්ථික අර්බුදය සඳහා පුළුල් ජනතා සහායක් ලැබුණේ නව අර්බුදයත් ජනතාවගේ එදිනෙදා ජීවිතයට දැනෙන කරුණක් වූ බැවිනි. එම ජනතා සහාය මත බිහිවූ සමාජ සහාය අරගල දේශපාලනය විසින්ම අවමකර ගනු ලැබ ඇත. මහා ආර්ථික අර්බුදයකින් එළියට ඒමට ප්‍රයත්නයක් හෝ නායකත්වයක් අවශ්‍ය බව සමාජය තේරුම් ගැනීමත් සමග අරගල දේශපාලනයට සමාජ සහාය අවම වන්නේ ඒවාද ජනතාවට පීඩාවක් ඇතිකරනු ලබන බව සමාජයේ පැවැති පිළිගැනීම නිසාය. මහා ප්‍රපාතයකට වැටුණු සාමාන්‍ය ජනතාවට කුඩා හෝ සහනදායී පියවරයන් පිළිබඳ ජනතා කැමැත්ත දේශපාලන හා වෘත්තීය අරගල පසු බැසීමට හේතු කාරණා විය. එබඳු ජනතා අකමැත්ත ද ප්‍රයෝජනයට ගනිමින් අරගල හෝ වෘත්තීය ක්‍රියා මාර්ග ශුන්‍ය කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය සඳහා සමාජ සහායක් ලැබුණි. එම සබඳතාවය අරගල හෝ වෘත්තීය ක්‍රියා මාර්ග අවම වූ වර්තමාන පසුතලය නිර්මාණය කරනු ලැබ ඇත. කාලයක් තිස්සේ හේතුවක් ඇතිව හෝ මවාගත් හේතුමත නිරන්තරව පැවැති අරගල හා වෘත්තීය ක්‍රියා මාර්ග පිළිබඳ බහුතර ජනතාවගේ තිබූ අකමැත්ත වෘත්තීය අරගල අඩපණ කිරීම සඳහා රජයට සහායක් හෝ උපකාරයක් විය.

● ගතානුගතික වෘත්තීය අරගල

ශ්‍රී ලංකාවේ වෘත්තීය අරගල බොහෝදුරට ඉල්ලීම් මානසික්තවයන් හා බැඳී පවතී. වෘත්තීය සමිති ව්‍යාපාරයක් හෝ මතවාදයක් සමග මුලදී වාමාංශික දේශපාලන මතවාදයන්ගේ මුසුවක් විය. තමා සේවය කරන ආයතනයේ ප්‍රභල වෘත්තීය සමිතියකට සාමාජිකත්වය ගැනීම තුළ තමාට කිසියම් ආරක්‍ෂාවක් ඇතිය යන හැඟීම සේවකයා තුළ ඇතිවේ. ඒ අනුව ඔවුන් කිසියම් වෘත්තීය සමිතියකට බැඳේ. තම වැඩපළේ ශක්තිමත් වෘත්තීය සමිතියට බැඳීම සඳහා බොහෝදුරට පෙළඹවීම් ද සිදුවේ. ඒ සඳහා ඒ ඒ දේශපාලන පක්‍ෂවලට අදාළ කාඩර්වරු තම පිරිස වැඩිකර ගැනීම සඳහා කැපවීමකින් කටයුතු කරයි. ඒ අනුව අද දේශපාලන පක්‍ෂයට සම්බන්ධ වෘත්තිය සමිතිය හෝ සංවිධානය විශාල බවක් හෝ ශක්තිමත් බවක් පෙන්වයි. මෙම ශක්තිය පෙන්වීම සඳහා සියලු වැඩබිම් හෝ ගොවි බිම් ආවරණය වන පරිදි ඒකාබද්ධ වෘත්තීය සංවිධාන පාලනයක් ද බිහිවී ඇත. ඒ තුළින් තම වෘත්තියට අදාළ කරුණක දී පමණක් නොව වෙනත් වැඩබිමක හෝ වෘත්තියක කරුණු කාරණා සඳහා ද වෘත්තීය සමිති සහයෝගය වර්ධනය වී ඇත. බොහෝදුරට මෙම වෘත්තීය සංවිධානවල ඉහළම නිලතල දැරීම සඳහා ආයතනයේ හෝ වෘත්තියේ නියැළී ඇති අය නොව දේශපාලන පක්‍ෂය විසින් නම් කරනු ලබන දේශපාලන නායකයන් වේ. එබඳු නායකතක්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නොව අදාළ දේශපාලන සංවිධානවල වුවමනාව මත සිදුවේ. කම්කරු සංවිධානවල මෙන්ම ගොවි සංවිධානවල ද ඉහළම නායකත්වය දේශපාලන අරමුණු සඳහා වෘත්තීය සමිතිය හෝ ගොවි සංවිධානය මෙහෙය වීම බොහෝදුරට දේශපාලන අරමුණු හා අභිප්‍රායන් සමග ද ගැට ගැසී ඇත.

එම ගති ලක්‍ෂයට මෙම වෘත්තීය සමිති සඳහා ගතානුගතික ප්‍රවේශයක් නිර්මාණය කර ඇත. සාමාජිකත්වයෙන් විශාල පිරිසක් අදාළ දේශපාලන මතය පිළිනොගන්නා අතර වෘත්තිය සමිතියේ සාමාජිකත්වය දරයි. මෙම ගති ලක්‍ෂණය වෘත්තිය ක්‍රියා මාර්ග අඩපණ කිරීමට ද අනෙක් අතට හේතුවක් වේ. හදිසි නීතිය හෝ අත්‍යවශ්‍ය සේවයක දී වෘත්තිය ක්‍රියා මාර්ග අඩපණ කිරීම ගැතිවන්නේ අයිතිවාසිකමට වඩා රැකියාව බේරා ගැනීමේ අවශ්‍යතාවයට සේවකයා ප්‍රමුඛතාවය ලබාදෙන බැවිනි. අවසානයේ දී වෘත්තිය සමිති දේශපාලන නායකත්වය අසරණ භාවයට පත් වීමට අධික ලෙස දේශපාලනීකරණයට ලක්වූ වෘත්තිය සමිති ව්‍යාපාරයට සිදුවී ඇත.

වෘත්තිය සමිති විසින් ගෙන යනු ලබන ගතානුගතික බොහෝ ක්‍රියාමාර්ග ද වෘත්තිය සමිති ශක්තිය හා පොදු පිළිගැනීම අඩු කිරීමට හේතුවී ඇත. නිරන්තරව වැඩවර්ජන, පිකටිං, පෙළපාලි යෑම් ආදිය පිළිබඳ පවතින අඩු සමාජ ප්‍රසාදය මෙන්ම සාමාජිකයන් නිරන්තරව ඒ සඳහා යොදවා ගැනීම ද වෘත්තිය සමිතිවලට අභියෝගයකි. මෙම අභියෝගයන් ද සාම්ප්‍රදායිකි වෘත්තිය සමිති ව්‍යාපාරය අඩපණ කිරීමට හේතුවනු ඇත. ඒ අනුව රජයක් විසින් ගනු ලබන මර්දනකාරී යැයි වෘත්තිය සමිති විසින් ම හඳුන්වනු ලබන ක්‍රියා මාර්ග සඳහා සමාජ සහාය මෙන්ම වෘත්තිය සමිතියේ බහුතර සාමාජිකත්වය ද නිහඬ සත්‍යය පළ කරයි.

● වෘත්තීය අරමුණු කාලෝචිතව නිර්මාණය කිරීම

බොහේ දියුණු බටහිරට සමාජයන්හී වෘත්තිය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ වැඩවර්ජන පිකටිං හෝ මාර්ග අවහිර කිරීමේ ක්‍රියා මාර්ගවලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ශ්‍රී ලංකාවේ අතිශයින්ම දේශපාලනීකරණය වූ වෘත්තිය ක්‍රියා මාර්ග ඉල්ලීම් දිනාගැනීම හෝ ‘දියව්’ මතවාදයන් මත ගොනුවී ඇත. අදාළ ආයතනය හෝ රජය වෘත්තීය සමිතිය විසින් කේවල් කරනු ලබන ඉල්ලීම් ලබාදීමට බැඳී සිටිය යුතු යැයි අප දේශපාලන පක්‍ෂය හෝ වෘත්තිය සමිතිය අපේක්‍ෂා කරයි. එසේ නැත්නම් වෘත්තිය ක්‍රියාමාර්ගවලින් අදාළ ආයතනයේ කටයුතු අඩපණ කළ හැකි බව හෝ රජය පවා දණ ගැස්විය හැකි බව වෘත්තිය සමිති ව්‍යාපාර නායකයෝ කල්පනා කරයි. ඉල්ලීම් ලබාදීමට ආයතනයට හෝ රජයට නොහැකි වුවත් එය කෙසේ හෝ දිය යුතු බව වෘත්තිය සමිතියේ ඉල්ලීම් වේ. ඒ අනුව ආයතනය පාඩු ලැබුවත් බෝනස් දිය යුතුය. සේවකයන් අස් නොකළ යුතුය. වැරදි කළත් සමාජයෙන්ම විනය ක්‍රියා මාර්ග නොගත යුතුය, පාඩු ලැබූවත් වැටුප් දීමනා අතිකාල ලබාදිය යුතුය. යනාදී ඉල්ලීම් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති භාවිතයන් තුළ පවතී. ඒ සඳහා සමහර ගතානුගතික හා යල්පැන ගිය කම්රකැ නීති ද ශ්‍රී ලංකාවේ ගතානුගතික වෘත්තිය ක්‍රියා මාර්ග සඳහා සහාය වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ බොහෝ ආයතන පිරිහී ඇත්තේ හා පාඩු ලබන මට්ටට පත්වී ඇත්තේ ඒවා දේශපාලනික වශයෙන් වැඩිදුර සේවකයන් බඳවා ගැනීම, හිතවත්කම් ආදිය මත කළමනාකරණය දේශපාලන සබඳතා මත තීරණ ගැනීම ආදී කරුණු කාරණා මතවේ. බොහෝ ආයතනවලට සේවකයන් විශාල වශයෙන් බඳවා ගැනීම් නොකළ යුතු බව අදාළ ආයතනික වෘත්තිය සමිතිය දැනුවත් වුවත් ඔවුන් ඒ සඳහා විරද්ධ නොවේ. එයට හේතු වන්නේ අදාළ පිරිස් තම වෘත්තිය සමිතියට බඳවා ගැනීමට ඇති අවශ්‍යතා ද පදනම් කර ගනිමිනි. ආයතනයේ සේවකයන් වැඩිවීම වෘත්තිය සමිතිය පෝෂණය වීමට හෝ දායකත්ව මුදල වැඩිකර ගැනීමට හේතුවක් බැවින් එහිදී ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

දියුණු ආර්ථිකයක වෘත්තිය සමිති ආයතනයේ වර්ධනය හා පැවැත්ම සමග සබඳතාවය පවත්වයි. ඒ සඳහා යුගයට ගැළපෙන පරිදි කම්කරු නීති සඳහා වෘත්තිය සමිති සහයෝගය ලබාදී ඇත. බොහෝදුරට ආයතනයේ කළමනාකරීත්වය හා වෘත්තිය සමිති නායකත්වය ඒකාබද්ධව හෝ සහයෝගයෙන් කටයුතු කරයි. ප්‍රතිපත්ති නිර්මාණය හා කළමනාකරණය සඳහා වෘත්තිය සමිති දායකත්වය ලැබේ. බොහෝ කටයුතු, තීරණ ගැනීම් හා කළමනාකරණය එකඟතා ගිවිසුම් මත ක්‍රියාත්මක වේ. අදාළ එකඟතාවයන් මත ආයතනයේ හෝ ව්‍යාපාරයේ වර්ධනය සැලසුම් කරයි. එම වර්ධනයන් මත සේවක වරප්‍රසාද ප්‍රමාණය හෝ පහසුකම් තීරණය කරනු ලබයි. මානව සම්පත් කළමනාකරණය, සංවර්ධනය හෝ සැලසුම් කිරීම් වෘත්තීය සමිති එකඟතාවයන් මත සිදුවේ. එය ආයතනයේ මෙන්ම සමස්ත ආර්ථිකයේ හා සමාජයේ ම සුබසිද්ධිය හා වර්ධනයට හේතුවේ. ශ්‍රී ලංකාව වැනි සමාජයකට ද එබඳු වෘත්තීය සමිති ප්‍රතිනිර්මාණාත්මක අවශ්‍යතාවය කාලෝචිත දෙයකි.

● ගොවි සංවිධාන හා දේශපාලනය

ශ්‍රී ලංකාවේ ගොවි ධීවර ආදී සංවිධාන ද සාම්ප්‍රදායික දේශපාලන න්‍යාය පත්‍රයන්ට යටවී ඇත. සිදුවිය යුතු ඵලදායී ගොවි සංවිධාන ප්‍රවේශයක් වෙනුවට කාලයක් තිස්සේ ගොවි සංවිධාන දේශපාලන සංවිධාන ජාලයන්ට යටවීම තුළ එබඳු ක්‍ෂේත්‍රයන් තුළ ද සිදුවිය යුතු සහභාගි බව ප්‍රතිශතයන් වෙනුවට ඉල්ලීම් මානසිකත්වය එබඳු ප්‍රජාවන් තුළ ජාල විදියක් කොට ඇත. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වුවත් බොහෝ කෘෂි නිෂ්පාදන ආනයනය කරයි. කෘෂි නිෂ්පාදනවල මිල වැඩිවීම මත ජනතාවට සහන දෙන මුවාවෙන් බොහෝ රජයන් ඒවා ආනයනය කරයි. සහල් හෝ බිත්තර මෙරටට ආනයනය කරනු ලබන්නේ එම රටවල එම නිෂ්පාදන අඩු මිලට ඇති බැවිනි. එලෙස අඩු මිලට මෙරටට ගෙන එනු ලබන්නේ අද ගොවියාට හෝ නිෂ්පාදකයාට ලාභයක් ද සහිතවය. මේ සඳහා ද හේතුවන්නේ ඉල්ලීම් මානසික්තවය වෙනුවට සහභාගිත්ව හා වෙළෙඳ පොළ සබඳතාවය ගොවි, ධීවර හෝ සත්ත්ව නිෂ්පාදන අංශ සමග භාවිතයේ යෙදවීමයි.

ශ්‍රී ලංකාවේ ගොවි සංවිධාන දේශපාලන නායකත්වයන් යටතේ සංවිධානය වීම තුළ ගොවියා පුළුල් ඉල්ලීම් මානසිකත්වයට හිර කර ඇත. පොහොර, බිත්තර වී හෝ රසායනික ද්‍රව්‍ය නොමිලේ හෝ සහන මිලට ලබාදිය යුතු යැයි ගොවියා අරගලවලට යොමුකෙරේ. අනතුරුව නිෂ්පාදන සඳහා වැඩි මිලක් හෝ සහතික මිලක් ලබාදිය යුතු බවට ගොවියා පාරට බැස අරගල කිරීමට යොමුකර ඇත. එය දේශපාලනමය ක්‍රියාවකි. විශාල ගොවි රැලි හෝ විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට දේශපාලන පක්‍ෂවලට හැකිවී ඇති අතර ගොවියා එහි ගොදුරක් වී පිකටිං අල්ලන්නන් බවට පත්වී ඇත. මේ මගින්ද ගොවියාගේ ශ්‍රමය දින ගණන් අපතේ යෑම සිදුවේ.

ජපානයේ ගොවි සංවිධාන පූර්ණ ලෙසම ගොවියාගේ ආරක්‍ෂාව හා සුබසාධනය සඳහා ක්‍රියා කරයි. සෑම ගොවියෙක්ම ගොවි සංවිධානයේ සාමාජිකත්වය දැරිය යුත්තේ තරගකාරී කෘෂිකර්මාන්තයට යොමුවීම සඳහා වේ. රජයේ ප්‍රතිපත්ති සබඳතාවය කාරණා කිහිපයකදී වැදගත්වේ. ප්‍රධාන වන්නේ රජයේ වගකීම නියාමනයට සීමා වීමයි. ගොවියා හා අදාළ නිෂ්පාදකයා එබඳු සංවිධානයක සමාජිකයකු වී අදාළ කර්මාන්තය කළ යුතුය. නිෂ්පාදනය ජාතික වශයෙන් තොරතුරු පද්ධතියක් මත නියාමනය වේ. ඒ අනුව නිපදවිය ප්‍රමාණය හෝ දිරිගැන්වීම සිදුවේ. නිෂ්පාදන තත්ත්වය ඉහළ දමා ගැනීම, පොහොර බෙදා හැරීම නිෂ්පාදනය කෘෂිකාර්මික උපදෙස් වෙළෙඳ පොළ සබඳතාවය පිරිවැය අඩුකිරීම කළමනාකරණය කරනු ලබන්නේ අදාළ ගොවි සංවිධානයයි. රජයේ නියාමනයක් ඇත. වගකීම හා දායකත්වය නිෂ්පාදකයා හා අදාළ සංවිධානයේ සබඳතාවය මත සිදුවේ. එය පූර්ණ ලෙස ම වෙළෙඳ පොළ තත්ත්වයට නතුවූ ආරක්‍ෂිත කෘෂිකර්මාන්තයකි. සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයයි.

● ගොවි කම්කරු වෘත්තිය සමිති ප්‍රතිනිර්මාණය

ශ්‍රී ලංකාවේ ගොවි, කම්කරු, ධීවර හෝ වෙනත් ඕනෑම වෘත්තිමය සංවිධානයක් ඉල්ලීම් ප්‍රතිශතයන්ගෙන් බැහැර වූ සහභාගිත්ව හා එකඟතා ප්‍රතිශතයකට අවතීර්ණ වීම යුගයේ අවශ්‍යතාවයකි. ගොවියන්ගේ හා කම්කරුවන්ගේ සුරක්‍ෂිතභාවය රැඳී පවතින්නේ නිෂ්පාදනය, තත්ත්වය, පිරිවැය, ඵලදායීතාවය, සහභාගීත්වය හා වර්ධනය සමග ප්‍රතිලාභ බෙදා ගැනීම වැනි වෙළෙඳ පොළ ප්‍රවේශයන් හා බැඳුණු යථාර්ථයන් මගින් පමණි. ඒ අනුව අදාළ නීතිමය ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති ප්‍රවේශයන් මෙන්ම ආකල්පමය වෙනසක් සහති වෘත්තීය සමිති ව්‍යාපාරයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිනිර්මාණය විය යුතුය.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment