පේනතෙක් මානෙක නැති ඡන්දෙකට මහ සටනක්

273

දීර්ඝ නත්තල් හා අලුත් අවුරුදු නිවාඩුවකින් පසු පාර්ලිමේන්තුවේ යළි වැඩ ආරම්භ වූයේ පසුගිය සතියේ බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දෙනා පාහේ කොළඹ පැමිණ සිටියහ. නිවාඩු දිනවල බොහෝ මන්ත්‍රීවරු ගම්පළාත්වලය. අතමිට සරු සමහරු විදේශගතවී නිවාඩු ගෙවා දැමූහ. තවත් සැලකිය යුතු පිරිසක් නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල, යාපනය, ත්‍රිකුණාමලය, යාල වැනි සංචාරක ප්‍රදේශවල හෝටල හා නිවාඩු නිකේතන වෙන් කරගෙන සිටියහ.

ඒ අයුරින් නිවාඩු ගෙන දේශපාලනය මඳකට අමතක කර සිටි බොහෝ දෙනා පසුගිය සතිය වන විට කොළඹ පැමිණ යළි දේශපාලන පොරපිටියේ සටනට අවතීර්ණ වූහ. ඒ අතර 2024 වසර වෙනුවෙන් ජනවාරි 9 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවේ වැඩ ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම්ව තිබිණි.

කෙසේ වෙතත් 2024 වසර ආරම්භ වන විට දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාව වූයේ මැතිවරණයයි. සමහරු ජනාධිපතිවරණයක් බලාපොරොත්තුවෙන් ඒ පිළිබඳ කතා කරන්නට වූහ. තවත් සමහරු අර්ථ විවරණ කළේ ජනාධිපතිවරණයට පෙර නිසැකවම පාර්ලිමේන්තු මහ මැතිවරණයකට මුහුණ දෙන්න මේ රටට සිදුවනු ඇති බවකි. එය සිදු වූයේ මෙසේය.

ජනපති සටනක්ද මහමැතිවරණයක්ද…?

මැතිවරණ නීතියට අනුව මේ වසරේ මුලින්ම පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයකි. මේ වසරේ සැප්තැම්බර් මාසයේ දෙවන සතියේ හෝ තුන්වන සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට එය නිසි දිනයට වඩා ඉස්සරහට ගැනීමට නොහැකිය. ඒත් අවශ්‍ය නම් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ එකඟතාව ඇතිව ජනාධිපතිවරයාට හැකිය.

නිසි අවස්ථාවේදී එළඹෙන ජනාධිපතිවරණයට මීළඟ වතාවේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ තරග වැදීමට රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සහායක පක්ෂත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවත් අතර අවබෝධයක් ඇති වී තිබිණි. ඒ වනතුරු ආණ්ඩුවට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ යම් එකඟතාවක් ද මුල් යුගයේ ඇති විය.

එහෙත් ආණ්ඩුකරණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් බලවේග සමග වෙන වෙනම අවබෝධයන් ඇති කරගෙන ගෙනගිය වැඩපිළිවෙළ නිසා ආණ්ඩුව සමග පොහොට්ටුවේ හොඳ හිත පලුදුවන්නට විය. එක් පැත්තකින් නිමල් ලන්සාලා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් නව සන්ධානය ලෙස වෙනම කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වූහ. තවත් පැත්තකින් පොහොට්ටුවේ සාමාජිකත්වය දරන තවත් තරුණ කණ්ඩායමක් ඇමැතිකම් හා රාජ්‍ය ඇමැතිකම් දරමින් රනිල් වික්‍රමසිංහ හා ලොකු අවබෝධයකින් කටයුතු කළහ. මේ දෙගොල්ලන්ගේම සහයෝගය පොහොට්ටුවේ නායකත්වයට වඩා වැඩියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැත්තට බර බව පොහොට්ටුවේ නායකකාරකාදීන් වටහාගෙන සිටියහ. ඇතිවී තිබෙන එම දේශපාලන ව්‍යාකූලභාවය ගැන පොහොට්ටුවේ නායකයින් තුළ ප්‍රසාදයක් තිබුණේ නම් නැත. මේ නිසා පොහොට්ටුවේ නායකයෝ නිරතුරුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන සහයෝගය හෙට්ටු කරන්නට වග බලා ගත්හ.

ජනාධිපතිවරණය ප්‍රමුඛ මැතිවරණ පැවැත්විය හැකි 2024 වසර උදාවන්නේ ඔය පසුබිම යටතේය. පරදින මැතිවරණයකට කිසිසේත්ම ඉදිරිපත් වන්නට සූදානමක් නැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නිරතුරුවම ඊළඟ ජනාධිපතිවරණයේදී කුමක් කරන්නේදැයි පොහොට්ටුවෙන් විමසමින් සිටියේය. පොදු අපේක්ෂකයා ලෙස තමන් පැමිණියහොත් සහය දෙනවා නේදැයි යන ප්‍රශ්නය ඔහු නිරතුරුව පොහොට්ටුවේ නායකයින්ගෙන් විමසන්නට විය.

පොහොට්ටුව ඊට එක එල්ලේ උත්තර දුන්නේ නැත. “ඒ පිළිබඳ අපි තවම තීරණයක් ගෙන නෑ. අපේ පොදු අපේක්ෂකයා කවුද කියලා ඉදිරියේදී සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා” හිටපු ජනාධිපති මහින්දගේත් පොහොට්ටුවේ නියමු බැසිල්ගේත් පොහොට්ටුවේ නිල බලධාරියා වන සාගර කාරියවසම්ගේත් එකම උත්තරය එයම වූහ.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස පොහොට්ටුවෙන් ඉදිරිපත් වන්නට ව්‍යාපාරික ධම්මික පෙරේරා සූදානම් වෙමින් සිටියේය. ඔහු ඒ බව දනවන වෙළෙඳ දැන්වීම් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන්නට විය. ඒ අතර ජනාධිපති අපේක්ෂකයකුට ජනාධිපතිවරණයකදී අවශ්‍ය වන අන්දමේ ඡායාරූප ගැනීමක් ද මීට සති දෙකකට පෙර නුවරඑළියේ තරු පන්ති හෝටලයකදී සිදුවිය. ධම්මික පෙරේරා dp education ආයතනයේ දරු දැරියන්ද පිරිවරාගෙන එම ඡායාරූප ගැනීමේ අවස්ථාවට සහභාගි විය. ඔහු ළඟ සේවය කරන ඡායාරූප ශිල්පියෝ බොහෝ දෙනෙක් සිටියත් ඒ සියලුම දෙනා හැර කොළඹ සිටින අංක එකේ නමගිය නිශ්චල ඡායාරූප ශිල්පියෙක් මුදල් ගෙවා ගෙන්වාගෙන තිබිණ.

ධම්මික පෙරේරා ඒ අයුරින් ජනාධිපතිවරණය සඳහා සූදානම් වුවත් පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි යන ප්‍රශ්නයට පොහොට්ටුව උත්තර දුන්නේ නැත. ඒ ගැන අපි තවම තීරණයක් ගෙන නෑ. ඔවුන්ගේ විවෘත උත්තරය එයම වී ය.

පොහොට්ටුවේ සහයෝගය නිසි ලෙස නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම සංකීර්ණ කාරණාවක් විය. මන්ද දිනන ජනාධිපතිවරණයකට මිස පරදින ජනාධිපතිවරණයකට ඉල්ලන්නට ජනාධිපති රනිල් කිසිසේත්ම කැමතිව සිටියේ නැත. මේ අයුරින් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පොහොට්ටුවේ දෙගිඩියාව ඉවසන්නට බැරි පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සිටියහ.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කැඳවිය යුතු යැයි කතාබහ කරළියට ආවේ ඔය අතරතුරය. ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ සහයෝගය නොලැබෙන්නේ නම් පළමුව මහමැතිවරණය පවත්වමු යැයි ජනාධිපති රනිල්ගේම හිතවතුන් පිරිසක් කියන්නට වූහ.

පක්ෂ විපක්ෂ 20ක් හොරෙන් රනිල් ළඟ

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය අටවන සඳුදා රාත්‍රියේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෝ පිරිසක් ජනාධිපති රනිල් හමුවන්නට කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසට පැමිණ සිටියහ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන දෙතුන් දෙනෙක්, ඇමැතිකම් නොමැතිව පොහොට්ටුවේ සිටිමින් ආණ්ඩුවට විවේචන ගෙනෙන කීප දෙනෙක්, ආණ්ඩුවට සහය දෙන පොහොට්ටුවේ දෙතුන් දෙනෙක් මෙන්ම සමගි ජන බලවේගයේ කිහිප දෙනෙක්ද මේ කණ්ඩායමේ සිටියහ. මන්ත්‍රීවරු ගණන විස්සකි. රහසිගතව එම හමුව සංවිධානය කර තිබුණේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ය.

එහිදී මන්ත්‍රීවරු පොදුවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. නිසි කලට නිසි ලෙස ජනාධිපතිවරණය පවත්වන ලෙස ඔවුහු කීහ. මහ මැතිවරණයක් ගැන බොහෝ දෙනෙක් සිහින දකිමින් සිටින බවද පෙන්වා දුන් ඔවුහු සැක නැතුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යි ඉල්ලා සිටියහ.

“මේ වෙලාවේ මේ රට ගොඩනඟන්න පුළුවන් එකම සුදුස්සා ඔබතුමා. කවුරු මොනවා කිව්වත් අපි ඉන්නේ ඔබතුමා එක්ක. ඔබතුමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉල්ලන්න. අපි සියලු දෙනා ඉන්නෙ ඔබතුමා සමග…” කණ්ඩායම නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ ප්‍රබලයෙක් යෝජනා කර සිටියේය.

මේ වෙලාවේ සමගි ජන බලවේගයෙන් පැමිණි දෙතුන් දෙනාද ජනාධිපති රනිල්ට දිරි දෙමින් කියා සිටියේ නිසි අවස්ථාව වන විට සමග ජන බලවේගයෙන් ද යම් සැලකිය යුතු පිරිසක් තමන් සමග එක්වන බවකි.

අනාගතයේදී සිදුවිය හැකි බොහෝ කරුණු කාරණා සාකච්ඡාවට ගැනුණු එම සාකච්ඡාව පැයක පමණ කාලයකින් අවසන් විය. පිරිස පැමිණි ලෙසම රහසිගතව විසිර ගියහ.

අමාරුයි තමයි ඒත් පඩියට 5000ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සංචාරයක නිරතව සිටියේය. ඉරිදා හවස යළි කොළඹට පැමිණි ජනාධිපතිවරයා පසුවදා ඉතා වැදගත් රැස්වීම් ගණනාවකටම සහභාගි විය. ඉහත කී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද ඒ අතර වූ එකකි. එදා ජනාධිපතිවරයා ඉතා වැදගත් පණිවිඩයක් නිකුත් කළේය. ඔහු කිව්වේ මේ වසරේ සැප්තැම්බරයේදී නිසි පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. ඊට පෙර මහ මැතිවරණයක් නොමැති බවට ඔහු රටට සහතිකයක් දුන්නේය.

ඒ අතර එදා හවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ද ඔහු අලුත් යෝජනාවක් ගෙනාවේය. පසුගිය අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් දස දහසක පඩි වැඩි වීමක් යෝජනා කළ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මාසයේ වැටුපේ සිට පවත්වාගෙන යන්නට තීරණය කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය හමුවේ කීවේ ජනවාරි මාසයේ සිටම ඉන් පන්දහසක වැටුප් වැඩිවීම ලබා දෙන ලෙසයි. දැඩි අසීරුතා මැද ජීවත් වන රජයේ සේවකයාට යම් සහනයක් ලබාදීම තම අරමුණ බව මෙහිදී පෙන්වා දුන්නේය. ඇමැතිවරු යෝජනාව ඒකමතිකව සම්මත කළේය.

“ඒක ටිකක් අසීරු වැඩක්. බදු වැඩි කළාට ජනවාරි මාසයේ ඉඳලම අපිට බදු මුදල් ලැබෙන්නේ නෑ. නමුත් ඉතින් ජනාධිපතිතුමා ඉල්ලීමක් කළාම නොකර බෑ. ජනතාව වෙනුවෙන් නේ..” මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කීවේය.

ඇමැති මණ්ඩල රැස්වීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද ඒ අවස්ථාවේ එතනම පැවැත්විණි.

මන්ත්‍රීවරු ආණ්ඩුවේ “යුක්තිය” නමින් වූ මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපෘතියට සතුට පළකර සිටියහ. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව යටතේ ටිරාන් ඇමැතිවරයාත් නව පොලිස්පතිවරයාත් යුක්තිය මෙහෙයුම ඉතා කැපවීමෙන් දියත් කරන බව මන්ත්‍රීවරුන්ගේ අදහස වූහ.

“ජනතාවට පේන්න මහා පරිමාණ වශයෙන් මත්ද්‍රව්‍ය අල්ලා ගන්නවා. ඒත් ඒ අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය නැවත වෙළෙඳපොළට යනවද කියලා ප්‍රශ්නයක් ජනතාවට තියෙනවා. මං නං හිතන්නෙ ජනතාවට පේන විදියට මේ මත්ද්‍රව්‍ය විනාශ කළ යුතුයි…” මහින්දානන්ද යෝජනා කළේය

“පවතින නීතියට අනුව අපට එහෙම විනාශ කරන්න බෑ. මොකද ඒවා නඩු භාණ්ඩ… උසාවියෙන් තීන්දුවක් දුන්නට පස්සේ පුළුවන්…” ටිරාන් තත්ත්වය පැහැදිලි කලේය.

“හැබැයි ඉතින් අල්ලන කුඩු ගෝල්ෆේස් එකට ගෙනල්ල ජනතාව ඉදිරියේ විනාශ කළොත් ඒකෙන් රටට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්…” මහින්දානන්ද යළි කීවේය.

“ගෝල්ෆේස් එකට ජනතාව ගේන එක ගැන නම් කතා කරන්න එපා. එක පාරක් ගෙනල්ලා වෙච්ච දේ මතකයිනේ…” ජනාධිපති හිනාවෙමින් කීවේය.

ඉන් අනතුරුව කතාබස් කෙරුණේ මෙම සතියේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැනය. එතැන් පටන් වැඩි වේලාවක් සාකච්ඡා කළේ නැත. මන්ත්‍රීවරු විසිර ගියහ.

බුලතෙන් හරි පුටුවෙන් නිමල්ලා මහ සටනක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා පසුගිය පළවෙනිදා සමගි ජන බලවේගයත් සමග අත්වැල් බැඳ ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර දේශපාලනය අතිශයින් ගැටලු සහගත ස්ථාවරයකට පත්විය. ශාන් පමණක් නොව, දයාසිරි ජයසේකර ද ඒ වනවිට සමගි ජන බලවේගය පැත්තට වැඩිපුර තල්ලුවෙන ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් සිටියේය. දයාශ්‍රිත තිසේරා වැනි හුදෙකලා ආසන සංවිධායකයින් ගණනාවක්ද ඒ වනවිට සජබයේ පිහිට පතා ගොස් තිබිණි. එළඹෙන ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී සජබයට වාසිදායක තත්ත්වයක් ඇතිවනු ඇතැයි මේ බොහෝ දෙනා විශ්වාස කළහ.

එහෙත් ඒ වන විට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන දැඩි ස්ථාවරයක සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර දේශපාලනය ශක්තිමත් කිරීමට චන්ද්‍රිකා මැතිනියගේ සහයෝගය හා මැදිහත්වීම අවශ්‍ය යැයි සිතන පිරිසක් ද මේ අතර වූහ. ඔවුන් කණ්ඩායමක් ගොස් ඒ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය සමග සාකච්ඡා කොට ඇයට පක්ෂය බාරගන්න යැයි ආරාධනාවක් ද කර තිබිණ. ඒ අතර දේශපාලන කරළියේ කතාවක් පැතිර ගියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ මෛත්‍රීපාල සිරිසේන සමග අත්වැල් බැඳගෙන පක්ෂය ගොඩනැගීමට පියවර ගනු ඇතැයි යන ආරංචිය ඒ කතාවෙන් පැතිර ගියේය. කෙසේ වෙතත් පසුගිය දිනවල චන්ද්‍රිකා මැතිනිය යම් යම් තැන්වලදී පක්ෂයේ වැඩකටයුතුවලට මැදිහත් වන ආකාරයක් ද දැකගත හැකි විය.

මේ අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන දැඩි පීඩනයකට ලක්ව සිටියේය. එක් පැත්තකින් පිරිසක් වත්මන් ආණ්ඩුව සමග කටයුතු කරමින් ඇමැති වරප්‍රසාද විඳිමින් පක්ෂයේ මතය කුමක් වුවත් ආණ්ඩුවේ අණපනත්වලට සහයෝගය දෙමින් සිටියහ. තවත් කණ්ඩායමක් පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් සමගි ජන බලවේගය වෙත යමින් සිටියහ. පාක්ෂික පොදු ජනතාව කුමක් කරන්නේ දැයි කියා සිතාගත නොහැකිව බලා සිටියහ. පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන සිටියේ ඔවුන්ට මැදිවය. පක්ෂයේ මේ දිනවල ප්‍රතිපත්තිය මොකක්දැයි නායකයාගෙන් ඇතැම් තැන්වලදී ජනතාව ප්‍රශ්න කරන්නට වූහ. නායකයා විපිළිසර විය.

වර්තමානයේ පක්ෂය මුහුණ දෙන මේ ගැටලුවලට විසඳුම් සොයන්නට වහාම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පවත්වන්නට නායකයා තීරණය කළේය. එම සාකච්ඡාව පැවතුණේ ද පහුගිය අටවන සඳුදාය.

“කවුරු කොහේ ගියත් අපි එකතුවෙලා පක්ෂය ඉදිරියට ගෙන යනවා” එසේ කියමින් නායකයා එදා එම රැස්වීමට පැමිණියේය. පක්ෂයේ වත්මන් තත්ත්වය ගැන මධ්‍යම කාරක සභාවේ සාකච්ඡා කරන්නට විවෘත අවස්ථාවක් උදාවිය.

“පක්ෂය හැරගිය සියලු දෙනාටම තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕන. අපි විනය ක්‍රියාමාර්ග ගමු…” හෙක්ටර් බෙත්මගේ යෝජනා කළේය. එය ඒකමතිකව අනුමත විය. ඉන් අනතුරුව යෝජනාවක් ආවේ ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම ගැනය.

”මේ වෙලාවේ අපි කිසිම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නෑ. වමේ පක්ෂ සමග සන්ධානගත වෙලා වඩාත් හොඳම අපේක්ෂකයාට කොන්දේසි සහිතව සහයෝගය දෙමු” ඒක හොඳ යෝජනාවක් ලෙස සභා සම්මත විය.

මේ අතර තවත් දෙයක් සිදුවෙමින් තිබිණි. මීට පෙර’ තවත් පිරිසක් උත්සාහ කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලුත් ලේකම්වරයකු පත් කර ගැනීමටය…’ ආණ්ඩුවත් සමග අත්වැල් බැඳගෙන සිටින ඇමැතිවරු සාමූහිකව තීන්දුවක් ගෙන ඒ සඳහා අමරවීරගේ නම යෝජනා කර තිබිණි. නමුත් පක්ෂ නායකයා ඒ සඳහා අනුමැතියක් පළ කළේ නැත. අමරවීරට තනතුර ලබාදීම සඳහා තිලංගට ඉල්ලා අස්වෙන ලෙස යෝජනා කළේද නැත.

“මේ ප්‍රශ්නය ගැන කතා කරන්න බෑ. මෙතන නඩුවක් දාලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව මට කැඳවන්න බලයක් නැහැ කියලා මට විරුද්ධව අමරවීර ඇමැතිතුමා නඩුවක් දාලා තියෙන්නේ. සන්ධානයේ ලේකම් ධුරය ගැන මොන තීරණය ගන්නත් කලින් අමරවීර ලේකම්තුමා නඩුව ඉල්ලා අස්කර ගන්න ඕන. ඒ නඩුව ඉල්ලා අස්කර ගත්තට පස්සේ තිලංගයි අමරවීරයි එකතුවෙලා කතාබස් කරලා ප්‍රශ්නය විසඳගන්න” පක්ෂ නායක මෛත්‍රී දැඩි තීන්දුවක සිට එසේ කීවේය.

මේ වෙලාවේ නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න ජගත් පුෂ්ප කුමාර ඇතුළු කණ්ඩායමක් අමරවීරට ලේකම්කම ලබා දෙන්නට දැඩි උත්සාහයක නිරත වූහ. නමුත් පක්ෂ නායක මෛත්‍රී කීවේ එකම එක දෙයකි.

“නඩුව ඉල්ලා අස්කර ගන්න… ඊට පස්සේ ප්‍රශ්නයට උත්තරයක් ලැබේවි.”

“ඔය කියන්නේ බුලත් කොළෙන් බැහැ කියලනේ. හරි බුලත් කොළයෙන් බැරිනම් අපි පුටුවෙන් හරි මේ සන්ධානේ හදන එක හදනවා” නිමල් සිරිපාල තරහින් කීවේය.

“මේගොල්ලෝ හදන්නේ මෙතන බලය තහවුරු කරගෙන බුලත් කොළේ අරන් ගිහිල්ලා ගෙඩිය පිටින් රනිල්ට දෙන්න. තමන්ගේ පක්ෂය ගැන හිතන්නෙ නෑ. ඊළඟට යන තැන හදාගන්න තමයි මේ සටන් කරන්නේ…” මෛත්‍රී කීවේය. ඒ අතර නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිස එක එක්කෙනා මධ්‍යම කාරක සභාවෙන් නැගිට ගියහ. පසුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වූයේ එක් ආකාරයේ ගාලගෝට්ටි රැසක් මැදය.

ඒ අතර පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන හා තිලංග සුමතිපාල වෙනම හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිහත් වී සකස් කරන්නට යන වමේ සන්ධානය ගැන කතාබහ කළහ. ජනාධිපතිවරණයේදී තමන්ගේ ප්‍රතිපත්ති හා ගැළපෙන තමන්ගේ මතයට හා අදහස්වලට ද ඇහුම්කන් දෙන අපේක්ෂකයෙකුට සහාය ලබාදිය යුතු බව ඔවුහු කතිකා කරගත්හ. වමේ සන්ධානය ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ හුදකලා වී සිටින පක්ෂ සමග සාකච්ඡා කිරීමට ඉදිරි දිනවලදී තමන් යොමු වනු ඇති බව මෛත්‍රී පිල වෙනුවෙන් අදහස් දක්වමින් පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කිඹුලකුට බය වුණු සජබයේ මන්ත්‍රී කවුද

රටේ දේශපාලන බලය ගැන කතා කරන විට බොහෝ දෙනකුගේ මතය වූයේ මේ දිනවල ඡන්දයක් පැවැත්වුණහොත් ඉන් ඉදිරියේම සිටින්නේ සමගි ජන බලවේගය බවකි. සැබවින්ම මේ දිනවල ජනතා බලයක් හිමි තනි පක්ෂය වන්නේ සජබය බව සැකයක් නැත. මාලිමාව ලකුණෙන් තරග වදින ජාතික ජන බලවේගය එහි දෙවන තැන පසුවන බව සමහරුන්ගේ මතයයි.

තත්ත්වය එසේ තිබෙන අතරතුර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉතා සටන්කාමී ලෙස දේශපාලන කරළියේ කැපී පෙනෙයි. පාර්ලිමේන්තුව තුළද මේ දිනවල වැඩිපුරම කතා කරන කථිකයා වී ඇත්තේද ඔහුයි.

පසුගිය සතියේ ද පාර්ලිමේන්තුව තුළ ඔහුගේ භූමිකාව සුළුපටු නොවීය. විශේෂයෙන්ම පසුගිය සතියේ පාර්ලිමේන්තුව උණුසුම් කළ කාරණා කිහිපයක් තිබිණි. එකක් වූයේ කොළඹ වරායේ යාත්‍රා දෙකක් එක් කර පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් එක් වී පැවැත්වූයේ යැයි කියන සාදයයි.

මේ රාත්‍රී සාදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සහභාගී වී තිබූ අතර සාදය සංවිධානය කර තිබුණේ වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ය. වරාය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් පිරිසක් මේ සාදය පිළිබඳ පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රටට හෙළිදරව්වක් කළේ රටේ ජනතාව බදු බරින් හා බඩුමිලෙන් පීඩා විඳිද්දී රාජ්‍ය මුදල් කෝටි ගණන් වියදම් කරමින් රාජපක්ෂලා වරායේ සාද පවත්වන බවට රටට ලොකු චිත්‍රයක් ලබාදෙමිනි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී මේ පුවත ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් අතර විවාදයකට කාරණාවක් විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස ආණ්ඩුව හා රාජපක්ෂවරු විවේචනය කරමින් මෙම කාරණාව ඉස්මතු කරන්නට විය. එහෙත් වරාය රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ එය සාදයක් නොව නිරීක්ෂණ චාරිකාවක් බවය. එහිදී කෑම බීම සඳහා වියදම් කළ මුදල බිල් සහිතව පෙන්වා දුන් ඔහු ඒවා තම පුද්ගලික මුදලින් වියපැහැදම් කළ බවද හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් මේ සෑම තැනකදීම කැපී පෙනෙන කථිකයා වූයේ සජිත් ප්‍රේමදාසයි. එහෙත් පසුගිය සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම නිසා සජබය යම් අපහසුතාවයකට ලක් වූ ආකාරය දක්නට ලැබිණි.

චමින්ද විජේසිරි පක්ෂයේ දක්ෂ කථිකයෙකි. සජබය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් කරට ගෙන වැඩ කරන්නට සූදානම් මන්ත්‍රීවරයෙකි. එහෙත් පසුගිය අඟහරුවාදා ඔහු සිය ඉල්ලා අස්වීම බාර දෙමින් විශේෂ කතාවක් කළේ තමන්ට මේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම බලවත් කලකිරීමක් බව පෙන්වා දෙමිනි.

“පහුගිය දවසක දියවන්නාවේ ඉන්න කිඹුලෙක් ගොඩ ඇවිත් හිටියා. මමත් ගියා ඒක බලන්න. ඒ වෙලාවේ මිනිස්සු කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම කිඹුලට කන්න දාන්න ඕන කියලා. මට මේ මන්ත්‍රීකම ගැන කලකිරුණා. අස්වෙන්න බොහොම කාලෙක ඉඳන් බලාගෙන හිටියා…” යනාදී වශයෙන් ඔහු ඔහුගේ කලකිරීම ප්‍රකාශ කර සජිත් ප්‍රේමදාස කෙරෙහි වර්ණනාවක්ද කරනු ලැබීය.

කෙසේ වෙතත් හිටි ගමන් සිදුවූ ඔහුගේ මෙම ඉල්ලා අස්වීම ආණ්ඩු පක්ෂයට පමණක් නොව මාධ්‍යවලට ද ලොකු ප්‍රශ්නයක් විය. මන්ද චමින්දගේ එම ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුගේ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයා ඉහළ ගණයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමයි.

මාධ්‍ය චමින්ද විජේසිරිගෙන් ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ ද මේ ඉල්ලා අස්වීම ගැන සැක පහළ කළේ මුදලට ගිජුව සිදු කරන ලද ඉල්ලා අස්වීමක් ලෙසයි. මාධ්‍යවේදීන් ද චමින්දගෙන් තම මන්ත්‍රී ධුරය අලෙවි කළේ දැයි විමසා සිටියහ. චමින්දට ඊට දෙන්නට ලොකු උත්තරයක් තිබිණි. එහෙත් ඒ වන විට හෙළිදරව් නොවූ කාරණාවක්ද විය. කාරණාව මහින්දානන්ද පාර්ලිමේන්තු ලොබියේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රොත්තක් ඉදිරියේ හෙළිදරව් කළේ මෙසේය.

“ඔය අනුප්‍රාප්තික මන්ත්‍රී විපක්ෂ නායකතුමාගේ නෝනගේ නෑයෙක්. නංගිගෙ මහත්තයා. ඒකයි ඇත්ත. ඔන්න පවුල්වාදය නැහැයි කියන කට්ටියගේ වැඩ” කියමින් මහින්දානන්ද යන්නට ගියේය.

අර්ථසාධක සල්ලි මෙහෙම යයි පිල්ලි

මේ අතර පාර්ලිමේන්තු ලොබියේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් කතාබස් කරමින් සිටිද්දී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඒ අසලින් පුස්තකාලය වෙත යන්නට පැමිණියේය. එහිදී හිතවත් තරුණ මන්ත්‍රීවරයෙක් ගෙවිඳුගෙන් ප්‍රශ්නයක් ඇසුවේ “ඔබතුමා අහපු ප්‍රශ්නෙට මොකද වුණේ” කියාය.

”මොකක් වත් වුණේ නෑ. මේ පාරත් ආණ්ඩුව මගේ ප්‍රශ්නෙට උත්තර දෙන එක මග ඇරියා… එච්චරයි වුණේ.”

එහෙත් කෙටියෙන් උත්තර දී ඔහුට යන්නට ඉඩ ලැබුණේ නැත. මන්ත්‍රීවරු හමුවේ ප්‍රශ්නය ගැන දිගු පැහැදිලි කිරීමක් කරන්නට ඔහුට සිදුවිය.

“ඕගොල්ලෝ දන්නවනේ මේ රටේ පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පවුල්වලට තිබෙන එකම ආරක්ෂාව, රක්ෂණය එම සේවකයාගේ ඊපීඑෆ්, ඊටීඑෆ් මුදල් විතරයි කියලා. ඉතින් ආණ්ඩුව ඒ මුදල්වල පොලියෙන් ගසා කනවා. කොච්චර ලැජ්ජ නැති වැඩක්ද?

මම අහන්නේ මෙච්චරයි. අපේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් වන ඊටීඑෆ් මුදල් ආයෝජනය කරලා 2021 දී මහා භාණ්ඩාගාරය ලාභ අරන් තියෙනවා රුපියල් බිලියන 293ක්. ඊට පස්සේ 2022 දී එම ආයෝජනයෙන්ම භාණ්ඩාගාරය ලාභ අරන් තියෙනවා රුපියල් බිලියන 349ක්. ලාභය බිලියන 56ක්. ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම 19%ක වැඩිවීමක්. හැබැයි එහෙම තියෙද්දි ආණ්ඩුව ඒ වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට පොලී ගෙවන්නේ 9%යි. 2021දිත් නමයයි. බිලියන 56ක් ලාභ ගත්තු 2022 දීත් නමයයි. ජනතාවට එහෙම කළාට ඒ පොලී මුදල් ගණන් හදන මහ බැංකුවේ සේවකයන් අවුරුදු දෙකේම ගෙවලා තියෙනවා 29.27%ක්. ඉතින් මේක මහජන මුදල් මංකොල්ලයක් නෙවෙයිද. ඕක අහපුවහම උත්තර දෙන එක ඇමැතිවරු මගාරිනවා.

ඔයාල ටිකක් මේවා ගැන උනන්දු වෙන්න. ජනතාව දැනුවත් කරන්න. මේවා තමයි අපරාධ..” කියමින් තරමක් හැඟුම්බරව හා දැඩිව කී ගෙවිඳු යන්නට ගියේය.

අනුර යාපාගේ හා නිමල් ලංසාගේ නායකත්වයෙන් සංවිධානය වන නව සන්ධානය ගැන දැන් කතා බස් බොහෝය. නව සන්ධානයේ මෙහෙයවීමෙන් ලබන විසිහත් වැනිදා ජාඇල ප්‍රදේශයේදී රැලියක් පවත්වන්නට ද කටයුතු සංවිධානය කර තිබිණි. මේ පිළිබඳ කරුණු කාරණා සාකච්ඡා කරන්නට පසුගියදා වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ජාඇල පරණ තානායමේදීය.

සාකච්ඡාව අවසානයේ පැමිණ සිටි මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයෝ පිරිස පොඩි කතාබහක නිරතව සිටියහ.

“දේශපාලනය කරන්න ගිහිල්ලා අපේ ලංසා ඇමැතිතුමා වගේ අය දේපළ අහිමි කරගත්තා. ගෙවල් දොරවල් ගිනිබත් කරවා ගත්තා. අරගලකාරයෝ පෙනි පෙනිම දේපළ මංකොල්ලකෑවා. දැන් ජවිපෙ කාරයෝ ගම්වලට ගිහිල්ලා බොරු කියනවා. ඒවාට උත්තර දෙන්න අපටත් අවස්ථාවක් තියෙන්න ඕන. අපට කතා කරන්න මේ වගේ රැස්වීමක් තියෙන එක හොඳයි…” ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් කීවේය.

“තේ කඩයක් වත් දාලා නැති එවුන් කොහොමද රටක ආර්ථිකයක් හදන්නේ. ගම්වලට ගිහින් ජනතාව මුලා කරනවා. ජනතාවට බැරි බොරු පොරොන්දු දෙනවා.” නිමල් ලංසා කීවේය.

“එදා ඒ වෙලාවේ අපිව මරන්න හොයපු එවුන්ට ආණ්ඩුවක් එහෙම ගියොත් අපිව මරලමදායි” ලංසා තවදුරටත් කීවේය.

“ඔබතුමාලා දැන් ජනතාව අතරට ගිහිල්ලා මේ ඇත්ත කියන්න. ජනතාවගේ ඇස් අරවන්න” නලින් ප්‍රනාන්දු කීවේය. කතා බහ ඔය අයුරින් තවදුරටත් ඇදී ගියේය.

පැවසීය. ඒක හොඳ අදහසක් සියල්ලෝම එය අනුමත කළහ. මේ ඔක්කොම පෞද්ගලිකව හමුවෙනවා හමුවෙලා නැවත අප හා එක්වන්න ආරාධනා කරනවා නාමල් මෙහිදී පැවසීය. ඒ අනුව නැවත පොහොට්ටුව හැර ගිය පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් පෞද්ගලිකව මුණ ගැසීමට තීරණය විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment