සා.පෙළ පළමු තැන සමාධිට දෙවැනියා අක්‍ෂියා තෙවැනියා හරිත

713

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක ශිෂ්‍යාවය.
දෙවැනි ස්ථානය යාපනයේ වෙම්බඩි උසස් බාලිකා විදුහලේ අක්ෂියා ආනන්දා ස්වානන්ද් ශිෂ්‍යාව ද තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් ශිෂ්‍යාද හිමිකරගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලකුණු මට්ටම වැඩි පළමු 10 දෙනා තෝරා ගැනීමේ ලයිස්තුවේ මෙම දරුවන් තිදෙනාගේ නම් ඉහළින් සටහන් වේ.

වෛද්‍යවරියක් වීම බලාපොරොත්තුවයි – සමාධි කියයි

මහනුවර මහාමායා බාලිකා විදුහලේ සමාධි රණවක සිසුවිය මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

තම දියණිය සාමාන්‍ය පෙළ කඩඉම ඉහළින්ම සමත්ව තම වගකීම පාසල හා දෙමව්පියන් වෙනුවෙන් ඉටුකර තිබෙන බවත් ගුරුවරුන්ගේ මග පෙන්වීමත් දෙමව්පියන් පීඩනයකින් තොරව නිරන්තරව ලබාදුන් ආදරයත් නිසාත් ඇය මෙම සුවිශේෂි ජයග්‍රහණය ලබාගත් බව සමාධිගේ පියා වන මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා කීය.

සමාධි කිසිදු අවස්ථාවක අධ්‍යාපන වැඩකටයුතු බරක් ලෙස නොසැලකූ බවත් මේ නිසා පාඩම් කරන්න යනුවෙන් ඇයට බලපෑම් කරන්නට කිසිදු අවස්ථාවක සිදු නොවුණු බවත් ඒ මහතා පැවසුවේය.

සමාධිගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබෙන අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහාමායා බාලිකාවේ උසස් පෙළ හදාරමින් සිටියි.

ඇය පහ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ලකුණු 171 ක් ලබා ගනිමිනි. පළමු වසරේ සිට මහාමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබ තිබෙන සමාධි පාසලේ කනිෂ්ඨ විද්‍යා සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ දී තමන්ට ඒ සාමාර්ථ 09ක් ලැබෙනු ඇතැයි අනුමාන කළත් දිවයිනේ විශිෂ්ටයා වීමට ලැබේ යැයි නොසිතූ බවත් ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හදරා අනාගතයේ දී වෛද්‍යවරියක වීම තම බලාපොරොත්තුව බවත් සමාධි පැවසුවාය.

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට විදුහල්පතිනිය ඇතුළු පාසලේ ගුරු මණ්ඩලයෙන් ද දෙමව්පියන්ගෙන් හා සහෝදරියන් දෙදෙනාගෙන් ද ලැබුණු සහාය අගය කරන බව ද ඇය කීවාය.

ඉලක්කයක් ඇතිව එදිනෙදා වැඩ එදිනම අවසන් කර විභාගයට සූදානම් වූ බවත් ඒ නිසා විභාගය ආසන්න වෙත් දී පීඩනයකින් තොරව පාඩම් වැඩ කර ගැනීමට හැකි වූ බවත් සමාධි ප්‍රකාශ කළාය.

සමාධි සිසුවිය පාසලට විශාල කීර්තියක් ගෙන දී තිබෙන බවත් විදුහල්පතිවරිය මෙන්ම පාසලේ ආදි සිසුවියක ලෙස මෙම ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බවත් මහනුවර මහාමායා බාලිකා විදුහලේ විදුහල්පති ශෂිකලා සේනාධීර මහත්මිය පැවසුවාය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment