පිරිමි දරුවන් තුළ පිරිමි ගති ලක්ෂණ වර්ධනය නොවීම

1047

පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ නම් ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එය හෝමෝන අසමතුලිතතා රෝගයක් (Gynecomastia) විය හැකිය. ඇතැම් විට එය සිරුරේ අසාමාන්‍ය වර්ධනය නිසා සිදුවූවක් ද විය හැකිය.

පිරිමි ළමයෙක් වුණාම පිරිමි ළමයෙක් වගේ ඉන්න ඕනෙ. ගෑනු ළමයෙක් වගේ වෙලා බැහැ. මුහුණේ රැවුල වැවීම, පපු පෙදෙසේ රෝමකූප වර්ධනය, පළල් උරහිස, ගොරෝසු කටහඬ ආදිය පිරිමි ළමයකුට උරුම ගති ලක්ෂණ ලෙස අප සමාජය තුළ සම්මත වී ඇත.

ඒ නිසා මෙම ලක්ෂණ නොමැති වූ විට එවැනි පිරිමි ළමුනට සමාජයේ නොයෙකුත් උසුළු විසුළුවලට මුහුණ දීමට සිදු වේ.

මෙසේ වීමට හේතු වී ඇත්තේ ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන්ගේ ලිංගික හෝමෝනවල පවතින වෙනස්කම්ය. ගැහැනු දරුවකුගේ ලිංගික අවයව වර්ධනය සඳහා උපකාරි වන්නේ ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය. පිරිමි දරුවන්ගේ ලිංගික අවයව වර්ධනය සඳහා උපකාරි වන්නේ ටෙස්ටෙස්ටරෝන් (Testosterone) හෝමෝනයයි.

එබැවින් මෙම හෝමෝනවල අසමතුලිතතාවක් ඇති වූ විට පිරිමි ළමුන් කෙරෙන් ඔවුන්ට ආවේණික ගති ලක්ෂණ යටපත් වේ.

පිරිමි දරුවකුගේ වර්ධනය

පිරිමි දරුවකුගේ කුඩා කාලයේදී වෘෂණ කෝෂය සහ ශිෂ්ණය සිරුරින් බාහිරයට පැමිණ තිබේ. එය ගැහැනු දරුවකුට වඩා වෙනස් වූ ලිංගික ගති ලක්ෂණයකි. නමුත් කටහඬ, සිරුරේ ස්වරූපය කුඩා කාලයේදී ගැහැනු සහ පිරිමි දරුවන්ගේ වැඩි වෙනසක් දැකිය නොහැකිය.

නමුත් ඔවුන් වර්ධනය වනවිට පිරිමි සහ ගැහැනු ළමුන්ගේ ද්විතික ලිංගික ලක්ෂණ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමට පටන් ගනී. එහිදී පිරිමි දරුවන්ගේ උරහිස පළල් වේ. ඉන ප්‍රදේශය සිහින් වේ. පපුව ප්‍රදේශයේ රෝම කූප වර්ධනය වීමට පටන් ගනී. කටහඬ ගොරෝසු වේ.

මෙම ද්විතික ලිංගික ලක්ෂණ වර්ධනය විම දුර්වල වේ නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ඔවුන්ගේ ලිංගික හෝමෝනවල දුර්වලතාවක් මතු වී තිබිය හැකිය. එහිදී පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණය නිසි ලෙස වර්ධනය වී නැත්නම් ඒ ගැන වහාම අවධානය යොමු කළ යුතුය. එසේම පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ නම් ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එය හෝමෝන අසමතුලිතතා රෝගයක් (Gynecomastia) විය හැකිය. ඇතැම් විට එය සිරුරේ අසාමාන්‍ය වර්ධනය නිසා සිදුවූවක් ද විය හැකිය. එය හඳුනාගත හැක්කේ වෛද්‍ය පරීක්ෂාවකිනි.

පිරිමි දරුවන් නව යොවුන් වියට පත් වනවිට ශිෂ්ණය සහ වෘෂණ කෝෂ වැඩි වර්ධනයක් සිදු වේ. එය සිදු නොවේ නම් ඒ ගැන පරීක්ෂාවකට ලක් කළ යුතුය. එය හෝමෝන ඌනතාවක් ද, පිටියුටිරි ග්‍රන්ථයේ හෝ හයිපොතැලමසයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවක් දැයි කියා නිවැරදිව හඳුනාගත යුතුය.

එය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් යථා තත්ත්වයට පත් කළ හැකිය. එසේ නොමැතිව ප්‍රමාද වූ විට පිරිමි දරුවාගේ සිරුරේ උරහිස පළල් නොවීම, උස නොයෑම ආදී ශරීර ලක්ෂණ සහිතව කාන්තා සිරුරක ලක්ෂණ මතු විය හැකිය.

එසේම මෙම හෝමෝන අසමතුලිතතාවය නිසා මදසරුභාවයට පත්විය හැකිය. ලිංගික ක්‍රියාවන්හි දුර්වලතාවන් ඇතිවිය හැකිය.

මේ සියලු දුර්වලතා සඳහා වර්තමානයේ අප රට තුළ නවීන තාක්ෂණයෙන් යුත් හෝමෝන ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය පහසුකම් පවතී. ඒ නිසා පමාවීමකින් තොරව මුල් අවස්ථාවේදීම මෙම දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් හෝමෝන අසමතුලිතතා නිසා යටපත්ව ඇති පිරිමි දරුවන්ගේ පිරිමි ගති ලක්ෂණ යළි මතු කර ගත හැකිය.

පිරිමි දරුවන් තුළ පිරිමි ගති ලක්ෂණ වර්ධනය නොවීම

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති ප්‍රසාද් කටුලන්ද
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment