අරගලයෙන් අඩාල වූ වරාය සහ ගුවන් සේවා කටයුතු මේවන විට සුරක්ෂිතව සිදුවෙනවා -ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

111

ආණ්ඩුවේ අන්තවාදයට ජනාධිපතිත් මතවාද හදා දෙනවා- ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළ ජනාධිපතිට අද ඡන්ද පෙන්නන්න බෑ-එස්.එම්. මරික්කාර් (සජබ)

රට තුළ පැවති අරගලය හේතුවෙන් විදෙස් නැව් 14ක් ආපසු හැරී ගිය අතර ගුවන් කොටුපළ කටයුතුද අඩාල වුවත් මේවන විට මෙරට වරාය සහ ගුවන් තොටුපළ සුරක්ෂිත කිරීමට වගබලා ගෙන ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විවාදය ආරම්භ කරමින් සිල්වා මහතා මෙසේද පැවසීය.

කොවිඩ් අර්බුදය නිසා අපේ රටටත් ගුවන් යානා පැමිණිම අඩු වුණා. ඉන් පසුව අපි කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ ගාස්තු සියයට පණහකින් අඩු කළා. මත්තලට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ගෙන්වගන්න අපට අවශ්‍ය වුණා. ඒ වගේම අද අපි සී ප්ලෙන් ගොඩ බැස්සවීම සම්බන්ධයෙනුත් වෙළෙඳ නැව් සම්බන්ධයෙන් පනතේත් වගන්ති සංශෝධනය කරනු ලැබුවා. වරාය වගේම ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න පියවර රාශියක් අරගෙන තිබෙනවා. වරාය ආශ්‍රිතව නව ව්‍යාපාර කිරීමටත් අපි මේ වන විට ක්‍රියා කර තිබෙනවා. අපි අලුත් ෂිපින් ලයින්ස් 04ක් සඳහා කොළඹ වරාය හරහා යන්න අවසර ලබා දී තිබෙනවා. ඒ සමාගම් ඒ පිළිබඳ සතුට පළකරලා තිබෙනවා. නමුත් අපෙන් හැම වෙලාවෙම අහන්නේ වෘත්තීය ක්‍රියාකාරකම් ගැන අපිට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද කියලායි. ඒ වගේම අරගලය නිසා අපේ රටට ආපු නැව් 14ක් ආපසු හැරී ගියා. අපේ වරාය සුරක්ෂිත වරායක්. ඊට අමතරව අපේ ගුවන් තොටුපළ දෙස බැලුවොත් කොවිඩ් සහ අරගලය නිසා ඒ කටයුතුත් අඩාල වුණා. නමුත් දැන් එය ටිකෙන් ටික විසඳාගෙන යනවා. දිනකට මගීන් 5000ක් සඳහා අපි සේවා සපයනවා. එය 25000ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා(සජබ)-

අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අද ඇමැතිතුමා සමාව ඉල්ලනවා අපි දැක්කා. උන්වහන්සේට වූ පමාව ලොකු වරදක්. ඒ ගැන මීට පෙර කවුරුවත් නිදහසට කරුණු කියනවා පමණයි මම දැක්කේ. නමුත් සමාව ඉලුල්වේ නෑ. ඒක වරදක්. ඒ වැරුද්ද වුණේ නොසැලකිල්ල නිසායි. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. අපේ රටේ වරාය වගේම ගුවන් තොටුපළ වගේ ස්ථානයන්හි හොඳ සේවාවක් ලබාදීමට කටයුතු කරන්න ඕනා. අපි දන්නවා පැනමාව බලන්න. ඒ රට දුවන්නේම වරායෙන් ලැබෙන විශාල ආදායමෙන්. අපි අපේ මත්තල ගුවන්තොටුපළ ගැන මීට වඩා සේවයක් ගන්න ඕනා. එහි අකාර්යක්ෂමතාවය ගැන කතා කරනවාට වඩා ඒවායෙන් ආදායමක් ලබා ගන්න කටයුතු කරන්න ඕනා.

(මධුර විතානගේ මහතා මූලාසනයට පැමිණේ)

පත් කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය(ජා.ජ.බ)-

බුදු දහම ගැන කතා කරන අය අඩුම තරමේ පස් පව්වලින්වත් වැළකී ඉන්න ඕනා. ඒ අය ආගම ගැන කතා කිරීමත් ඉතා විහිළු සහගතයි. ජනතා අරගල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකනවා නම් ඒ ගැන අපට අනුමත කරන්න බෑ. ත්‍රස්තවාදය නිර්වචනය කරන්න මේ ආණ්ඩුව විවිධ නීති ගේනවා. ඒ ගැන කතා කරනවා. ආණ්ඩුව කියන විදිහටද දැන් විරෝධතා කරන්න වෙන්නේ. මේවා ගැන ගේන පනත් දැන් උසාවිය විසින් ප්‍රතික්ෂේප කරනවාත් අපි දැක්කා. මේ ආණ්ඩුව දැන් ඉතාම භයානක අන්තවාදයක් ගොඩ නගනවා. ඒ සඳහා ජනාධිපතිතුමාත් මතවාදයක් හදාගෙන යනවා.

රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත් මහතා-

රටේ සංවර්ධනය මූලික කරගෙන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා තම වගකීම ඉටු කරමින් සිටිනවා. වරාය සහ ගුවන් පර්යන්ත සේවා සම්බන්ධයෙන් අද එතුමා දීර්ඝ වශයෙන් කතා කළා. මේ ක්ෂේත්‍ර ගොඩ නගන්න විවිධ නීති රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. අපේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධානතම හේතු දෙකක් තමයි කොවිඩ් සහ අරගලය. අපේ රට ගොඩ ගන්න ජනතාව ආණ්ඩුවට වගේම විපක්ෂයටත් පවරලා තිබෙනවා. විපක්ෂය බොහෝ විට බලන්නේ තමන්ගේ මතය ඉස්මතු කරලා විරෝධය දක්වලා බලයට එන්නයි.

කොලඹ දිස්ත්‍රික් මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා (සජබ)-

මට කලින් කතා කළ මන්ත්‍රීතුමා විකෘති කතාවක් කරනවා මම දැක්කා. අපි දැක්කා ජනාධිපතිතුමා නුවරඑලියේදී කළ කතාව දැක්කහම පේනවා ඒ අයට ඡන්ද ඇලජික් කරලා. නමුත් අපිට ඡන්ද අවශ්‍යයි. අපි මේ සභාවට ආවෙත් ඡන්දවලින්. ඊළඟවතාවෙත් මේ සභාවට එන්නේ ඡන්දවලින්. එදා මේ අය ජාතික ආරක්ෂාව අල්ලගෙන හිටියා. ඒත් දැන් කියන්නේ ආර්ථික ස්ථාවරභාවය ගැනයි. එජාපයට, පොහොට්ටුවට ඡන්ද නෑ. ඒත් අපිට ඡන්ද තිබෙනවා. එදා නම් මේ ජනාධිපති තුමා ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කළා. නමුත් එතුමා අද බලයට ඇවිත් ඉන්නේ ත්‍රාඩ කල්ලියක් නිසායි. ඒ නිසා හිතනවා ඇති ඡන්ද ඕනේ නෑ කියලා. අද පළාත් පාලන ආයතනවලට මහජන නියෝජිතයෝ නෑ. ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් ඇමැතිවරුන්ගේ හෙංචයියෝ දාන්න යනවා. මේකට තමයි ඒකාධිපති පාලනය කියන්නේ. ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවත් ගණන් ගන්නේ නැති තැනකට එනවා පේනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා(ශ්‍රී.ල.පො.පෙ.)-

අද මේ රටේ ස්ථාවරත්වයක් ඇති කරන්න ආණ්ඩුව ක්‍රියා කර ගෙන යන මොහොතක අපට පේනවා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා සූක්ෂම පියවර අරගෙන තිබෙනවා. පසුගිය කාලයේ අපට ඩොලර් තිබුනේ නෑ. නමුත් අපි දැක්කා ජනතාව ළඟ ඩොලර් ප්‍රමාණයක් තිබිලා ඒවා ජාතික ආර්ථිකයට එකතු වුණා. ඒ නිසා දැන් රුපියල ශක්තිමත් වෙලා තිබෙනවා. අපි කළ යුතු දේ කරන්න භය නෑ. ඡන්දවලට අපි බය නෑ. අපිට ඡන්ද දුන්නේ වාමාංශික මිනිස්සු. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු අණපනත්වලට විරුද්ධව නඩු දාලා දිනලාත් තිබෙනවා. නමුත් අද එහෙම කරන්න බෑ. අපිට මේරට ගොඩ නගන්න අවශ්‍යයි. අපිට තව අවුරුදු දෙකහමාරක කාලයක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න. ඒ නිසායි අපේ ජන්දෙන් රනිල් වික්‍රමසංහ මහත්තයා පත් කර ගත්තේ. ලියුම් ලිය ලිය ඉඳලා වැඩක් නෑ. බලය ලැබුනු ගමන් අත මිට මොළවාගන්න ඕනා.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා(ශ්‍රී.ල.පො.පෙ.)-

අපේ ශ්‍රීලන්කන් ගුවන් සේවාව ගැන සතුටු වෙන්න බෑ. එදා එමිරේට්ස් සමග කටයුතු කරන කාලේ ශ්‍රීලංකන් ආයතනය හොඳින් කරගෙන ගියා. නමුත් මේ රටේ හිටපු ලොක්කෙකුට සීට් එක්ක දුන්නේ නෑ කියලා ඒක නැවත පවරගත්තා. ශ්‍රීලන්කන් ගුවන් යානයක් පිටරටන ගිහින් නවත්වලා තිබෙනවා දැක්කහම ඒ හැඟීම අපේ ඇඟට දැනෙනවා. මේ ආයතනය භාර ගත්තු හැම ඇමැතිවරයෙක්ම තමන්ගේ පාක්ෂිකයෝ දැම්මා. මේ ආයතනය මටත් භාරවෙලා තිබුණා ජනාධිපති කාලයේ. නමුත් මම ඒක ඉරාන් වික්‍රමරත්න ඇමැතිතුමාට භාර දුන්නා. අපි එහෙමයි ක්‍රියා කළේ. ශ්‍රී ලන්තකන් ආයකනයේ බත් පැකට් එකේ හිටන් දූෂණය. මට එක වරක් කජු වගයක් දුන්නා ඒවා බල්ලෙකුටවත් කන්න බෑ. මම ජනාධිපති කාලේ ශ්‍රීලන්කන් ආයතනය ගැන ජනාධිපති කොමිසමකුත් පත් කළා. එහි වාර්තාව මම සභාගත කරලා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා(ශ්‍රී.ල.පො.පෙ)-

මීට වසරකට කලින් බැලුවහොත් මේ ක්ෂේත්‍ර දෙකම බරපතල ලෙස කඩා වැටී තිබුණා. කිසිම මගියෙක් අපේ රටට ආවේ නෑ. ඒ කාලේ 25000 ක් විතර මගීන් ආවා. නමුත් ඒක 50 කටත් අඩු වුණා. දැන් එය 15000 ක් වගේ ගණනකට ඉස්සිලා තිබෙනවා. අපි මේ ප්‍රමාණය වැඩි කර ගන්න කටයුතු කරන්න ඕනා. ඒ සඳහා හොඳ ගුවන් යානා අවශ්‍ය වෙනවා. අපිට දැනට තිබෙනව ගුවන් යානාවල ගියහම ඇඟට හරි අමාරුයි. ඒ නිසා මිනිස්සු එන්න කැමති නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ)-

අරගලය නිසා මේ ආණ්ඩුවේ විශාල පෙරළියක් වුණා. නමුත් මේ රටට අවශ්‍ය වූ වෙනස ලැබුණාද කියන එක ගැන කල්පනා කරන්න ඕනා. මේ ජනාධිපතිතුමාට මැතිවරණ ගැන විශ්වාශයක් නෑ කියලා පෙනෙනවා. මොකද එතුමා කිව්වා කුමන පක්ෂයකටවත් සියයට 50ක් නෑ කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඡන්දය සියයට 50ද නැත්තන් සියයට එකද දෙකද කියලා කමක් නෑ ඡන්ද තියන්න කියලා. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනා. එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් අරගෙන මේ රටේ ජනාධිපති වෙලා හිටියට සදාචාරයක් තිබෙන මිනිස්සුන්ට මැතිවරණ අවශ්‍ය වෙලා තිබෙනවා.

පාර්ලිමේන්තුව නැවත අද (07දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment