කෙහෙළියට ඇප නෑ – 29දා තෙක් යළි රිමාන්ඩ්

457

බන්ධනාගාරයෙන් දුන් වෛද්‍ය වාර්තා උසාවියෙන් පිළි නොගනී

චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනාත් ඇතුළට

අද විධිමත් වෛද්‍ය වාර්තා දෙන්නැයි නියෝග

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (15 දා) රාත්‍රියේ නියෝග කළාය.

එම නඩුවේ සෙසු සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ද එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් අධිකරණයට වෛද්‍ය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබුණි. එකී වෛද්‍ය වාර්තා තම අධිකරණයට පිළිගත නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය විධිමත් වෛද්‍ය මණ්ඩලයක් පත්කොට වෛද්‍ය වාර්තාවක් අද (16දා) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කළාය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඇප ඉල්ලා සිටිමින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන විසි නව වැනිදාට නියෝගයක් ලබා දෙන බවට මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි. ඔහු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව පෙන්වා දෙමින් වෛද්‍ය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබුණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment