සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තම දින කිහිපයකි. සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු මෙරට වාසය කරන පැල්පතේ සිට මන්දිරය දක්වාම ජනතාවගේ සතුට, සොම්නස, සමගියෙන් පිරී ඉතිරී යන සෞභ්‍යාගමත් සංස්කෘතික මංගල්‍යයකි. එමෙන්ම සෑම නගරයක්, ගමක් පාසා එකම වේලාවකදී ලිපගිනි මොළවා එකම නැකතකට ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී සිරිත් විරිත් එකාවන්ව එකමුතුව සිදුකෙරෙන සුවිශේෂී උත්සවයකි. උතුරේ හින්දු වැසියාද දකුණේ සිංහලයා එකම වේලාවකදී එකට වැඩ අල්ලන එකම නැකත ඇත්තේද සිංහල අලුත් අවුරුද්ද තුළයි. සොබාදහමේ අපූර්වත්වය කියාපාන පරිසරයද නව මුහුණුවරක් ගන්නේ අලුත් අවුරුද්දක් ළඟ එන බවද කියාපාමිනි. ඵලින් බරවන අඹ, කජු ආදී ගස්වලින්ද, මලින් හැඩවී රත් පැහැයෙන් බබලන එරබදු ගසින් හා කොවුල් හඬින් මුළු පරිසරයම සංගීතවත් වන්නේ ළඟ එන අලුත් අවුරුද්දක සිරිය මවාපාමිනි.

මෙවර ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ වෙනදා නොවූ විරූ ගැටලුවකට සිංහල හා හින්දු ජනයා මුලපුරා ඇත. ඒ ජාතික නැකැත් කමිටුව මගින් ලබාදෙනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ නැකත් සීට්ටුවේ ඇතැම් තැන් ප්‍රායෝගික නොවන බවට විකල්ප නැකැත් කමිටුව මගින් ගෙන එන කතාවයි. රජයේ නැකැත් කමිටුව ගෙන ආ නැකැත් වෙනුවට ජාතික නැකැත් කමිටුව කමිටුව මගින්ද නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කර ඇත්තේ මතුවූ නැකැත් ප්‍රශ්නයට පිළිතුරු ලෙසය. මෙරට ජනතාව මේ වනවිට අවුරුදු නැකැත් ප්‍රශ්නයේ පැටලී සිටින බවද පෙනෙන්නට ඇත. අදාළ නැකැත් කමිටු දෙක ගෙන ආ නැකැත් සීට්ටු දෙකින් කුමක් පිළිපැදිය යුතුද යන්න ප්‍රශ්නයේ මේ වනවිට සුවහසක් ජනතාව ගිලී අවසන්ය. මේ හේතුවෙන් මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් පාඨක ඔබ වෙත ගෙන ඒමට අප කටයුතු කරන්නෙමු.

අවුරුදු නැකැතේ ඉතිහාසය

බක්මස හෙවත් අප්‍රේල් මස සමරනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සංස්කෘතික හා ආගමික වශයෙන් අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවැතෙන මහා කලාමංගල්‍යයකි. අලුත් අවුරුද්ද සමඟ විවිධ විශ්වාස හා සිංහල හින්දු අලුත් අවුරුද්ද බැඳී පැවතෙන්නෙකි. මෙම අවුරුදු චාරිත්‍ර අතර කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස හා ආගමික ඇදැහිලිවලින් සමන්විත සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම යනු රටක් වශයෙන් මුළු මහත් ජාතීන්ගේ එකමුතුවේ කලා මංගල්‍යයකි. මෙරට බුදුදහම ප්‍රචලිත වීමෙන් පසු ආගම කේන්ද්‍රකොටගත් පරිසරයක් තුළ මෙම අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම දිගු ඉතිහාසයකට දිව යන්නකි.

1993 වර්ෂයේදී නැකැත් කමිටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ ඉන් අනතුරුවය. මෙරට හිටපු සංස්කෘතික අමාත්‍යවරයකු වන විජමු ලොකුබණ්ඩාර මහතා විසින් එකී නැකැත් කමිටුව නිල වශයෙන් පත්කරන ලද්දේ මෙරට පුරවැසියාට සංස්කෘතික උරුමයක් හා වටිනාකමක් ලබාදීමේ උදාර අරමුණිනි. එතැන් සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් ප්‍රවීණ ජෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස්වී අදාළ වර්ෂය සඳහා නැකැත් ලබාදීමේ හා ප්‍රසිද්ධියට පත් කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුවන්නට විය.

රටම කතාවෙන අවුරුදු නැකැත්

මෙන්න අවුරුද්දට කිරිබත් කන හොඳම නැකත

ශ්‍රී ලාංකීය ජනතාවගෙන් වැඩිමනක් පිරිසගේ කතාබහට ලක්වන්නේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමට රාජ්‍ය නැකැත් කමිටුව රාත්‍රියේ නැකැත් ලබාදීම සම්බන්ධවය. මේ නිසා මින් පෙර උදාවූ සිංහල අලුත් අවුරුදු තුළ ඇති නොවූ ගැටලුවකට මෙවර සිංහල හින්දු ජනයා පත්ව ඇති බව පෙනෙන්නට ඇත. රාජ්‍ය නැකැත් කමිටුව මෙවර ඉදිරිපත් කර ඇති නැකැත් සීට්ටුවේ සමහර නැකත්වල යම් යම් ගැටලු තත්ත්වයන් ඇති හෙයින් මේ සම්බන්ධව පසුගිය මාස කිහිපය තුළම මෙම ප්‍රශ්න සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක්වූ කරුණකි. එනම් මින් පෙර කිසිදා ඉටුනොකළ මැදියම් රාත්‍රියෙහි වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය යෙදී ඇති මේ රාජ්‍ය නැකැත් කමිටුව සාදා දුන් නැකත් සීට්ටුවේ නැකත් චාරිත්‍රවල ප්‍රායෝගික නොවන බවක්ද බැලූ බැල්මට කෙනකුට පෙනී යෑමද සාධාරණය. මධ්‍යම රාත්‍රිය ඇත්තේ සුවබර නින්දකට මිස වැඩ ඇල්ලීමට නොවන බවටද ඇතැම්හු නඟන ප්‍රශ්නයකි. මධ්‍යම රාත්‍රියේදී කිරිබත් වැනි ආහාරයක් අනුභවය සෞඛ්‍යයටද නුසුදුසු බවද තවත් අයෙක් ප්‍රශ්න කරන්නේය. තවද සූර්යයා මූලික කරගෙන සිදුකරන සූර්යය මංගල්‍යය අවුරුද්ද සූර්යයා බැසගිය පසු සිදුකරන්නේ කුමක් අරඹයාද යන්නද ඇතැම්හු අසති. මේ ආකාර වූ ප්‍රශ්න වැළක් මේ කියන රාජ්‍ය නැකැත් කමිටුව ලබාදුන් නැකත් සම්බන්ධව පැනනැඟී ඇති බව සමාජයේ බොහෝ කතිකා තුළින්ද පෙනී යනු ඇත. එහෙත් රාජ්‍ය නැකැත් කමිටුවේ දැඩි නිර්දේශ මත හා අධීක්‍ෂණය මත සාදන ලද මේ අවුරුදු නැකැත් චාරිත්‍ර අප කිසිසේත් අවතක්සේරු කරන්නේද නැත. ජ්‍යොතිෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමැති මේ කියන රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් පිළිබඳව කිසිදු තර්කයක්ද අපට නැත. එහෙත් ලබාදී ඇති ඇතැම් නැකැත් සලකා බැලීමේදී යම් ගැටලුවක්ව පවතින්නේ ආහාර අනුභවය හා වැඩඇල්ලීම යන චාරිත්‍රයන් සඳහා සාදන ලද නැකත් තුළ බව ඇතැම් ජ්‍යොතිෂවේදීන් පවසති. වැඩ ඇල්ලීම හා ආහාර අනුභවය සඳහා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට යෙදී ඇති බැවින් එම වේලාව තුළ නිවෙස්වල සිටින කුඩා දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් මේ කියන නැකතට සහභාගි කරවා ගැනීම සම්බන්ධව ගැටලුවක් පවතින බැවින් මෙම නැකැත් බොහෝ දෙනාගේ ගැටලුවකට පත්වී ඇත. මෙරට ජනයාටද ජීවත් වන්නට උභතෝකෝටික ප්‍රශ්න තිබුණද මේ කියන සිංහල හින්දු අලුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මෙරට ජනයා ලකලැහැස්තියෙන් සිටින අතර අවුරුදු කෑමට කෙසේ හෝ වියපැහැදම් දරා ගැනීමට ඔවුහු වගබලා ගන්නේය. එහෙත් රාජ්‍ය නැකැත් කමිටුව ලබාදී ඇති අවුරුදු නැකත් චාරිත්‍ර අනුගමනය කිරීමේදී මෙරට වාසීන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවූවද රජය මගින් ජනතාව වෙත කියා සිටින්නේ මෙම නැකැත් අනුගමනය කරන ලෙසය.

විකල්ප නැකැත් ගෙනා ජාතික නැකැත් කමිටුව

රාජ්‍ය නැකැත් කමිටුව මගින් ගෙන එන ලද නැකැත් පත්‍රයේ ඇතැම් නැකැත්වල බොහෝ ගැටලු පවතින හෙයින් එයින් රටටත්, ජනතාවටත්, රටෙහි පාලකයන්ටත් අනර්ථයක් සිදුවන බව පවසමින් රාජ්‍ය නැකැත් කමිටුවේ ඇතැම් නැකත්ද ගැටලු සහගත බැවින් විකල්ප නැකැත් කමිටුව මගින් පසුගිය (21 වැනිදා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී විකල්ප නැකැත් සීට්ටුව ජනගත කළේය. මෙම විකල්ප නැකත් කමිටුවේ සභාපති රවිශංඛ සේනානායක එහිදී කියා සිටියේ 13 දා මධ්‍ය රාත්‍රියේ යකුන් ගස් යන හෝරාවට ලබාදී ඇති නැකැත් වෙනුවට නිවැරදිව හා ප්‍රායෝගිකව සැකසූ නැකත් මෙරට සිංහල හින්දු ජනතාවට ලබාදී ඇති බවකි.

රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් පිළිපදින්න සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

එළැඹෙන 2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධව මේ වනවිට සමාජය තුළ ආන්දෝලනාත්මක මතවාදයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ අවධානය ඒ සඳහා යොමුකොට ඇත. මේ සම්බන්ධව පසුගිය 25 වැනිදා එම අමාත්‍යාංශය මගින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත නිවේදනයක් යොමු කරමින් කියා සිටියේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙසය. තවද එම නිවේදනයේ දක්වා ඇති පරිදි 1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස්වී අදාළ වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකසා ප්‍රසිද්ධියට පත්කිරීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය වන බවත්ය. මෙම නැකැත් සීට්ටුව සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් 22 දෙනකුගෙන් සමන්විත රාජ්‍ය නැකැත් කමිටුවේ අත්සන් ලේඛනයද එම නිවේදනයේ සඳහන් කොට ඇත. මෙම වසරට අදාළ සිංහල අවුරුදු නැකත් සීට්ටුවද ඒ අයුරින්ම සකස් කොට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2023.10.02 දින ප්‍රසිද්ධ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත.

****

විකල්ප නැකැත් සීට්ටුව

ශත වර්ෂ 1946 හෙවත් ව්‍යවහාර වර්ෂ 2024 සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 12 වන කිවි දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වැනි බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය / සංක්‍රාන්ති කාලය

සංක්‍රාන්ති කාලය නොහොත් නොනගතය වන්නේ අප්‍රේල් මස 13 වන දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අළුයම 3.29 දක්වා වූ කාලයයි.

(සම්ප්‍රදාය අනුව මෙරටෙහි පුණ්‍යකාලය ලෙස මේ කියන කාලය මෙතෙක් භාවිතා කළද නාරද පුරාණ, මුහුර්ත චින්තාමණී මූලාශ්‍රගත සිද්ධාන්ත අනුව අප්‍රේල් මස 13 වන දින දහවල් 12.11 සිට සවස 6.19 තෙක් හිරු අවරට යෑම දක්වා වූ කාලය නිවැරදි පුණ්‍ය කාලයයි. එකී කාලය තුළ ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍යක්‍රියා ආදියේ නිරතවනු මැනවි. යමෙකුට උපවාසයේ යෙදීමට වුවද අවැසි නම් ආධ්‍යාත්මික සුවයෙන් එකී කාරණාව කළ හැකිවේ.)

(සංක්‍රාන්තියේ පූර්ව කොටසටත් හසුවෙන පරිදි පුණ්‍ය කාලය තුළ සවස 4.16 සිට 6.19 දක්වා යෙදෙන අති විශේෂ මහා පුණ්‍ය කාල කොටස තුළ ඉහත වත් පිළිවෙත් වැඩි වැඩියෙන් කර සංක්‍රාන්ති දෝෂ අවම කරවා ගන්න)

අප්‍රේල් මස 13 වන දින දහවල් 2.41 සිට අප්‍රේල් 14 අළුයම 3.29 දක්වා සම්පූර්ණ නොනගතය තුළ කිසිදු ආහාර පානයක් නොගෙන සිටිය යුතුය කියා පැහැදිලි සෘෂි නියමයක් නැත්තේය. නිර්මාංශමය, පහසුවෙන් දිරවන කලින් සකස් කරන ලද කෙටි ආහාරයක් පහසු පරිදි ලබාගැනීමේ වරදක් නොමැත.

සංක්‍රාන්තිය රාත්‍රී කාලයේ නිසා සුබ නැකැත් සාධනය උදෙසා සෘෂි නියමය අනුව දෝෂ සහිත බැවින් සංක්‍රාන්තිය අවසන් වූ පසුව පසු දින සූර්ය උදාව සමඟ පහත පරිදි චාරිත්‍රානුකූලව සූර්ය මංගල්‍යය සමරනු ලැබේ.

ලිප ගිනි මෙළවීම

අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 6.17 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන්ද යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් හා තලමිශ්‍ර කැවිලිද කිරිබතක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්වභාග 07.07 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි සඳුදා දින පූර්ව භාග 10.23 ට මුතු පැහැයට හුරු සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද, පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන බදාදා පූර්ව භාග 06.54 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

(පැළ සිටුවීම අවුරුදු චාරිත්‍ර ගණයෙහිලා වැටෙන එකක් නොවෙන බැවින් ද පොදුවේ සියලු පැළ වර්ග සඳහා එක් පොදු නැකතක් ලබාදීමද ශාස්ත්‍රීයව කළ නොහැකි බැවින්ද එය මෙම සීට්ටුවට ඇතුල් කරනු නොලැබේ)

නානු සෑදීමට ගන්නා ඖෂධ

කලාඳුරු අල, කුංකුමප්පු, සුදු හඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳගන්න. ඉන් පසු ඉඹුල් පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද, ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරා ගන්න. එවිට ලැබෙන දියරය නානුය.

හිසතෙල් සඳහා තෙල් වර්ග

මෙලෙස සාදාගත් නානුද, තෙල් ද, (තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල්, යන පස් තෙල්ද) ගා ස්නානය කරනු මැනවි. (හිසතෙල් ගෑමේ නානු හා තෙල් වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලදී.)

(ඉහත කාල හෝරාවන් දිවාමාන රාත්‍රීමාන සළකා ගණනය කොට ඇත)

****

“මම කියන්නේ රටේ හැමෝටම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න”

මෙන්න අවුරුද්දට කිරිබත් කන හොඳම නැකත

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක

නැකැත් ගැන ඇමැති දෙන කදිම පිළිතුර

පවතින ගැටලුව සම්බන්ධයෙන් සංස්කෘතික විෂය භාර ඇමැති විදුර වික්‍රමනායක මහතාගෙන් අප විමසුවෙමු. පවතින අවුරුදු නැකත් සම්බන්ධව ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

“නැකැත් හදන එක ක්‍රම කිහිපයකට ගණන් හදන්න පුළුවන්. හැබැයි එන්න ඕන එක උත්තරයක්. මේ කියන නැකත්කරුවෝ එක එක ක්‍රමයට ගණන් හැදුවට එන්නෙ උත්තර කීපයක්. එතකොට මේ රට වැටිල තියෙන තත්ත්වය පිළිබඳව අපට හිතාගන්න පුළුවන්. ඉතින් ඒ නැකැත් හරිගිහින් නෑනේ. කොටින්ම කිව්වොත් අවුරුදු 75 කට පස්සේ රට බංකොළොත් භාවයට පත්වෙලා. ඒක තමයි නැකත් ගැන මගේ විග්‍රහය. අපි නැකත් සීට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනවා. එතකොට මේ තියෙන ප්‍රශ්න ඉවරයි. මම කියන්නේ රටේ හැමෝටම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න කියලයි.”

මෙවර අලුත් අවුරුදු නැකත් සඳහා රජයේ නැකැත් කමිටුව ඉදිරිපත් කළ නැකැත් සීට්ටුව හා විකල්ප නැකැත් කමිටුව මගින් ඉදිරිපත් කර ඇති නැකැත් සීට්ටුවද අප මෙසේ දක්වන්නෙමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment