නැවුම් වෙනසක් කරා නීති ප්‍රතිසංස්කරණය කරමු

104

සමගි ජනබලවේගයේ නීතිඥ සාමුහිකය විසින් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන්නට යෙදුණු නීති සැසියේදී එකඟවූ යෝජනා ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

මර්දනය මත සිවිල් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම උදෙසා කුරිරු නීති අවලංගු කිරීම

දැනට පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අහෝසි කළ යුතු ය. ඒ වෙනුවට රටේ සහ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි නව පනතක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඉදිරිපත් කළ යුතු ය.

යහපාලන සමයේ ගැසට් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වූ හොඳ පදනමක් සහිත පනතක් වේ. එය අවශ්‍ය සංශෝධන සහිතව නීතිගත කළ යුතු ය.

නිදහස් ප්‍රචාරණය සවිබල ගැන්වීම සහ මූලික අයිතිවාසිකම් සුරැකීම උදෙසා විවෘත්ත සංවාදයක් මගින් සීමාකාරී කථන නීති ඉවත් කිරීම සඳහා පෙනී සිටීම

දැනට ඉදිරිපත් කර ඇති මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත අහෝසි කර ඒ වෙනුවට අවදානමට ලක්විය හැකි කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීම සඳහා පමණක් වූ නව පනතක් ඉදිරිපත් කළ යුතු ය.

එකී පනත් කෙටුම්පත අහෝසි කරමින් ඒ වෙනුවට සත්‍ය වශයෙන් සමාජයට සිදුවන බලපෑම පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට සමාජයට හිතකර වූ නව පනතක් හඳුන්වා දිය යුතු ය.

අසත්‍ය ප්‍රචාරණයන් සම්බන්ධව හා අපහාසාත්මක ප්‍රකාශ කරන අවස්ථාවන්හිදී එයින් අගතියට පත් තැනැත්තන් සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට ඇති අයිතිය තහවුරු කළ යුතු ය.

සත්‍ය හෙළිදරව් කිරීම යුක්තිය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වැඩි දියුණු කිරීම සහ වේගවත් කිරීම

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශන නැවත ආරම්භ කිරීමට සහ 2019 නොවැම්බර් මසට පෙර අදාළ විමර්ශන සිදුකළ නිලධාරීන් හරහා නැවත එම විමර්ශන ආරම්භ කිරීමට පියවර ගත යුතු ය. මෙතෙක් කර ඇති පරීක්ෂණ වලින් ඉදිරිපත්කර ඇති සාක්ෂි විනාශ කිරීම සඳහා කිසියම් තැනැත්තකු පියවර ගෙන ඇත්නම් ඔවුන් සඳහා නීත්‍යනුකූලව දඬුවම් ලබාදිය යුතුය.

සොරාගත් ජාතික වත්කම් නැවත ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු අධීක්ෂණය යටතේ අන්තර්ජාතික සහයෝගීතාවයෙන් වැඩි දියුණු කළ විමර්ශන උපාය මාර්ග

මෙරටින් අනීතික ලෙස බැහැර කරන ලද සහ සොරකම් කරන ලද මහජනයාගේ මුදල් නැවත මේ රටට ගෙන ඒම සඳහා මින් පෙර විමර්ශන කටයුතු කළ නිලධාරීන් නැවත එම කටයුතුවල යෙදවීමට කටයුතු කිරීම, ඒ සඳහා අතිරේක නිලධාරීන් යොදවා අදාළ විමර්ශන කටයුතු වේගවත් කිරීම, එකී විමර්ශන කටයුතු අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන ලෙස අදාළ විෂය පිළිබඳ දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කිරීම කළ යුතු ය. එසේ වුවද එකී මණ්ඩලය එම පරීක්ෂණ ධෛර්යමත් කිරීම පමණක් කළයුතු වේ.

හෙළි නොකළ වත්කම් දරා සිටින සියලු පුද්ගලයන්ගේ වත්කම් නිසි විමර්ශන හරහා අධිකරණයේ අධීක්ෂණය යටතේ රාජසන්තක කිරීම සහ ඒ සඳහා අවශ්‍ය වන නව නීතී ජන්දයෙන් මාස 6 ක් ඇතුළත සම්මත කළ යුතු ය.

එවැනි නඩු වසරක් තුළ අවසන් කිරීමට කටයුතු කළ යුතුය. අදාළ පාර්ශ්වයේ නීතිඥ මහතාගේ අසනීප තත්ත්වයක් මත මිස නඩු කල් දැමීම සිදු නොකළ යුතුය.

වගකීම සහ ස්වාධීනත්වය පෝෂණය කිරීම වෙනුවෙන් අපක්ෂපාතීත්වය සහ ඵලදායී බව සහතික කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම

පොලිස් කොමිසම, අල්ලස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම සත්‍ය වශයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොර ස්වාධීන ඒකක බවට පත් කළ යුතු ය. ඔවුන් දේශපාලන සම්බන්ධතාවලින් තොර ස්වාධීන පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් කුසලතා පදනම මත පත් කළ යුතු ය.

අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලක් සම්බන්ධයෙන් මාස 3 ක කාලයක් තුළ අදාළ විමර්ශන කළ යුතුය. තවදුරටත් අදාළ විමර්ශන සඳහා කාලය අවශ්‍ය නම් අදාළ මහෙස්ත්‍රාත්වරයගෙන් නිසි අනුමැතිය ලබා ගත යුතු ය. එසේ වුවද එකී ආකාරයෙන් වැඩිමනත් දින ලබාගන්නේනම් එම කාල වකවානුව උපරිමය මාස 3කට වඩා නොවැඩි විය යුතුය. අධිචෝදනා මාස 6 ක් තුළ ගොනු කළ යුතු අතර රුපියල් මිලියන 5 කට වඩා වැඩි නඩු විනිසුරුවන් තිදෙනකුගෙන් සමන්විත විනිශ්චය සභාවක් ඉදිරියේ දිනපතා නඩු විභාගය සිදු කළ යුතුය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරන් තාවකාලික මහාධිකරණ විනිසුරන් ලෙස එවැනි නඩු විභාග කිරීම උදෙසා යොදාගත හැකිය.

උපදේශන සම්බන්ධයෙන් විශේෂඥ වෘත්තීය සංගම්වලින් (නීති, ඉංජිනේරු, වෛද්‍ය, ගණකාධිකාරී ආදී වෘත්තීන්) ලබාගන්නා අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් බඳවා ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් CIABOC හරහා සැපයිය යුතුය.

සියලුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒ සමාන පදනමක් මත සහ වැඩිමනත් වසරක කාලයක් තුළ අවසන් කළ යුතු අතර සහ වසරක කාලයක් තුළ ඒ හා සමානව අධිචෝදනා ගොනු කළ යුතුය.

අල්ලස් කොමිසම විසින් එම කොමිසමට ලැබුණු පැමිණිලි, විමර්ශන අවසන් කර ඉදිරිපත් කරන ලද අධිචෝදනා පිළිබඳව වාර්තා කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ සභාගත කළ යුතුය.

ව්‍යාපෘති ඇගයීමකින් තොරව සාධාරණීයකරණයකින් තොරව ඇමරිකානු ඩොලර් මිලියන 1 ඉක්මවූ අනවශ්‍ය යෝජනාවලට සම්බන්ධ සියලුම තරාතිරම්වල සිටින සියලු දේශපාලනිකව තේරී පත්වූ හෝ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පුද්ගලයන්ට අල්ලස් හා දූෂණ නීතිය යටතේ චෝදනා එල්ල කළ යුතු ය.

අදාළ පුද්ගලයන් රාජ්‍ය නිලධාරීන් නම් ඔවුන් අමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කළ බව නිදහසට කරුණක් නොවිය යුතු ය. ඔවුන් ජීවත් වන නිවස සහ ඔවුන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය හැර ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමට ද යටත් වනු ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති මාස 6 ක් තුළ නීතිගත කළ යුතු ය. එසේ ආරම්භ කරන ලද සියලු ව්‍යාපෘති, සුදුසුකම් ලත් වෘත්තීය නිපුණයන් මගින් නැවත ඇගයීම සිදු කළ යුතු අතර ඒ මගින් අදාළ ව්‍යාපෘතියේ අරමුණ සහ ඒ සඳහා සිදුකරන ලද වියදම් සහ වැය සලකා බැලීම සිදු කළ යුතු ය.

සියලුම කොමසාරිස්වරුන් වරෙන්තුවට අත්සන් නොකිරීම හෝ කිසිදු පදනමක් නොමැතිව ඉල්ලා අස්කර ගැනීම යන පදනම මත අල්ලස් කොමිෂම විසින් ඉල්ලා අස්කර ගන්නා ලද සියලුම නඩු නැවත පැවරිය යුතුය.

ගිණුම්ගත නොකළ වත්කම් ඇති සියලු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් තහවුරු කර ගත යුතු අතර CIABOC යටතේ නීතිමය ක්‍රියාමාර්ග තුළින් ඔවුනට නඩු පැවරිය යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට සහතික වීම

ආර්ථික වර්ධනය පරිවර්තනය කිරීම උදෙසා ආයෝජන මණ්ඩලය නැවත සකස් කිරීම සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව සහ ගෝලීය තරගකාරීත්වය සඳහා ආයෝජන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වූ සැලැස්මක්

රට තුළ සිදුකරනු ලබන ආයෝජන සඳහා වන අනුමැතීන් ලබාගැනීමට සරල සහ තාර්කික ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු ය. වරාය නගරය සහ ආයෝජන මණ්ඩලය ඒකාබද්ධ කළ යුතු අතර ඒ සඳහා ආයෝජන මණ්ඩල පනත අහෝසි නොකර, සංශෝධන සිදු කිරීම මගින් එහි කාර්යක්ෂමතාව සඳහා පූර්ණ බලතල ආයෝජන මණ්ඩලය වෙත ලබා දිය යුතු ය.

ඒ තුළින් එම පනත් වෙත දැනටමත් පැවරී ඇති අධිකාරී බලය ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇත. ආයෝජන මණ්ඩල පනතේ බී උපලේඛනය පුළුල් කරමින් පළාත් පාලන ආයතන, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයල ලංකා විදුලි බල මණ්ඩලය, රේගු දෙපාර්තමේන්තුව, විනිමය පාලන කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඉඩම් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළත් කරමින් එකී පනත හරහා ලැබී ඇති අධිකාරී බලය ආයෝජන මණ්ඩලය වෙත පවරමින් එකී පනත සංශෝධනය කළ යුතු ය.

මේ තුළින් රට තුළ ආයෝජන කිරීමට බලාපොරොත්තුව වන ආයතන සඳහා අවශ්‍ය අනුමැතීන් එකී ආයතන වලට සති 2 ක් වැනි කාලයක් තුළදී ලබා දිය යුතු වේ.

එකී ආයතන විසින් අදාළ අනුමැතීන් සති දෙකක කාලයක් තුළ ලබා නොදෙන විටකදී එම අවශ්‍ය අනුමැතීන් ලබාදීමේ වගකීම ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වෙත පැවරේ.

අදාළ අනුමැතිය හෝ ප්‍රතික්ෂේප කිරීම සති 2 ක් ඇතුළතදී ආයෝජන මණ්ඩලය විසින් ආයෝජකයා වෙත දන්වා නොමැත්තේ නම් අදාළ අනුමැතීන් ලබා දුන්නා සේ සැලකිය යුතුය.

අදාළ අනුමැතීන් ලබා දුන් පසු එකී අදාළ ආයතන විසින් එකී අනුමැතීන් බලාත්මක කර ක්‍රියාත්මක නොකළේ නම් එකී නොකර හැරීම අල්ලස් හා දූෂණ පනත යටතේ වන දූෂණ ක්‍රියාවක් ලෙස සැලකිය යුතු ය.

සියලුම අනුමත කිරීමේ ක්‍රියාවලීන් මාර්ගගත ක්‍රමයට සිදු කළ යුතු අතර අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒවා අධීක්ෂණය කළ යුතු ය. ආයෝජකයන් මුහුණට මුහුණ හමුවීම මෙයින් වැළකිය යුතු ය.

එවැනි කාර්යපටිපාටියක් උල්ලංඝනය කිරීම දූෂණ ක්‍රියාවක් වන අතර ඒ අනුව අවශ්‍ය පියවර ගත යුතුය.

ආයෝජන මණ්ඩල පනතේ 16 හා 17 වගන්ති ප්‍රකාරව ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්වලට එළඹ රට තුළ සිදු කර ඇති සියලු විදේශ ආයෝජන ආරක්ෂා වන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව ද සංශෝධනය කළ යුතු ය.

සියලු පෞද්ගලික ආයෝජන ආරක්ෂා කළ යුතු අතර එකී දේපළ සහ/හෝ ආයෝජන රජයට පවරා ගැනීමෙන් නිදහස් කළ යුතු ය. මෙතෙක් කිසියම් ආකාරයකින් හෝ පවරාගෙන ඇති දේපළ වේනම් ඒ සඳහා වන්දි නොදී රාජ්‍යයට පවරා ගෙන ඇති සියලු දේපළ නැවත පුද්ගලික හිමිකරුවන්ට ලබා දිය යුතු ය. ඒ බව සනාථ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ/හෝ නීතිමය ප්‍රතිපාදන සැලසිය යුතු ය.

ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි සියලු ව්‍යාපෘති සඳහා පාරදෘශ්‍ය ලෙස ලෝක ව්‍යාප්ත මට්ටමින් ටෙන්ඩර් කැඳවිය යුතු ය.

ව්‍යවස්ථාමය පරිණාමය මගින් ඵලදායී පාලනයක් සහ නියෝජනයක් සහතික කිරීම සඳහා ජනාධිපති අගමැති සහ පාර්ලිමේන්තු භූමිකාවන් සඳහා නවීන විධිවිධාන සැකසීම

ජනාධිපතිවරණයට තෙවරක් තරග කළ අපේක්ෂකයකු නැවත තරග කිරීම තහනම් කළ යුතු ය.

වරක් රටේ ජනාධිපති වූ අයෙකුට ඔහුගේ ධුර කාලය අවසන් වූ පසුව නැවත පාර්ලිමේන්තුවට පත් වීමට ඉඩ ලබා නොදිය යුතු ය.

සියලු පෙර සිටි ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට කිසිදු විශ්‍රාම වැටුප්, වරප්‍රසාද, නිවාස ආදී කිසිවක් ලබා නොදිය යුතු ය.

ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට නම් වර්තමානයේ හෝ පෙර පාර්ලිමේන්තු සාමාජිකයකු විය යුතු ය.

දේශපාලකයන්ගේ පවුලේ සාමාජිකයන්ට දැනට ධුරය හොබවන දේශපාලකයාගේ ධුර කාල සීමාව අවසන් වීමෙන් පසු අවුරුද්දක කාලසීමාවක් තුළ දේශපාලනයට සම්බන්ධ වීමට ඉඩ ලබා නොදිය යුතු ය.

සමගි ජනබලවේගයේ නීතිඥ සාමූහිකය ගෙනෙන යෝජනාවලියෙන් උපුටා ගැනිණි. මේ සඳහා වූ සැසියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ් අලගරත්නම්, ආචාර්ය සුනිල් කුරේ, ආසියාතික නීතිඥ සංගමයේ සභාපති ශ්‍යාම් ඩිවාන්, ඉන්දීය නීතිඥ සංගමයේ සභාපති ප්‍රසන්ත් කුමාර් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ හිටපු සභාපති ශාන්තාන් ක්‍රිෂ්ණන් අදහස් දැක්වූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේය.

ඉතිරි කොටස හෙට …

advertistmentadvertistment
advertistmentadvertistment