ගාසා හි යළිත් සටන් ඇරඹේ

289

දින හතක් ක්‍රියාත්මක වූ තාවකාලික සටන් විරාමය අවසන් වීමත් සමගම ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා හා හමාස් සංවිධානය අතර සටන් ඊයේ (01) නැවත ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ ඉකුත් සිකුරාදා (24) සිට නතර කර තිබූ සටන් නැවත ඇරඹීමත් සමගම එම තීරයට හා තීරයේ සිට පිටතට රොකට් හා බෝම්බ ප්‍රහාරයන් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරවලින් කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. තාවකාලික සටන් විරාමය නතර කරලමින් ගාසා තීරයේ නැවත සටන් ඇරැඹීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය එකිනෙකාට චෝදනා එල්ල කර තිබේ.

ඉකුත් සිකුරාදා (24) දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් 100කට අධික පිරිසක් හා ඊශ්‍රායලය විසින් එරට බන්ධනාගාරවල සිටි පලස්තීන සිරකරුවන් 240 ක් පමණද නිදහස් කර තිබිණි. කටාරයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් ඊශ්‍රායල-හමාස් සටන් විරාමය මුලින් දින හතරක් ක්‍රියාත්මක වූ අතර අනතුරුව පිළිවෙළින් දින දෙකකින් හා දිනක් බැගින් දීර්ඝ කරනු ලැබීය.

මේ අතර දින හතක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය අවසන් වීමෙන් පසු නැවත සටන් ඇවිළී තිබෙන ගාසා තීරයේ සටන් විරාමයක් දිගටම පවත්වාගැනීමේ අරමුණින් කටාරය සටන් වැදී සිටින දෙපාර්ශ්වය සමග සාකච්ඡා අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉකුත් සිකුරාදා සිට ගාසා තීරයේ ක්‍රියාත්මක වූ දින හතක සටන් විරාමය ඇති කිරීමට මුල්ව කටයුතු කළේ කටාරය වන අතර ඊජිප්තුව හා ඇමරිකා එක්සත් ජනපදය ද එහි මැදිහත්කරුවන් ලෙස කටයුතු කළහ. මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට චෝදනා එල්ල කරමින් පවසා ඇත්තේ එරට හමුදාවන් ඊයේ ගාසා තීරය වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් එම තීරයේ වැසියන් 30 දෙනකු මිය ගොස් ඇති බවත් ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට සටන් විරාම කාලසීමාවේදී ඉන්ධන ප්‍රවාහනය කිරීම වැළැක්වූ බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment