ඒත්….. තවම කඹඇදිල්ලක්…!

ඛනිජ සම්පත් කර්මාන්තයට අදාළ විශාලතම ආයෝජනය

රටක දියුණුවට මූලික හේතු වන්නේ එරට භූමිය සතු සම්පත් වන්නේය. පොළවෙන් ලද සම්පතින් ලොව ධනවත් ආර්ථිකයේ හිනිපෙත්තටම යන්නට අද බොහෝ රටවල් සමත්වී ඇත. අරාබිය, රුසියාව, ඇමෙරිකාව, ලිබියාව ආදී රටවල් තම ආර්ථිකයේ වේගය අතින් බොහෝ ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ගේ භූමියේ පිහිටි තෙල් ආකාර හේතුවෙනි. ආසියාතික රටක් වන අපේ රටේ පොළොවේ මැණික්, මිනිරන්, ඉල්මනයිට්, පොස්පේට්, ඛනිජ වැලි ආදියෙන්ද අනූනය. යටත් විජිතය පාලනයකට නතුව තිබූ ලංකාවේ ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසීන්ද මෙරට සතු සම්පත් නැව් පිටින් පිටරට පැටවූයේ මෙරට සම්පත් ආකාරයක් බැවිනි. 1948 න් පසු සුද්දා ඉතිරි කර ගිය ලංකාවේ ශේෂ වූ සම්පත් අවුරුදු 75ක් ගිය කලද තවමත් තියෙන සම්පත් වලින්වත් අප ප්‍රයෝජන ගෙන නොමැත.

මේ වන විට මුළු ලෝකයම යෙදී සිටින්නේ දැඩි තරගයකය. මේ තරගයට ඉන්ධන අවශ්‍යය. ඊට අවැසි දේවල් නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍යවලින් එක් කොටසක් පොළොවෙන් හාරා ලබා ගන්නා අතර තවත් කොටසක් අප වගා කර ලබා ගනී. ශ්‍රී ලංකාව ගත් කල මේ සාධක දෙක අතරින් ඉතා ඉහළින් තිබෙන රටකි. මේ අතරිනුත් පොළොවෙන් ලබාගන්නා ඛනිජ සම්පත් අතරින් ඉතා සුවිශේෂී ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

අප රට සතු ඛනිජ සම්පත් ප්‍රමාණය මොනවාදැයි සහ කොපමණ ප්‍රමාණයක් පවතිනවා දැයි කියාවත් අප තවමත් හරි හැටි දන්නේ නැත. මෙරට සමාගම් සහ විදෙස් සමාගම් ඒකාබද්ධව මේ වනවිටත් රටේ විවිධ පළාත්වල විවිධ පර්යේෂණ සිදු කරමින් පවතී. අප නිදා සිටින්නේ මහා ධන නිධානයක් උඩ යැයි කතාවක් තිබේ. සැබවින්ම එය සත්‍යයකි. නමුත් ගැටලුව වන්නේ එම මහා ධන නිධානය නිසි පිළිවෙළකට ගොඩ ගැනීමට අප රට තුළ ඊට අවශ්‍ය තාක්‍ෂණය මෙන්ම ප්‍රාග්ධනයද නොමැති වීමය.

මෙරට තුළින් මහා පරිමාණයෙන් සොයා ගත් ඛනිජ සම්පත වන්නේ මිනිරන්ය. එය බි්‍රතාන්‍ය පාලන යුගය දක්වා ඇදී යන අතර 1919 වර්ෂයට පෙර මෙරට ආර්ථිකයෙන් 20%ක දායකත්වයක් දැක්විය. එකල රට තුළ මිනිරන් පතල් විශාල සංඛ්‍යාවක් පිහිටි අතර මේ වන විට මෙරට පවතින මිනිරන් පතල් සංඛ්‍යාව දෙකකි. මිනිරන්වලට අමතරව මේ රට සතු අනෙකුත් ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ද අඩුවී ඇත. එයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ගවේෂණයට පවතින දුෂ්කරතාවයි.

ගවේෂණයෙහි පවතින දුෂ්කරතා

ඛනිජ සම්පත් ගවේෂණය අප සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එහි පළමු අදියර සඳහා අවම වශයෙන් අවුරුදු 3-5ත් අතර කාලයක් ගත වේ. එම කාලය තුළ පවතින අවදානමද ඉතා ඉහළ වන අතර කොපමණ මුදල් වැය කළත් මේ අවස්ථාවේදී ව්‍යවසායකයාට සෘජු ප්‍රතිලාභයක් හිමි නොවේ.

මෙම ක්‍රියාවලියෙහි දෙවැනි අදියර බවට පත් වන්නේ බලපත්‍ර සහ ශක්‍යතාව නමැති කොටසයි. මෙහිද අවදානම ඉහළ වන අතර මේ අවස්ථාවේදී ද ව්‍යවසායකයාට සෘජු ප්‍රතිලාභයක් හිමි නොවේ. මේ සඳහාද වසර 3-5ත් අතර කාලයක් ගතවේ. මෙම ක්‍රියාවලියෙහි තෙවන අදියර වන්නේ ඉදිකිරීම් අංශයයි. එහි අවදානම මධ්‍යස්ථ වන අතර ඒ තුළද ව්‍යවසායකයාට සෘජු ප්‍රතිලාභයක් හිමි නොවේ. මෙම ක්‍රියාවලියේ සිව්වර අදියර වන්නේ මෙහෙයුම් ක්‍රියාවලියයි. එහි අවදානම මධ්‍යස්ථ වන අතර තමන් ආයෝජනය කළ මුදලට සරිලන ලෙස ක්‍රම ක්‍රමයෙන් මුදල් හිමිවීම සිදුවේ. මෙම ක්‍රියාවලියෙහි අවසන් අදියර පතල වැසීම සහ පුනරුත්ථාපනයයි. එහි අවදානම මධ්‍යස්ථ වන අතර ව්‍යවසායකයාට එම අවස්ථාවෙහිද මුදල් හිමිවීමක් සිදු නොවේ.

පුත්තලමෙත් ඉල්මනයිට් නිධියක්

අප මෙම සියලු කරුණු සිදුවන ක්‍රියාවලිය පැහැදිලි කළේ සුවිශේෂී කරුණක් හේතුවෙනි. පුත්තලම අරුවක්කාරුව ප්‍රදේශය අප හඳුනන්නේ සිමෙන්ති සංස්ථාව සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් ලබාගන්නා ප්‍රදේශයක් වශයෙනි. එය 1970 ගණන්වල සිට මේ දක්වා වැඩබිමක් ලෙස පවත්වාගෙන යන ප්‍රදේශයකි. වසර පනහකට ආසන්න කාලයක් තිස්සේ සිමෙන්ති සමාගම විසින් මෙම භූමියෙහි මතුපිට පස් හාරා ඉවත් කර පැත්තකට ගොඩගසන්නේ ඒ තුළ ඔවුන්ට කිසිදු වටිනාකමක් නොමැති නිසාය. ඔවුන්ට අවශ්‍ය වන හුණුගල් පවතින්නේ මෙම අඩි 20 ත් 60 ත් අතරය. මෙම කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ මෙසේ සිදුවෙද්දී මෙම ඉවත දමන පස් ස්ථරය තුළ ඉතා වටිනා ඛනිජ සම්පත් පවතින බව විශ්වාස කරන මෙරට සමාගමක් ඔස්ට්‍රේලියානු සමාගමක් සමග සම්බන්ධ වී ඔවුන්ගේ තාක්‍ෂණය යටතේ පර්යේෂණ ආරම්භ කරන්නේ ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් වැය කරමිනි. කොවිඩ් වසංගතය, අරගල සමය මෙන්ම ආර්ථික අර්බුදය ආදී සියලු කරුණු හමුවේ වසර ගණනක් අපතේ ගියත් මේ වන විට මෙහි කැණීම් කටයුතු සිදුකළ පුත්තලම ඉල්මනයිට් සමාගම ජයග්‍රාහී මාවතකට පය ඔසවා අවසන්ය. ඒ සිමෙන්ති සමාගම විසින් ප්‍රයෝජනයට නොගෙන ඉවත දමන පස් තුළ ඉතා වටිනා ඛනිජ සම්පත් ඇති බව අනාවරණය කර ගැනීම හේතුවෙනි. මේ තුළ සර්කෝන්, රූටයිල්, ඉල්මනයිට්, ටයිටේනියම් වැනි ඉතා ඉහළ වටිනාකමකින් යුතු ඛනිජ සම්පත් රාශියක් පිහිටා ඇතැයි අනාවරණය වේ.

“මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද” යනුවෙන් අපේ පුරාණ මුතුන් මිත්තන් පැවසුවේ නිකම් නොවේ. යම්කිසි වස්තුවක වටිනාකම දන්නා පුද්ගලයකු එවන් සම්පතක් දුටු සැණින් එහි ඇති වටිනාකම හඳුනා ගනී. සිමෙන්ති සංස්ථාව එවන් වටිනා සම්පතක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙනම යළි පොළොවට වසර පනහක් තිස්සේම යට කර තිබේ. එය එක අතකින් සිමෙන්ති සංස්ථාවේ වරදක් නොව ඒ සඳහා විශාල මුදලක් වැයවීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට නොමැති වීමද එයට හේතුවයි.

ඔස්ටේලියානු සමාගම රට හැර යයි

‘බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ.’ ඉහත උපහැරණය අපට සිහි වන්නේ පුත්තලම ඉල්මනයිට් සමාගම පවසන ආකාරයට මෙම ඉල්මනයිට් නිධිය නිල වශයෙන් සොයාගෙන මේ වන විට වසර ගණනාවක් ගෙවී ගියත් මේ දක්වාම අප පෙර සඳහන් කළ මෙහි තෙවන අදියර සඳහා ප්‍රවිෂ්ට වීමට කිසිදු සමාගමකට මෙතෙක් අවසර හිමි වී නොමැති නිසාය. රටේ මහා මූල්‍ය අර්බුදයක් ඇතැයි නිරන්තරව පවසන ආණ්ඩුව මේ දක්වා මේ මහා ධන උල්පත පාදා ගැනීමට අවසර ලබාදී නොමැත. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මේ සඳහා මූලික වී ක්‍රියා කළ ඔස්ට්‍රේලියානු සමාගම මෙම කාර්ය දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් රට හැර යෑමය.

ප්‍රමාද වුණොත් රටට අහිමිවෙන හැඩක්..

ඕනෑම ඛනිජ සම්පතකට වටිනාකම හිමිවන කාලයක් තිබේ. එම කාලය තුළ එම සම්පතින් නිසි ඵල ප්‍රයෝජන නොලැබුවහොත් අපට ලොව හොඳම ඛනිජ සම්පත් කොපමණ තිබුණත් පලක් නැත.

අප මුලින් සඳහන් කළා මෙන් අප මහා ධන නිධානයක් උඩ නිදා සිටින ජාතියකි. නින්දෙන් අවදි වී එම සම්පත ගොඩ ගෙන දියුණු වීමට අවැසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට අප හැමදාමත් නින්දෙන් පුරසාරම් දොඩවන ජාතියක් බවට පත්ව ඇත.

මේ වන විට මැඩගස්කරය වැනි රටවලින්ද ඉල්මනයිඩ් නිධි සොයාගනිමින් පවතී. මේ ආකාරයෙන් මෙරටට එන ආයෝජකයන් දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් සිදුවන්නේ අප සතුව පවතින ඛනිජ සම්පතින් කිසිදු වටිනාකමක් නැතිව යෑමයි. විදෙස් ආයෝජකයන් ‘එළුවාගේ මොකක්ද එක වැටෙනකම් බලා සිටිනවා වගේ’ වසර ගණන් ආයෝජන සිදු කිරීමට බලා සිටින්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ඉක්මනින් ඔවුන් ආයෝජනය කරන මුදලින් ප්‍රයෝජන ලැබීමටය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඩොලර් උල්පත් නිසි කාලේ පාදා නොගත්තොත් වැසී යෑම වැනි ක්‍රියාවකි.

ඩොලර් මිලියන සීයක ආයෝජනයක්

ඩොලර් හොයන්න නම් මෙන්න පුත්තලමේ ඉල්මනයිට්

මෙම ඉල්මනයිට් නිධියෙහි මුලින් පර්යේෂණ කටයුතු කළ ඔස්ට්‍රේලියානු සමාගම මෙරට හැරයෑමෙන් පසු මෙරට සමාගම් වන ඩිල්මා, හේලිස් සහ ඇක්සස් ඉංජිනියරින් සහ තවත් චීන සමාගමක් සමග සම්බන්ධ වී ඩොලර් මිලියන සීයක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය, BOI, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, උතුරු මැද පළාත් පරිසර අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය වැනි ආයතන රාශියකින් අවසරයද හිමිකරගෙන ඇත. මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ නීත්‍යානුකූල ලෙසම පර්යේෂණ කටයුතු සිදු කරන සමාගමට අනිවාර්යයෙන්ම ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට දිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදනයක් පැවතීමයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ පර්යේෂණ කටයුතු ආරම්භ කොට මෙම භූමිය තුළ නිශ්චිතව ඇති බව සොයාගෙන ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇතත් මෙම මහා ධන උල්පත ගොඩ ගැනීමට මෙම භූමියට බැල්ම හෙළන බහිරවයන් විසින් ඉඩකඩ සලසා නොදීමයි.

නව රැකියා රැසක්

මෙම ඉල්මනයිට් නිධිය ආශ්‍රයෙන් නව කර්මාන්තශාලාවක් බිහි වුවහොත් අලුතින් සෘජු රැකියා අවස්ථා 400ක් පමණ බිහිවනු ඇත. ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා රාශියක් නිර්මාණය වන අතර වසර හතළිහක පමණ කාලයක් යනතුරු මෙම මහා ධන උල්පතින් ප්‍රයෝජන ලැබිය හැකි යැයි ගණන් බලා ඇත. මෙම ආයෝජනය මෙරට ඛනිජ සම්පත් කර්මාන්තයට අදාළ විශාලතම ආයෝජනය වනු ඇතැයි සඳහන් සඳහන් වේ.

අප හැමදාමත් අපට හිමි ස්ථානය පිළිබඳ මහත් ඉහළින් උරාජේරු කීමට නම් හරි දක්ෂය. නමුත් අද වන තෙක් මේ එකකින්වත් නිසි ප්‍රයෝජනයක් ලබා ගෙන රට දියුණු කොට නැත. එදා සිට අද දක්වාම පත්වූ හැම ආණ්ඩුවකටම සිදුවූයේ මේ ක්‍රියාවය. එක් ආණ්ඩුවක් හෝ පුද්ගලයෙක් රට දියුණු කිරීමට රටට ආයෝජන ගෙන ඒමට කටයුතු කරද්දී අනෙක් පිරිස කකුලෙන් ඇදීම අඩුවක් නැතුව සිදුකළේය. මීට දේශපාලඥයන් මෙන්ම නිලධාරීන්ද සාමාන්‍ය ජනතාව ද වගකිව යුතුය. නමුත් දැන් ඒ කාලය වෙනස් කළ යුතුය. එසේ නොවුනහොත් සිදුවන්නේ මේ ලැබෙන්නට යන විශාල ආයෝජනයත් පිට පාරේම වෙනත් රටකට ඇදී යෑමය.

මෙරට සතු ඉතා සුවිශේෂීම ඉල්මනයිට් නිධිය පිහිටා තිබෙන්නේ මුල්මුඩේ ප්‍රදේශයේය. ඒ තුළ ඇති ඉල්මනයිට් ප්‍රතිශතය 25%ක සාන්ද්‍රණයකි. එය රජය මගින් පාලන කටයුතු සිදු කරයි. නමුත් පුත්තලම ප්‍රදේශයේ පිහිටා ඇති ඉල්මනයිට් නිධියෙහි ඇති ඉල්මනයිට් ප්‍රතිශතය 8%ක සාන්ද්‍රණයක් යැයි ගණන් බලා ඇත. 8%ක සාන්ද්‍රණයක් ඇති ඉල්මනයිට් නිධියකට ඇමරිකන් ඩොලර් මිලියන 100ක අයෝජනයක් ලැබෙනවා යනු ආණ්ඩුවට මේ හරහා සුවිශේෂී ප්‍රතිලාභ රැසක්ම හිමිවනු ඇත.

අවුරුදු පනහක් තිස්සේ නිස්කාරණයේ යළි පොළොවට යටවන ඛනිජ සම්පත නිසි අයුරින් ගොඩ ගතහොත් ඒ තුළින් රජයට හිමිවන රාජ්‍ය භාගය පමණක් ව්‍යාපෘතියේ ඉපයීමෙන් 36%කි. ඊට අමතරව සෙස්, ආදායම් බදු සහ ලාභාංශ බදු ඇතුළත්ව වක්‍ර බදු ලෙස රජයේ ආදායම සියයට හැත්තෑවක් පමණ හිමි වේ.

ආයෝජන අහිමිවෙන්නේ ඇයි

මෙරට ආයෝජනය කරන සමාගම්වලින් වෙනත් රටවලට සාපේක්ෂව අය කරන රාජ්‍ය භාගය අතිවිශාලය. විශාල වශයෙන් ඛනිජ නිධි පිහිටි රටක් වන්නේ ඔස්ට්‍රේලියාවයි. දකුණු ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය භාගය 3.5%. බටහිර ඔස්ට්‍රේලියාවේ සියයට පහකි. ඉන්දියාව මොසැම්බික් සහ මැඩගස්කරය යන රටවල රාජ්‍ය භාගය 2%කි. මේ වන විට අපේ රටේ රාජ්‍ය භාගය 9%කි. අපට මේ දක්වා ලැබුණ දෙයකුත් නැත. නමුත් ලැබෙන්නට තිබෙන අවස්ථාවත් මෙවැනි ඉහළ අගයන් නිසා මගහැරී යෑමට ඉඩ තිබේ. මේ වන විට මැඩගස්කරයේ පවතින මෙරටට වඩා සුවිශාල ඉල්මනයිට් නිධිය වෙත විදෙස් ආයෝජකයන්ගේ අවධානය යොමුවී අවසන්ය. එසේ සිදුවුවහොත් අපට සිදුවන්නේ මේ මහා ධන නිධානය පිළිබඳ පුරාජේරු කතා කිය කිය සිටින්නට පමණි. එහි කිසිදු වටිනාකමක් නැතිව යනු ඇත.

යටිතල පහසුකම් ප්‍රමාදය

ඊට අමතරව මෙරට ආයෝජකයන් මුහුණ දෙන තවත් බරපතළ ගැටලුවක් වන්නේ බලශක්ති අර්බුදයයි. 2011 වසරේදී විවෘත කළ හම්බන්තොට වරායට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිය විවෘත කළේ දැනට මාස කීපයකට ඉහතදීය. ඒ වරාය විවෘත වී වසර දහයකටත් අධික කාලයකට පසුවය. ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාද වීමද මෙරට තව තවත් වළපල්ලට යෑමට ප්‍රධාන හේතුවකි.

පිරිපහදුව සහ අගය එකතුකිරීම

අප තවමත් බොහෝ ඛනිජ සම්පත් අපනයනය කරනු ලබන්නේ අගය එකතු කිරීමකින් තොරවය. බොහෝ දේශපාලනඥයන් මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ද නිරන්තරයෙන්ම මේ ගැන පවසනු දක්නට ලැබේ. නමුත් අප සිතන තරම් වෙළෙඳ පළක් මේ වන තෙක් අගය එකතු කළ සම්පත් සඳහා ලැබී නැත.

මිනිරන් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 2000ක් වන අතර ග්‍රැෆීන් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 200,000කි. නමුත් ග්‍රැෆීන් සඳහා වෙළඳපොළේ පවතින ඉල්ලුම වසරකට ටොන් සීයක් වන විට මිනිරන් සඳහා ඉල්ලුම වසරකට ටොන් මිලියන එකකි.

අප හැමදාමත් ග්‍රැෆයිට්වත් පිරිපහදු නොකළ ඛනිජ වැලි වත් අපනයනය කළ යුතු නැත. නමුත් අවසන් ඉලක්කය මුලට ගෙන සිටියහොත් ලැබෙන්නට තිබෙන ඩොලර් ටිකත් නැති වී යන බව නම් ඉඳුරාම පැවසිය යුතුය. අප ඒ සඳහා ගමන් කළ යුත්තේ පියවරෙන් පියවරය.

ටයිටේනියම් ලෝහය පිළිබඳ සැලකුවහොත් නිතර පවසන කරුණක් වන්නේ ටයිටේනියම් ගුවන් යානා නිෂ්පාදනයට මෙන්ම වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට යොදා ගන්නා බවයි. නමුත් රොකට් නිෂ්පාදනයට හා සෞඛ්‍ය උපකරණ නිෂ්පාදනයට යොදා ගන්නා ටයිටේනියම් ප්‍රමාණය සියයට එකකටත් වඩා අඩුය. ටයිටේනියම් වැඩි වශයෙන්ම භාවිත කරන්නේ තීන්ත නිෂ්පාදනයටය. ඊට අමතරව ඉදිකිරීම් කර්මාන්තය.

අරුවක්කාරුවේ ඇතැයි සොයාගෙන ඇති ඛනිජ වැලි සම්පතද හෙවි මිනරල්, කොන්සන්රේට්, සර්කෝන් රූටයිල්, ඉල්මනයිට්, සයන්ටික් රූටයිල්, ටයිටේනියම් ඔක්සයිඩ් වශයෙන් අදිරයෙන් අදියර ඉදිරියට යෑමට හැකිය. නමුත් මුලින්ම සිදුවිය යුත්තේ දැනට නිකරුණේ පොළොවට යට කරන මේ සම්පතින් ප්‍රයෝජනයක් ගැනීමට ඊට සුදුසුකම් ලත් සමාගම් වෙත අවසර ලබාදීමය.

දැනගන්නට ඇති පරිදි ළිඳ හාරන්නට කෙනෙකු නැති වුවත් හෑරූ ළිඳෙන් වතුර ලබා ගැනීමට නම් වෙනත් පාර්ශ්ව දත කන බව ආරංචිය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් නොකරන්නේ අසූචි වළ කැලැත්තුවහොත් එහි ගඳ සතර දිග්භාගේම පැතිරෙන බැවිනි. දැනගන්නට ඇති පරිදි නීත්‍යනුකූලව එම අවසරය හිමි විය යුත්තේ මෙහි පර්යේෂණ කටයුතු සිදුකළ සමාගමටය. දැනටත් වසර ගණනාවක්ම ඇදී ගිය මෙම ආයෝජනය තව ටික කාලයක් මේ ආකාරයෙන් ගියහොත් නිකම්ම පොළොවට පස් වෙනු ඇත.

මේ රටට වැඩිවැඩියෙන් ආයෝජන අවැසි කාලයයි. වැඩි වැඩියෙන් විදේශ විනිමය අවැසි කාලයයි. එහෙව් මොහොතක නොයෙක් නොයෙක් කොන්දේසි පනවමින් රටට ගලා එන්නට තිබෙන ඩොලර් උල්පතුත් වසා දමනවානම් ඔවුන්ට මඩු වලිගයෙන් තැලිය යුතුය. අදාළ බලධාරීන් නොපමාව කළ යුත්තේ මේ සඳහා නීත්‍යනුකූලව මෙන්ම ඊට වඩාත්ම සුදුසු පලපුරුදු සමාගම තෝරා ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අවසර ලබාදීමය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment