දිළිඳුකම පිටුදැකීමේ අභියෝගය…

393

දිළිඳු බව මැනීමට විවිධ ආයතනවලට විවිධ මිනුම් දඬු තිබේ. රටක ජාතික දිළිඳු බව මැනීමේ මට්ටම් එම රට විසින් තීරණය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකුට අත්‍යවශ්‍යයෙන්ම සපුරාගත යුතු අවශ්‍යතාවන් සඳහා මාසිකව වැයවන මුදලක් ගණනය කර, එම මුදල මාසිකව සපයා ගැනීමට නොහැකි තැනැත්තන් දිළිඳු පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ මෙම දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන නිර්ණායකය වන්නේ නිල දරිද්‍රතා රේඛාවයි.

● ගිහියාට දිළිඳුකම දුකකි

ගිහියාට දිළිඳුකම දුකක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. තමා ආර්ථික වශයෙන් ස්ථාවර බවත්, ඉන් පිරිහීමට පත් නොවේ යැයි යමෙකුට පවසන්නට ලැබීම සතුටට කරුණකැයි අණන සූත්‍රයේ සඳහන් වේ. මේ නිසා තම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ධනයක් තිබීම මිනිසාට සැපයකි. මේ දරිද්‍රතාව යන්න සැම කලෙකම අඩුවැඩි වශයෙන් පවතින්නකි. එදා බුදුන් දවස මෙන්ම වර්තමානයේ ද යම් ජනකොටසක් දරිද්‍රතාවයෙන් පෙළෙයි. මේ කියන දුප්පත්කම යනු කුමක් ද? අවම ජීවන මට්ටමක් ලබා ගැනීමට ඇති නොහැකියාව ලෙස අපට දරිද්‍රතාව යන්න ඉතා සරලව විග්‍රහ කළ හැකිය. මෙය පරිභෝජනය, ආදායම් මට්ටම, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් ආදී අවම යහපැවැත්මේ මට්ටමවත් සපුරාලීමට නොහැකි වන තත්ත්වයකි. රටක මෙම දරිද්‍රතා මට්ටම මැනීම වැදගත් වන්නේ එම ඇස්තමේන්තුව මත දිළිඳුකම පිටු දැකීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට සහ ඒ අනුව සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන නිසාය.

● නිල දරිද්‍රතා රේඛාව

දිළිඳු බව මැනීමට විවිධ ආයතනවලට විවිධ මිනුම් දඬු තිබේ. රටක ජාතික දිළිඳු බව මැනීමේ මට්ටම් එම රට විසින් තීරණය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකුට අත්‍යවශ්‍යයෙන්ම සපුරාගත යුතු අවශ්‍යතාවන් සඳහා මාසිකව වැයවන මුදලක් ගණනය කර, එම මුදල මාසිකව සපයා ගැනීමට නොහැකි තැනැත්තන් දිළිඳු පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ මෙම දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන නිර්ණායකය වන්නේ නිල දරිද්‍රතා රේඛාවයි. මේ අනුව රටේ මුළු ජනගහනය දරිද්‍රතාවයෙන් පෙළෙන සහ නොපෙළෙන වශයෙන් කණ්ඩායම් දෙකකට වෙන් කරගනු ලැබේ. මෙම නිල දරිද්‍රතා රේඛාවෙන් සිදු වන්නේ මිනිසෙකුට තිබිය යුතු අවම ජීවන තත්ත්වය අනුව නිර්මාණය කරන යම් මට්ටමක් නිරූපනය කිරීමයි. මේ අනුව නිල දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහන ප්‍රතිශතය ජනගහන දරිද්‍රතා දර්ශකය මගින් නිරූපනය කෙරෙන අතර එම ජනකොටස දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය ලෙස හඳුනා ගනී. නිල දරිද්‍රතා රේඛාවට ඉහළින් සිටින ජනගහනය දරිද්‍රතාවයෙන් නොපෙළෙන ජනගහනය ලෙසද හඳුනා ගනී. මෙම නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් අගයක් ලෙස ගණනය කරයි. මෙම දරිද්‍රතා රේඛාව ගොඩ නැගීම සඳහා භාවිතා කරන ප්‍රධාන දරිද්‍රතා රේඛා දෙකක් වන අතර ඒවා නම් සාපේක්ෂ දරිද්‍රතා රේඛාව සහ නිරපේක්ෂ දරිද්‍රතා රේඛාව වශයෙනි.

● නිරපේක්ෂ සහ සාපේක්ෂ දරිද්‍රතාව

නිරපේක්ෂ දරිද්‍රතා රේඛාව මුළු ජනගහනය මත රඳා නොපවතින අතර එය සාමාන්‍යයෙන් සතුටුදායක පැවැත්මක් සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවාවල පැවැත්ම මත රඳා පවතී. මෙම අගය දත්ත මත තීරණය කරගත් නිශ්චිත අගයක් වන අතර ලංකාවේ භාවිතා කරන්නේ නිරපේක්ෂ දරිද්‍රතා රේඛාවයි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ගණනය කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වන අතර වසර තුනකට වරක් පවත්වන ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය මගින් එය සිදු කරනු ලබයි. එහිදී ගෘහ ඒකක ආදායම සහ ගෘහ ඒකක වියදම ඇතුළුව ප්‍රධාන කොටස් දහයකින් සමන්විත උපලේඛනයකින් තොරතුරු එක්රැස් කරගනු ලබයි. මෙහිදී සතියක කාලයක් තුළ අදාළ ගෘහ ඒකකය විසින් පරිභෝජනය කරනු ලබන අයිතම ලබා ගැනීම සඳහා පරිභෝජන සටහන් පත්‍රයක් ද භාවිතා කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් අපට දැනගන්නට ලැබිණි. සාපේක්ෂ දරිද්‍රතාව මනින්නේ රටක ජනගහනයේ එක කොටසකගේ සමාජ ආර්ථික තත්ත්වයන්ට සාපේක්ෂව තවත් ජනකොටසකගේ සමාජ ආර්ථික තත්ත්වයන් සලකා බලා සාපේක්ෂව දිළිඳු යැයි හඳුනා ගැනීමටයි. මෙහිදී රටේ ආදායම් උපයන්නන් අතරින් එක් පිරිසකට සාපේක්ෂව තවත් පිරිසක් ලබන ආදායම සැසඳීම සිදුකරනු ලබයි. මේ අනුව සාපේක්ෂ දරිද්‍රතාවය යනුවෙන් සලකන්නේ ජාතික මට්ටමේ සාමාන්‍යයේ යම් ප්‍රතිශතයට වඩා ආදායම හෝ පරිභෝජන මට්ටම්වල අඩු බවක් පැවැතීමයි.

සංවර්ධන සමාජවිද්‍යා සහ ප්‍රජා සහභාගිත්වය යන විෂයට අදාළව ද මේ දිළිඳුකම ගැන අධ්‍යයනය කරනු ලබයි. ඒ අනුව එම විෂයට අදාළව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යා ශාස්ත්‍රපති උපාධිය හදාරන විද්‍යාර්ථීන් පිරිසක් ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ උපදේශකත්වයෙන් මේ දිනවල දිළිඳුකම ගැන කරුණු අධ්‍යයනය කරමින් සිටී. එම අධ්‍යයනය කළ කරුණු ද මේ ලිපියේ දී අපගේ අවධානයට ලක් කෙරිණි.

● ගෝලීය දිළිඳුකම

මේ දිළිඳුකම රටක් වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගණනය කරන්නකි. ජාත්‍යන්තර දිළිඳු රේඛාව දෛනික ආදායම මත පදනම් වූවක් වන අතර එය ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරයි. මේ වන විට ඇමෙරිකානු ඩොලර් 2.15ක දෛනික ආදායමක් නොමැති පුද්ගලයන් ඒ අනුව දිළිඳු පුද්ගලයන් ලෙස සලකයි. වැඩිහිටි පුද්ගලයෙකුට ජීවත් වීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත මේ අගය ගණනය කරනු ලබයි. මේ කියන නිර්ණායක මත පදනම්ව ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව ගෝලීය වශයෙන් දිළිඳු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2023 පළමු කාර්තුවේදී පැවති මිලියන 659.2 සිට දෙවන කාර්තුව අවසන් වන විට මිලියන 700.6ක් දක්වා සියයට 6.28 කින් ඉහළ ගොස් තිබේ. මෙයට රුසියානු යුක්රේන යුද්ධය සහ මෑතකාලීන දේශපාලනික අර්බුද හේතුවෙන් හටගත් ආර්ථික අර්බුද තත්ත්වයන් ද හේතු වී තිබේ. ගෝලීය වශයෙන් දිළිඳුකම වැඩි වීමට වැඩි වේගයකින් දකුණු ආසියානු කලාපයේ ද දරිද්‍රතා මට්ටම ඉහළ ගොස් ඇත. මේ අනුව දකුණු ආසියානු කලාපයේ දරිද්‍රතා මට්ටම මේ වසරේ (2023) පළමු කාර්තුවේ පැවති මිලියන 160.9 ක සිට දෙවැනි කාර්තුවේ දී මිලියන 196.3 ක් දක්වා සියයට 22 ක කැපීපෙනෙන වැඩි වීමක් වාර්තා කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 2023 දී ඉදිරිපත් කර ඇති දත්තවලට අනුව, දකුණු ආසියාවේ මිලියන 389ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙයි. වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් සියයට 25 ක් පමණ ජීවත්වන දකුණු ආසියානු කලාපයේ, මුළු ගෝලීය දිළිඳු ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ජීවත්වන බව එම වැඩසටහන පෙන්වා දී ඇත.

● ශ්‍රී ලංකාවේ දිළිඳුභාවයත් ඉහළට

ලෝකයේ වෙනත් රටවල් මෙන්ම අපේ රටත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳි අතර බොහෝ ජනයාගේ ආදායම් මට්ටම් පිරිහීමට මෙන්ම පොදුවේ රටේ ආර්ථික කටයුතු පිරිහීමට එම තත්ත්වය හේතු විය. එහෙත් අපට මේ වන විට වඩාත්ම අහිතකර ලෙස බලපා ඇත්තේ අප මුහුණ දී ඇති ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා විනිමය අර්බුදයයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ දිළිඳුබව මැනීමේ මාසික අගය ද අර්බුදයට පෙර එනම් වර්ෂ 2019 පැවති අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් මේ වන විට ඉහළ ගොස් තිබෙන බව සඳහන් කළ යුතුය. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වර්ෂ 2019 දී පුද්ගලයකුට මාසයක් ජීවත් වීමට අවශ්‍ය බවට සැලකූ මුදල වූයේ රු. 6966ක් ක මුදලකි. එහෙත් එම ගණනය කර තිබූ අගය 2023 මාර්තු වන විට රු. 16207 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. එය සියයට 132.65 ක විශාල වැඩිවීමකි. එහෙත් මේ වියදම් වැඩි වීමට සාපේක්ෂව ජනයාගේ ආදායම් මට්ටම්වල වැඩි වීමක් සිදුව නැත. ඒ අනුව අනිවාර්යෙන්ම සිදුවෙන දෙය නම් දිළිඳු පුද්ගලයන් සංඛ්‍යාව ද විශාල වශයෙන් වර්ධනය වීමයි. එය මේ වන විට සිදුව ඇත.

● දිළිඳුභාවය වැඩිවීමේ අභියෝගය

ගිය වසරේ (2023) සියයට 70 ක් පමණ දක්වා උද්ධමනය ඉහළ ගිය බව අපි දනිමු. මේ වන විට උද්ධමනය විශාල ලෙස අඩු වී තිබුණත් එහි අදහස බඩු මිල අඩු වී ඇති බව නොව තවදුරටත් බඩු මිල වැඩි වීමේ වේගය අඩු වී ඇති බවයි. ඒ නිසා උද්ධමනය අඩුවුවත් භාණ්ඩවල වැඩි වූ මිල ගණන් අඩු වී නැත. ඒ නිසා 2019 දී මාසයක් ජීවත් වීමට අවශ්‍ය බවට සැලකූ මුදල රු. 6966 සිට 2023 මාර්තු වන විට රු. 16207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පුදුමයක් නොවේ. ඒ අනුව ආදායම් මට්ටම් වැඩි නොවීම නිසා අනිවාර්යෙන්ම දිළිඳු ජනකොටස මේ වන විට වැඩි විය යුතුය. මෑත කාලීන වසර පහේ ලෝක බැංකු දත්තවලට අනුව වර්ෂ 2019 දී සමස්ත ජනගහනයෙන් සියයට 11.3 ක් දිළිඳු රේඛාවට පහළින් සිට ඇත. එම ප්‍රතිශතය වර්ෂ 2020 දී එය සියයට 12.7 ක් දක්වා ද, වර්ෂ 2021 දී සියයට 13 ක් දක්වා සහ වර්ෂ 2022 දී එම ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 25 ක් දක්වා ද දෙගුණයකින් පමණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. එම ප්‍රතිශතය මේ වසරේ (2023) දී තවත් වැඩිවෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඒ අනුව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ 2023 දී එම ප්‍රතිශතය සියයට 27.9 ක් දක්වා තවත් වැඩි වනු ඇති බවටයි. මේ අනුව සිදුව ඇත්තේ අප රට මුහුණ දෙන දිළිඳුකම පිටුදැකීමේ අභියෝගය තවත් වැඩි වීමයි.

● අස්වැසුම සමාජ ආරක්ෂණය

දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව රජය ක්‍රියාත්මක කරන ආර්ථික ගැලපුම් වැඩසටහනට අනුව රජය විසින් බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටී. පසුගිය කාලයේ බොහෝ බදු වැඩි වූයේ ද මේ අනුවය. සෘජු බදුවලට වඩා වක්‍ර බදු වැඩි වීම නිසා සිදු වූයේ බඩුමිල වැඩි වීමයි. එය සමස්ත ජනතාවටම සිය වියදම් වැඩිවීමට හේතු වන්නකි. එසේම රජය විසින් සියයට 15 සිට සියයට 18 දක්වා තවදුරටත් වැට් බදු (වක්‍ර බදු ) වැඩිකර ඇත. එසේම මෙතෙක් වැට් බද්ද අදාළ නොවූ භාණ්ඩවලට ද අලුතින් වැට් බද්ද පැනවීම නිසා ලබන වසර (2024) මුල සිට තවදුරටත් භාණ්ඩ මිල වැඩිවෙනු ඇත. මේ නිසා තවදුරටත් ජනයාගේ ජීවත් වීමේ ප්‍රශ්නය උග්‍ර වනු ඇත. මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා මත සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ වඩාත්ම පීඩාවට ලක්වන්නේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවයි. මේ නිසා දැනට දිළිඳු සහ අලුතින් දිළිඳුකමට ඇදවැටෙන ආර්ථිකමය වශයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇත. ඒ අනුව රජය විසින් මෙතෙක් පැවති සියලු සහන වැඩසටහන් වෙනුවට ‘අස්වැසුම’ නමින් නව නිර්ණායක මත පදනම්ව නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගත් ආකාරය ගැන බොහෝ විවේචන එල්ල වූ අතර ඒ අනුව අදාළ තෝරා ගැනීම් සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලැබිණි.

● නිවැරදි ප්‍රතිලාභීන්ට සහන සැලසීම

මේ පසුබිම තුළ අවශ්‍ය කරන්නේ සුදුසු සහ නිවැරදි ප්‍රතිලාභීන් තෝරාගෙන ඔවුන්ට සහන සැලසීමයි. දිළිඳුකම පිටු දැකීම යන කරුණ ඉටු කරගත හැකි වනු ඇත්තේ එවිටය. මෙහිදී දිළිඳුකම පිටුදැකීම යනුවෙන් අප අදහස් කරන්නේ දිළිඳුකමින් පෙළෙන ජනකොටස රටක් වශයෙන් හැකිතාක් අවම කර ගැනීමයි. දිළිඳුකම නැති කිරීමට වඩා කළ හැකි දෙය වන්නේ එය හැකිතාක් අවම කර ගැනීමයි. එහෙත් වැරදි නැතහොත් නුසුදුසු අයට ජනතා බදු මුදලින් සහන දීමෙන් අප මේ කියන දිළිඳුකම පිටු දැකීම යන කරුණ ඉටු නොවේ. එසේම අනිත් අතට දිළිඳුකම පිටු දැකීමටය කියමින් හැමදාම එකම පිරිසකට සහනාධාර මුදල් ලබා දීමෙන් ද රටක දුප්පත්කම අඩු වන්නේ නැත. මේ නිසා වඩාත් වැදගත් වන්නේ දිළිඳු ජනයා සවිබල ගැන්වීමයි. එනම් ඔවුන්ට යම් කාලයකට සහන ලබා දී එනම් ඔවුන්ට අත්වැලක් සලසා දී ඔවුන් එම දිළිඳුබවින් මුදා ගැනීමයි. ඒ අනුව යම් කාලයකින් පසු ඔවුන් සවිබල ගැන්වුණු පසු එම සහනාධාර මුදල් ගෙවීම නතර විය යුතු වේ. සාමාන්‍යයෙන් දිළිඳුකමේ ස්වභාවය වන්නේ යම් පිරිසක් දිළිඳුබවින් අත්මිදෙන විට අලුතින් යම් ජනකොටසක් දිළිඳු ජනකොටසට එක් වීමයි. ඒ නිසා රජය විසින් නිරන්තරයෙන්ම දිළිඳු සහන සැලසිය යුතු ප්‍රතිලාභීන් අලුතින්ම හඳුනාගත යුතුද වෙයි. මේ කියන කරුණ අප දන්නා පරිදි අස්වැසුම තුළ අන්තර්ගතව ඇත. එනම් කලින් සමෘද්ධිය හෝ ජනසවිය මෙන් මේ අස්වැසුම සහනාධාර දිගටම එකම පිරිසකට ලබා නොදෙන පරිදි සහ නව ප්‍රතිලාභීන් හඳුනා ගනිමින් අලුත් පිරිස් වෙතට ද සහන ගෙවීමට මේ වැඩසටහන සැලසුම් කර තිබීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment