ලබන 08 වැනිදා අපි නැවත පාරට බහිනවා

618

රනිල් වික්‍රමසිංහව මැතිවරණ සිතියමේ හිර කරනවා
ජාජබ නායක අනුර කුමාර දිසානායක මිහින්තලේදී කියයි

පළාත් පාලන මැතිවරණය කල් දමා ජුනි 09 වැනිදාට මාස තුනක් ගත වන මොහොතේ ජුනි 08 මැතිවරණ කොමිෂම ඉදිරියට පැමිණෙන බවත්, ජුනි මාසය පුරා ජනතාව පෙළගස්වමින් නැවත මහ පාරේ සටන ආරම්භ කරමින් රනිල් වික්‍රමසිංහව මැතිවරණ සිතියමේ හිරකිරීමට තමන් සූදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දිසානායක මහතා මේ බව පැවසුයේ ඉකුත් (28)දා සවස තිරප්පනේ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ මිහින්තලය ආසන සමුළුව අමතමිනි. ඒ මහතා මෙසේද කීය.

මාර්තු 09 වැනිදා පොදු ජනතාව අතට බලය මාරු වෙන්න තිබුණා. නමුත් උඩ ඉන්න දූෂිත ප්‍රභූ පැලැන්තිය එය වෙනස් කළා. මුදල් ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිෂන් සභාවට සල්ලි දෙන්නේ නැත්නම් කොමිෂන් සභාව නඩුවක් දාන්න තිබුණා. නමුත් නඩුවක් දැම්මේ නෑ. මැතිවරණ කොමිෂන් සභාවත් ජන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරත වී සිටිනවා.

රනිල් වික්‍රමසිංහ හිතනව නම්, ජන්දය තියන්නේ නෑ කියලා එයා කිව්වහම එයාට යටත්වෙලා දේශපාලනය කරන්න ඕනෙ කියලා ඒක විහිළුවක්. එහෙම ඉන්න අපි ලෑස්ති නෑ. රනිල් වික්‍රමසිංහගේ අනීතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ජන්ද කල් දැමීමට එරෙහි මහ පාරේ සටන අපි ආරම්භ කරන්න ලෑස්තියි. රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ දැන් 120 වගේ බලයක් තියෙනවා. නමුත් ජනතාවගේ බලය, ජනතාවගේ හයිය තියෙන්නෙ ජාතික ජනබලවේගයට බව අද තිරප්පනේට රැස්වී සිටින දහස් ගණන් ජනතාව එකතු වෙලා මේ කියන්නේ.

පළාත් පාලන මැතිවරණය නොතියා ජනාධිපතිවරණයක් පවත්වන බව කතාවක් කියනවා. පක්ෂය ශක්තිමත්ව තියෙනකොට 2010, 2015, 2019, ජනාධිපතිවරණයට ඉල්ලපු නැති රනිල් ජනාධිපතිවරණයක් තියයිද? ව්‍යවස්ථාවට අනුව ලබන අවුරුද්දේ නොවැම්බර් 17ට කලින්ජනාධිපතිවරණය තියන්න ඕනේ. කොච්චර ඇද්දත් රනිල්ට අදින්න වෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් විතරයි. ඒ කියන්නේ තව මාස 14යි. කන්න දෙකයි. නමුත් අපි උපරිම උත්සාහ කරනවා ඊට කලින් මැතිවරණයක් ලබා ගන්න. මේ මැතිවරණ සිතියමේ රනිල්ව අපි හිර කරනවා. හිර කරලා ජනතාවට තමන්ට ඡන්දය ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට ජාතික ජන බලවේගය පත් කරන බව සහතික කරනවා.

වසර 75ක් බලයේ හිටපු ප්‍රධාන පක්ෂ බලයට ආවේ අනුහස් නායකයො බිහි කරලා. එයාලට පක්ෂයේ යාන්ත්‍රණයක්, සංවිධාන යන්ත්‍රයක්, ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් නොවෙයි තියෙන්නේ. එයාලාගේ දේශපාලන ව්‍යාපාරය හදන්නේ නායකයෙක් එක්ක. පොහොට්ටුවට අද නායකයෙක් නෑ. සමගි ජනබලවේගයේ දේශපාලන කඳවුර බිඳවැටිලා ඉවරයි. මේ සියල්ල අතරින් අද එකම දේශපාලන ව්‍යාපාරය බවට ජාතික ජන බලවේගය පත්වී හමාරයි. ජාතික ජනබලවේගය කියන්නේ සාමූහික දේශපාලන ව්‍යාපාරයක්.

මේ පාලකයෝ රටේ මුදල් හොරකම් කරලා. එනිසා 40% කින් සෞඛ්‍ය වියදම් කපා හැරලා. දරුවන්ගේ අධ්‍යාපනය කප්පාදු කරලා. වෛද්‍යවරු ඉංජිනේරුවරු, විශ්ව විද්‍යාල ආචාර්යවරු, බැංකු කළමනාකාරවරු වැනි බුද්ධි සම්පත් රට දාලා යනවා. මේව ටිකම මදිද මේ පාලකයෝ තිත්ත වෙන්න. රනිල් වික්‍රමසිංහ දන්නෙ ණය ගන්නයි විකුණන්නයි විතරයි. 2005 අවුරුද්දේ අපේ රටේ මුළු ණය ප්‍රමාණය ටි්‍රලියන 2.2 යි. 2010 අවුරුද්දේ ටි්‍රලියන 4.5යි. 2015 අවුරුද්දේ ටි්‍රලියන 8.5යි. 2022 දෙසැම්බර් මාසේ වන විට ටි්‍රලියන 30යි. ඒ කියන්නේ කෝටි තිස් ලක්ෂයයි. ණය අරගෙන රට හදනව නම් දැන් රට හැදෙන්න එපැයි.
තිරප්පනේ – සමන් පෙරේරා, අනුරාධපුර – තිසර සමල්

advertistmentadvertistment
advertistmentadvertistment