විපක්ෂයෙ සහ ආණ්ඩුවෙ ඉන්නෙ අර්බුදය ඉහගෙන කන අය – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

167

සිස්ටම් චේන්ජ් එක මම ප්‍රායෝගිකව කරපු කෙනෙක්
වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගන්න
අපට අවශ්‍ය නෑ. ඒකට ආරාධනා ඕනෑවටත් වැඩිය තියෙනව

නව රජය ඉදිරිපත් කළ අතුරු අයවැය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම බිහි කරන නව සභාගය ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුණගැසුනෙමු. පහතින් පෙළගැසෙන්නේ ජනිපේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනයාට යම් සහනයක් සැලසීමේ අරමුණින් අතුරු අයවැයක් ගෙන ආ බව ආණ්ඩුව කීවත්, මේ ඉදිරිපත් කරල ඇති අතුරු අයවැයත් සමඟ එන්නෙ අයිඑම්එෆ් කස හඬ බව ඇතැම් අය සඳහන් කරනවා. මෙම අතුරු අයවැය සම්බන්ධයෙන් ඔබගේ අදහස කෙසේද?

පිළිතුර – මේ අතුරු අය-වැය එන්නෙ අපි ආර්ථික වශයෙන් බරපතළ විදිහට අර්බුදයට පත්වෙලා ඉන්න නිසා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ අර්බුදය හඳුනාගනිමින් ඒක ජයගැනීම සඳහා වූ ස්ථිරසාර අධිෂ්ඨානයකින් ගෙන එන අතුරු අයවැයක් ඒවි කියලා. ඒත් දැන් වෙලා තියෙන්නෙ දැඩිසත්කාර ඒකකයේ ඉන්න ආර්ථිකය නැමැති ලෙඩාට පැරසිටමෝල් පොවල, යන ගමන් අතින් පහරකුත් දීමයි. මේ අයවැයේ පේන්නේ නෑ අපි විදේශ විනිමය අර්බුදය ජයගන්න විදිහ. ඒකට තියෙන සැලැස්ම. අයිඑම්එෆ් එකෙන් ණය ගත්තත් ඒක ටික කාලයකින් අවසන් වෙනව. ඒ නිසා මේකට තියෙන ස්ථිර විසඳුම කාගෙන් හරි ණයට ගන්න එක නෙමෙයි. ඒකෙන් කියෙන්නෙ ණය ගන්න එපා කියන එක නෙමෙයි.

මම කියන්නෙ අපි විදේශ විනිමය උපයන මාර්ග මොනවද කියල මේ අවස්ථාවෙ පැහැදිලි කළ යුතුයි. අපේ රටේ පෙදරේරුවන්, වඩු කාර්මිකයන් වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස්වලට අද වැඩ නෑනෙ. අපේ වෘත්තීය පුහුණු ආයතනවලින් ගමින් ගමට ගිහින් ඔවුන්ගෙ තත්ත්වය බලල, ඔවුන්ගෙ වෘත්තීය තත්ත්වය මදි නම් ඒක තව වැඩිදියුණු කරල, NVQ සහතිකයක් දුන්නනම් විදෙස් රටවලට යවන්න තිබුණ. ඊට පස්සෙ ඒ මිනිස්සු ඊළඟ මාසයෙ ඉඳන් රටට විදේශ විනිමය එවනව.

රාජ්‍ය වියදම් අඩුකරන්න යෝජනා කරන ගමන්, අලුතෙන් රාජ්‍ය ආයතන කිහිපයක් හදන්නත් යෝජනා කරනව. ඒවට මිලියන 200, 300 වෙන් කරනව. මේව පරස්පරයි. ඒ හින්දා මේ අතුරු අයවැයෙන් පේන්නෙ නෑ මේ ආර්ථික අර්බුදයෙ ගැඹුර තේරුම් අරන් තියෙනව කියල. අනෙක ආර්ථික තීන්දුවලදී මුළු බර සමාජය මතට මුදාහැරල. බැංකු පොලී අනුපාතය 30% විතර කළාම කිසිම කර්මාන්තයක් පත්වාගෙන යන්න බෑ. ඒ වගේම බැංකුවලට සල්ලි එන්නෙත් නෑ. කවුද ඔය පොලිය ගෙවන්නෙ.

ප්‍රශ්නය – මේ අර්බුදය කාගෙ හරි මඩිය තරකර ගැනීමේ මගක් කරගෙන තියෙන බවද පෙනෙන්න තිබෙන්නේ ?

පිළිතුර – දැන් මේ අර්බුදය පෙන්වා එය අවස්ථාවක් කරගෙන රාජ්‍ය ආයතන විකුණන්න හදනව. ඔය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නෙ ඒකනෙ. ශ්‍රී ලංකන් වගේ එකක් නම් කමක් නෑ, මොකද ඒක අපිට කරගහගෙන යන්න බෑ. හැබැයි පෙට්‍රෝලියම් එක ඇතුලෙ, විදුලිබල මණ්ඩලය ඇතුලෙ මාෆියා තියෙනවා, ඒවා වෙනස් කරන්න ඕන, එහෙම කියල බලශක්තිය සම්බන්ධයෙන් රටක තියෙන්න ඕන සුරක්ෂිතතාවය අහිමිකර ගන්න ඕනද? අයිඕසී එක තෙල් බිස්නස් එකේ ඉන්නව අපිත් එක්ක. ඔවුන් ලංකාවෙන් ගෙනියන්නෙ රුපියල් නෙමෙයි ඩොලර්. ඉතින් අයිඕසී එක කරන බිස්නස් එකෙන් අපේ රටේ ඩොලර් එළියට යනව මිසක් වැඩිවෙන්නෙ නෑ. ඊළඟට ඒ අය තෙල් ගේන්නෙ ඉන්දියාවෙ තියෙන ඩොලර්වලින් නෙමෙයි, අපේ බැංකු පද්ධතියෙ තියෙන ඩොලර්වලින්. එතකොට විදේශීය සමාගම් තෙල් ප්‍රශ්නයට ආව කියල ඩොලර් ලැබෙන්නෙ නෑ. ලෙඩේ තියෙන්නෙ එක තැනක, බෙහෙත් කරන්නෙ වෙන තැනකට.

ප්‍රශ්නය – ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා එන්නෙත් අයිඑම්එෆ් කොන්දේසි ලෙස බව සඳහන් වන කාරණයක්. අපි කැමැති වුණත් අකැමැති වුණත් ඔවුන් කියන විදිහට නේද මේ වෙලාවෙ වැඩකරන්න වෙන්නෙ.

පිළිතුර – කවුරුවත් මත විශ්වාසය තියල වැඩකරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මේ. ඉන්දියාව බිලියන තුනක් දුන්න. වාෂ්ප වෙන්න මාස තුනයි ගියේ. අයිඑම්එෆ් ලැබෙන ඩොලර්වලටත් වෙන්නෙ ඒක. අපි මුලින්ම අපේ වැරැදි හදාගන්න ඕන. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් අපේ වැරැදි තියෙනව. ඒවා සම්බන්ධයෙන් භය නැතිව තීරණ ගන්න ඕන.

ප්‍රශ්නය – මොනවද ඒ වැරැදි තීරණ….?

පිළිතුර – විදුලි බල මණ්ඩලයෙ තියෙන සමහර මාෆියා, පෙට්‍රෝලියම් එකේ තියෙන මාෆියා ඒවා කඩන්න ඕන. ඒවත් එක්ක හැපෙන්න ඕන. විදුලිබල මණ්ඩලයෙ අය විශ්‍රාම වැටුපත් ගන්නව ඊපීඑෆ් එකත් ගන්නව. ඒ වගේම පාඩු වුණත් බෝනසුත් ගන්නව. එහෙම බෑ… ඒවා සුද්ධ පවිත්‍ර කරන්න ඕන. හැබැයි දැන් කරන්න හදන්නෙ ලෙඩේට බෙහෙත නොදී, බේසමයි, වතුරයි, ළමයවයි තුන්දෙනාවම විසි කරන්න. උණු වතුර ටික විසි කරන්න. ළමයව තියාගන්න.

ප්‍රශ්නය – මේ තියෙන ආර්ථික අර්බුදයට ඉක්මනින් කළ හැකි දේවල් විදිහට ඔබතුමාගෙ යෝජනා මොනවද?

පිළිතුර – අපි විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් ගෙන්නගන්න නම් ඔවුන් තුළ විශ්වාසය ඇතිකරන්න ඕන. ඒ විශ්වාසය ඇති කරන්න පනතක් ගෙන්න ඕන. ඒක දැන් ලංකාවෙ කෙටුම්පත් කරල තියෙන්නේ. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ පනතක්, ඒ පනත මෙහෙ සම්මත කළ ගමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය භාර ගන්නව අපේ කවුරු හරි දේශපාලනඥයෙන් මේ රටේ මුදල් උපයල ඒ මුදල්, වෙන කොහේ හරි රටක දේපළ විදිහට තියෙනව නම් ඒ අය හොයල අපට කියනව. අන්න එහෙම පනතක් සම්මත කර ගන්න ඕන. ඒකෙන් ජනතාව තුළ විශ්වාසයක් ඇතිකරන්න පුළුවන්. ඒ විශ්වාසය ඇතිවුණාම තමයි දැන් හොර පාරෙන් එවන ඩොලර් ටික හරි පාරෙන් එන්නෙ. එහෙම සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් අපිට උපයාගන්න පුළුවන්. ඒ වගේම රජයේ සේවකයන්ට අවුරුදු 5ක් විදෙස් රැකියාවක නියැළෙන්න දුන්නු යෝජනාවත් හොඳ එකක්.

වාලච්චේන කඩදාසි සංස්ථාව අබලිවලට විකුණන්න තමයි දාල තිබුණෙ. කවුරුවත් හිතුවෙ නෑ ඒක ආයෙත් පටන් ගනියි කියල. අපි ඒක විවෘත කළා. කඩදාසි හදන්න පටන් ගත්ත. ඒකෙ හදපු කඩදාසවලින් තමයි ලොතරැයි මණ්ඩලයෙ ලොතරැයි මුද්‍රණය කරන්නෙ. මීට කලින් ඉන්දියාවට තමයි මේ සල්ලි ටික ගියෙ.

ප්‍රශ්නය – නමුත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කියල තිබුණ වාලච්චේන කඩදාසි කර්මාන්තය පාඩු ලබන ව්‍යාපාරයක් බව.

පිළිතුර – මම ඒකට උත්තර දුන්න පාර්ලිමේන්තුවෙදි. ඒ මහත්තය දන්නෙ නෑ අපි ඒක විවෘත කරල අලුතෙන් කඩදාසි නිපදවනව කියල. අද සේවකයො එකසිය ගාණක් වැඩ. දවසින් දවස නිෂ්පාදන ධාරිතාව වැඩිවෙනව. ආදායම වැඩිවෙනව. මේව තමයි ආර්ථික අර්බුදයට උත්තර.

ප්‍රශ්නය – ඇත්තටම වාලච්චේන කඩදාසි නිෂ්පාදනය ලාභද?

පිළිතුර – අපි ඉන්දියාවෙන් කඩදාසි ටොන් එකක් ගේන්න රුපියල් ලක්ෂ 6ක් යනව. අපේ ටොන් එකක් නිෂ්පාදනයට යන්නෙ ලක්ෂ 5යි. ලොතරැයි මණ්ඩලයෙ සභාපතිතුමා මට කිව්ව කඩදාසියෙ ප්‍රමිතිය ඉන්දියාවට වඩා හොඳයි කියල.

ප්‍රශ්නය – ඔබතුමා හිටපු කර්මාන්ත ඇමැතිවරය. අයවැයෙන් බදු වැඩිකිරීම කර්මාන්තවලට කරන බලපෑම දකින්නෙ මොනවගේද?

පිළිතුර – බදු ප්‍රතිශත විතරක් නෙමෙයි, ණයවර පොලී අනුපාතත් වැඩිකරල. දැන් තියෙන පොලී අනුපාතය අනුව තමන්ගෙ ව්‍යාපාරය පවත්වගෙන යන ගමන් පොලී වාරිකය ගෙවන්න බෑ. ඒකෙන් වෙන්නෙ කර්මාන්තකරුවන් බැංකුවට කියනව අපිට ගෙවන්න බෑ කියල. එහෙම වුණොත් මීට පෙර 10% පොලියට ආපු බැංකු වාරිකයත් බැංකුවට නැතිවෙනව. එහෙම බැලුවාම කර්මාන්ත කඩා වැටෙනව විතරක් නෙමෙයි බැංකුවට එන ආදායම අඩුවෙනව. මහ බැංකුව තීරණ ගන්නෙ ආර්ථිකය හකුළුවන්න. හකුළුවන්න ඕන, මේ රටේ පරිභෝජනය සීමාකර ගන්න ඕන. හැබැයි ඒකෙදි අපේ කර්මාන්ත සහ ව්‍යාපාර ජාලය විනාශ කරගැනීම කළ යුතු නෑ. එතන තියෙන්නෙ රැකියා. පවුල් ලක්ෂ ගාණක යැපුම් මාර්ග. ඒ නිසා මේ අර්බුදයේ බර සම්පූර්ණයෙන් සමාජයට දිය යුතු නෑ.

ප්‍රශ්නය – ඔබ ආර්ථික ඝාතකයෙක් ගැන කලක් තිස්සේ කතා කළා. ඔබ කියපු ආර්ථික ඝාතකයො දැන් පේන්න නෑ. නමුත් වර්ථමානයෙත් ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන ඇතැම් අයගේ කටයුතු දෙස බැලීමේදී ආර්ථික ඝාතකයෝ තවමත් ඉන්නවා ද යන්න සිතා බැලිය යුතු කටයුත්තක් නොවේද?

පිළිතුර – පී. බී. ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් විදිහට මම කිව්වෙ 2007දි විතර. ඒක අද කවුරුත් පිළිගන්නව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගාව ඉඳල මෙයා කළේ ආර්ථිකය ඇත්ත තත්ත්වය හංගල සුබ සිහින මැවීම. පී. බී. ජයසුන්දර දැනගෙන හිටිය මේ ආර්ථික අර්බුදය ගැන, දැනගෙන තමයි කටයුතු කළේ. ඒ තමයි ආර්ථික ඝාතකයන්ගෙ හැටි.

දැන් මේ සමහර නිලධාරීන් ගැනත් ඒ සැකය තියෙනව. හැබැයි මම ඒක දැන්ම ප්‍රසිද්ධියෙ කියන්න ඉක්මන් වෙන්නෙ නෑ. ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව මෙවැනි අර්බුදයකදි ආර්ථිකය හකුළුවලා, මහජනයා මිලදී ගැනීමේ හැකියාව අඩු කරල, විදේශ රටවලින් එන්න තියෙන භාණ්ඩ බිඳවට්ටල, එමගින් විදේශ විනිමය අවශ්‍යතාව අඩුකරගෙන මෙය විසඳාගන්න කියන්න ආර්ථික විද්‍යාඥයන්ට පුළුවන්. හැබැයි ඒ උත්තර විනාශකාරීයි. අපි බලන්න ඕන විදේශ විනිමය උපයන්න පුළුවන් මාර්ග. ඒ මාර්ගවලට තමයි අවතීර්ණ වෙන්න ඕන. ඒක නෙමෙයි මේ වෙන්නෙ.

ප්‍රශ්නය – සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ උත්සාහය තවමත් තියෙනව. ඔබතුමන්ල තමයි මුලින්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළේ. ඇයි දැන් ඒ ගැන කතාවක් නැත්තේ…?

පිළිතුර – විපක්ෂයෙ සහ ආණ්ඩුවෙ ඉන්න බොහෝදෙනා මේ අර්බුදය ඉහගෙන කන්න තමයි හදන්නෙ. මම මීට පෙර කිව්ව මේ අර්බුදය තමන්ට වාසි වෙයි කියල හිතක වැඩකළොත් ඒකෙ වාසිය යන්නෙ හිතන්නෙ නැති අයට කියල. දැන් බලන්න, ගෝඨාභය රාජපක්ෂට බැණ බැණ දෙල්කඳ පොළේ හිටපු සුසිල් ප්‍රේමජයන්ත දැන් ඇමැති කෙනෙක් වෙලා, සභානායක වුණා. අවුරුදු එකහමාරක් පරක්කුවෙලා පාර්ලිමේන්තුවට නම්කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේ අර්බුදය විසින් අගමැති කරල පසුව ජනාධිපති කළා. තමන්ට අගමැතිකමක් ලැබෙයි කියල නොහිතපු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අගමැති වුණා. ඒවායින් පේනවා මේ ස්විප් ඇදෙන්නෙ හිතන අයට නෙමෙයි කියල. තාම සමහර පක්ෂවල අය හිතනව මේක හොඳටම චොර කරල දැම්මම තමයි අපිට හොඳ කියල.

ඇයි මම විපක්ෂයෙ ඉඳල රුසියානු නියෝජිතයන් එක්ක තෙල් ප්‍රශ්නය ගැන කතා කරන්නේ. මටත් ඉන්න පුළුවන් තෙල් පෝලිම් වැඩිවෙනකම්. එතකොට ආණ්ඩුව එපාම වෙලායයි. ඒත් අපිට එහෙම ඉන්න බෑ. ඒ නිසා මේ වගේ පොදු අර්බුදයකදී එකට එකතුවෙලා විසඳුම් හොයන්න ඕන. ඒත් ඒක මගහැරපු කැත දේශපාලනයක් තමයි දැන් තියෙන්නෙ.

ප්‍රශ්නය – ඔබතුමන්ල සූදානම්ද සර්වපාක්ෂික ආණ්ඩුවකට…

පිළිතුර – රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්ඩුවට ගිහින් ඇමැතිකමක් ගන්න අපට අවශ්‍ය නෑ. ඒකට ආරාධනා ඕනෑවටත් වැඩිය තියෙනව, නමුත් එවැනි වුවමනාවක් නෑ. අපි කියන්නෙ කවුරුත් එකතුවෙලා මේක ගොඩදාමු කියල. එහෙම ගොඩදාල මිනිස්සු සෑහීමකට පත්වෙන අවස්ථාවෙදී මහමැතිවරණයකට යමු.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියල තියෙන්නෙ විමල් නම් එයි කියල නේද?

පිළිතුර – ඒක වැරැදි අදහසක්. ඒ කිව්වෙ සර්වපාක්ෂික එකක් හැදෙනව නම් එයි කියල. ඒක ඇත්ත. සර්වපාක්ෂික වැඩපිළිවෙළක්, සර්වපාක්ෂික එකඟාතාවක් ඇතිවන පාලනයකට අපි වගකීම් අරන් කටයුතු කරන්න කැමැතියි.

ප්‍රශ්නය – ඔබතුමා ඇතුළු කණ්ඩායමක් දැන් අලුත් සභාගයක් පිහිටුවන්න යනව. ඒ හරහා ඉදිරි මැතිවරණයකදී බලය ලබාගැනීමේ හැකියාවක් ලැබෙයි කියල විශ්වාසද?

පිළිතුර – ඔව්…

ප්‍රශ්නය – ඒකට සුදුසු පිරිසක්ද එකතු කරගෙන ඉන්නෙ…?

පිළිතුර – මේක ආරම්භයේ ඉන්න පිරිසක් විතරක් නෙමෙයි එන්නෙ. ඉදිරියේදී තව තව සුදුසු පිරිස් ඒකට එකතුවෙනව. අපි මේකෙ මූලාරම්භය තබනව, මහජනයාට එකතුවෙන්න ඕන මධ්‍යස්ථානය හදනව. මහජනයාට දේශපාලනඥයා පොදුවේ කලකිරුණ පිරිසකුත් ඉන්නව. ඒ වගේම සුදුසු දේශපාලන බලවේගයක් එක්ක ඉදිරියට ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න මහබලවේගයකුත් ඉන්නව. මෙච්චර කල් අපේ රටේ පාලනය කළේ එක්කෙනෙක් දෙන්නෙක්. එක්කො උඩරට ප්‍රභූ පැළැන්තියෙ එක්කෙනෙක්, එක්කො පහත රට ප්‍රභූ පැළැන්තියෙ එක්කෙනෙක්. මේ ප්‍රභූ පැළැන්තියෙ නායකයන්ට මේ පොළොව ගැන හරි කියැවීමක් නෑ. ඒ නිසා අපේ සාමාන්‍ය සමාජයෙන්, නිදහස් අධ්‍යාපනයෙන් ආපු මේ පොළොවේ තියෙන දුක වේදනාව හොඳින් හඳුනන මිනිස්සු අතට මේ රටේ පාලනය යන්න ඕන.

ප්‍රශ්නය – ඒ තැනට විමල් වීරවංශ සුදුසුයිද?

පිළිතුර – ඒක මහජනයා තීරණය කරයි. මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් ගොඩක් කට්ටිය සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවනෙ. මම ඕක ප්‍රායෝගිකව කරපු කෙනෙක්. ඛනිජ වැලි ටෙන්ඩරය ගන්නකො. ඒ ටෙන්ඩරය කාට ගියත් හොරාකනවා. ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් විදිහට සිටිද්දී මම කැබිනට් පේපර් එකක් දැම්ම මේ ටෙන්ඩර් ක්‍රමය වෙනස් කරල ඒක ඔන්ලයින් ක්‍රමයට දාල, ඒකට විශේෂඥයන් පත්කරල ඔවුන්ගෙ යෝජනා ගන්න. ඒ යෝජනා අනුව එකක් අරගෙන ක්‍රියාකරල එහි සාර්ථක අසාර්ථක බව කැබිනට් එකට කියන්න. මට ඒකෙ දිගට ඉන්න බැරිවුණාට පසුගිය සතියෙ ඒකෙ පළමුවැනි ඔන්ලයින් ටෙන්ටර් එක ආව. මෑත ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් 300කට එහා මෙටි්‍රක් ටොන් එකකට ලැබුණ. මීට පෙර ඒක තිබුණෙ ඩොලර් 100, 200 සීමාවෙ. ඊට පස්සෙ පැය 7ක් ඉවර වෙද්දි ටෙන්ඩරය තෝරගත්ත කෙනාට ඊමේල් එක යනව. ඔබ තේරිල තියෙනව මුදල් ගෙවා භාණ්ඩ රැගෙන යන්න කියල. ඊළඟට එන කෙනාට 300ට වැඩියෙන් තමයි දාන්න වෙන්නෙ. අනෙක මේ එන්නෙ අතරමැදියො නෙමෙයි, කර්මාන්තයෙ ඉන්න අය. දැන් මම කිව්ව ටෙන්ඩර් එක ගිහින් තියෙන්නෙ සිංගප්පූරුවෙ ඔෆිස් එක තියෙන රුසියාවෙ කර්මාන්ත තියෙන සමාගමකට. දැන් ඒ අයට අනිසි බලපෑමක් නෑ. ඔන්ලයින් වැඩේ යනව, පැය 7න් වැඩේ ඉවරයි. ඕක තමයි සිස්ටම් චේන්ජ් එක. අපි ඒක ප්‍රායෝගිකව කළා. මේ විදිහට තාක්ෂණය පාවිව්චි කරල හැමදේම කළොත් හොරාකන්න බෑ. කොමිස් ගහන්න බෑ.

ප්‍රශ්නය – මහජනතාව ඉල්ලනව දේශපාලනයෙත් සිස්ටම් චේන්ජ් එකක්…

පිළිතුර – අපේ දේශපාලනයෙ ප්‍රාදේශීය සභාවල, පළාත් සභාවල ඉන්න ගොඩ දෙනෙක්ට හුරු කරන්නෙ මහජන ධනය ගසාකන්න. මම කියන්නෙ ඒ මනසින් ඉන්න අය නෙමෙයි අපේ දේශපාලනයට එන්න ඕන. එන්න ඕන රට, දැය සමය ගැන ආදරය තියෙන අය. එහෙම අයට එන්න පාරක් නෑ. එහෙම අයට පාරක් නෑ. අපේ සභගයේ අරමුණ එහෙම අය තෝරගැනීම. එහෙම අයගෙන් දේශපාලනය පිරවීම.

ප්‍රශ්නය – නව සභාගයෙ නායකයා කවුද?

පිළිතුර – වාසුදේව නානායක්කාර මහත්තය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරල තිබෙන නිසා මම මේ කියන්නෙ. එහි සභාපති විදිහට තෝරගෙන තියෙන්නෙ මාව. ඒ සභාගයෙ නමයි, ඉතිරි තනතුරු ගැන අද (04 දා) මහරගම තරුණ සේවා සභාවෙදි පැවැත්වෙන සමුළුවෙදි එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

සංවාදය –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment