වරායේ වැඩවලට යන්න කියන්නේ බස් එකේද?

157

ආරක්ෂාවේ සිදුරු තිබුණා

මේක කුමන්ත්‍රණයක් ත්‍රස්ත ක්‍රියාවක්

අපේ අපේක්ෂකයා තාම තීන්දුකර නැහැ

69න් 40ක් තාම තියෙනවා

මැති ඇමැතිවරුන් පිරිසක් මහජන මුදල් කෝටි ගණනක් භාවිතා කරමින් කොළඹ වරායේ බෝට්ටු දෙකක සිට සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධිය රට තුළ දැඩි කතාබහකට ලක්ව ඇති සිදුවීමක් වී තිබේ. මෙම සිදුවීමේ චූදිතයා වී ඇත්තේ වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතාය. ඇත්තටම එදා සිදු වූයේ කුමක්ද යන්න ඔහුගේ කතාව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දැනගැනීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා මුණගැසුණෙමු.
පහතින් පෙළගැසෙන්නේ රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා සමග සිදුකළ සාකච්ඡාවයි

ප්‍රශ්නය – රටේ මිනිස්සු දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක ඔබතුමා ඇයි මේ වගේ සාදයක් සංවිධානය කළේ. ඒක සදාචාරාත්මක ද?

පිළිතුර – අප අමාත්‍යාංශයේ අයවැය විවාදය යන අතරතුර බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් ආවා වරාය ඇතුළට ගිහින් එතන වෙන ක්‍රියාවලිය දකින්න කැමැති බව. ඒ නිසා තමයි මම ඒ පිරිස වරාය ඇතුළ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්කගෙන ආවෙ. අනෙක ඔය කියන තරම් මුදලක් ඒකට වැය වුණේ නැහැ. එහෙම වුණා නම් මම ඒක කොහොමටත් කරන්නෙ නැහැ. මේක පෞද්ගලික වියදමින් කරපු දෙයක්. ඔය කටයුත්තට සම්පූර්ණ වැය වුණු මුදල රුපියල් ලක්ෂ තුනයි.

වරාය අධිකාරියට වියදම් වුණේ තෙල් සඳහා රුපියල් එක් ලක්ෂ ගණනක වියදමක් විතරයි. ඒක පැය එකහමාරක ගමනක්. අනෙක පාටි දාන්න පුළුවන්ද පැය එකහමාරකින්.

ප්‍රශ්නය – ඔබ කියන විදිහට මේ සාදයට වැය වුණ මුදල රුපියල් ලක්ෂ තුනයි. නමුත් ඔය කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් වැය වී ඇති බව වරාය වෘත්තීය සමිති නායකයකු සඳහන් කළා.

පිළිතුර – එක වෙලාවක රුපියල් ලක්ෂ 25ක් කියනවා. තව වෙලාවක කෝටි ගණනක් කියනවා. හැබැයි මේ වැඩේට ඇත්තටම වියදම් වුණේ රුපියල් තුන්ලක්ෂ විසිපන්දාහක්. ඒකෙන් තෙල්වලට ගිහින් තියෙන්නෙ එක්ලක්ෂ හැත්තෑපන්දහක වගේ මුදලක්. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව නිරීක්ෂණ චාරිකාවකට වෙන්කරගන්න පුළුවන් මුදලක්. උදාහරණයකට දුම්රිය මාර්ග පරීක්ෂා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕන බව විෂයභාර අමාත්‍යවරයාට කිව්වොත්, ඒවා පරීක්ෂා කරන්න බස් එකේ යන්නෙ නැහැනෙ. දුම්රියෙනෙ යන්නෙ. දුම්රියේ යන අවස්ථාව සලසාදීම ඇමැතිගේ හෝ රාජ්‍ය ඇමැතිගේ වගකීමක්. කුහක අදහස් තියෙන අය තමයි මම කළ වැඩේ ලොකුවට උලුප්පලා පෙන්වන්නෙ. මේක මේ සාමාන්‍යයෙන් කිලෝ මීටර් 2ක දුරක් යන්න ඇති. මේ වෙනුවෙන් වරායට කිසිදු අමතර වියදමක් දරන්න වුණේ නැහැ.

ඔය සිදුවීම වීඩියෝගත කළ පුද්ගලයා එම තැනට ඇවිත් තිබුණේ නැවේ විදුලි බුබුළු අලුත්වැඩියා කරන මුවාවෙන්. දුරකථන ඇමතුමක් ගන්නා විදිහට ඔහු මෙම සිදුවීම් වීඩියෝ කර තිබුණා. මේක ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක්. හිටපු ජනාධිපතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීදෙනෙක් එතන හිටියද. මේ නිරීක්ෂණ චාරිකාව වීඩියෝගත කර වැරදි මතයක් රටට දෙන්නයි ඔවුන් කටයුතු කළේ. කෙටියෙන් කිව්වොත් මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. වීඩියෝගත කළ සහ වැරදි තොරතුරු මාධ්‍යයට යොමු කළ අය සම්බන්ධයෙන් අපි නීතිමය කටයුතු කරනවා. මේවා එක පක්ෂයකට අයත් කුහක මිනිස්සු කරන වැඩ. කන බොන මිනිස්සු මෙහෙම කරන්නේ නෑ. කුහකයන්ට විතරයි මෙහෙම කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ චෝදනා කරන්නේ එක්තරා දේශපාලන පක්ෂයක වෘත්තිය සමිතිවලට. හැබැයි ගැටලුව වෘත්තීය සමිතිවලට වෙනත් කිසියම් පාර්ශ්වයකට මේ වගේ දෙයක් හෙළිවීම ඔබගේ පාර්ශ්වයෙන් වෙච්ච ලොකු අසමත්බවක් නේද? මෙතන ආරක්ෂාවේ සිදුරු තිබුණු බව හොඳින් පෙනෙන දෙයක්.

පිළිතුර – ඔව්, ආරක්ෂාව පැත්තෙන් ගත්තාම ලොකු අඩුවක්. එතනදී ආරක්ෂක අංශවල අය දැනගන්න ඕන ඒක. එතන හිටියෙ ඇමැතිවරු සහ මන්ත්‍රීවරුනේ. ඊට අමතරව හිටියෙ වරායේ ආරක්ෂාවට හිටපු කණ්ඩායමක්.

ප්‍රශ්නය – ඔබ සහ විෂයභාර ඇමැතිවරය අතරත් යම් මත ගැටුම් තිබෙන බව කියනවා. මේ අභ්‍යන්තර ගැටලුත් මේ සිදුවීමට අත්තටු ලැබෙන්න හේතුවක් වුණා කියල ඔබට හිතෙන්නෙ නැද් ද?

පිළිතුර – නෑ, එහෙම ගැටලුවක් මට පෙන්නෙ නැහැ. අපි දැක්කා මාධ්‍යට අදහස් දුන්නෙ කවුද කියල. ඔවුන් දුන්න ප්‍රකාශවල තියෙන වෛරී චේතනාවන් තමයි ඒ පිටවුණේ. ඒ වගේම කියන බොරුවක් තමයි හැත්තෑපහක් විතර ගියා කියල. අමූලික බොරුවක්නෙ. දෙකක් ගියා නම් එකක හැත්තපහක් යන්න ඕනෙ නැහැනෙ. ඒ නිසා දෙකක් සූදානම් කරල තිබුණ. හැබැයි ආපු කණ්ඩායමට එකකින් යන්න පුළුවන් වුණා.

ප්‍රශ්නය – ඔබ ඔය කියන නිරීක්ෂණ චාරිකාවෙන් පස්සෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “මොකක්ද මේ ප්‍රේමලාල් කළේ” කියලා බැන්නා නේද?

පිළිතුර – එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. එතුමා ඕවට උත්තර දෙන්න යන්න ඕනෙත් නෑ කියලා කිව්වා. මේ වැඩේ රටේ මුදල් විනාශ කළ දෙයක් නෙවෙයි. අනිත් මන්ත්‍රීවරුත් මේ ගැන ප්‍රශංසා කළා. මහින්ද මහත්තය නම් වරාය ඇමැතිවෙලා හිටිද්දි මේ වගේ නිරීක්ෂණ චාරිකාවක් ගිහින් තිබුණ. ඊට පස්සෙ මම තමයි මේ වගේ නිරීක්ෂණ චාරිකාවක් එක්කගෙන ගියේ. වරාය රාජ්‍ය ඇමැතිවරයා විදිහට මම ඒක කළා. එහෙම කළේ මන්ත්‍රීවරුන්ට මේක දැකබලා ගන්න. අපි හිතමු මහවැලි අමාත්‍යාංශය කියල. ඒකෙන් යන්නෙ නැද්ද, ඕන තරම් ජලාශ බලන්න. මම විදුලිබල රාජ්‍ය ඇමැතිවරයා විදිහට මගෙන් ඇහුව නම් ජලාශ බලන්න යන්න පුළුවන්ද කියල, මම එක්කගෙන යනවා. හැබැයි ඒක යන්න තියෙන්නෙ මුහුදෙ නෙමෙයි,

ගොඩබිමනෙ. වාහනේ ගිහින් බැහැල යන්න තියෙන්නෙ. හැබැයි බෝට්ටුවක යන්න තිබුණ නම් එහෙම කරන්න වෙනවා. කැබිනට් ඇමැතිතුමාගේ අනුමැතිය ඇතිව තමයි අපි ගියේ. එතුමත් මේ සඳහා අපිත් සමඟ සම්බන්ධ වුණා.

ඔය ගමන වීඩියෝ කරපු කෙනාට නිරීක්ෂණ චාරිකාවේ දැකපු විශේෂ දේවල් දැම්මෙ නෑ. නැගෙනහිර පර්යන්තයේ ආරම්භය, අවසානය. ඒ වගේ රේඩාර් වැඩකරන විදිහ වගේ දේ.

ප්‍රශ්නය – ඔය නිරීක්ෂණ චාරිකාවෙන් පොඩ්ඩක් බැහැර වෙලා, පවතින දේශපාලන වාතාවරණය ගැන කතා කළොත්, මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් කියනවනෙ. ජනාධිපතිතුමා කියන්නෙ මුලින්ම එන්නෙ ජනාධිපතිවරණයක් බව. මොනවද ඔබට ඒ ගැන ලැබෙන තොරතුරු.

පිළිතුර – මම නම් ඒ ගැන හරියටම දන්නෙ නැහැ. ඒ ගැන හරි තීන්දුවක් තාම නෑ.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේදී ඔබගේ අපේක්ෂකයා වෙන්නෙ කවුද?

පිළිතුර – ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා ගැන තවම අවසන් තීන්දුවක් අරගෙන නෑ. ජනතාවගේ මතයක් තියෙනවා දැන් අලුත් කෙනෙක් එන බව. හැබැයි මගේ මතය රට අවුල් කරන, බොරු ප්‍රචාර යවන, අරගල ඇතිකරල කුමන්ත්‍රණ කරද්දී පැහැදිලිව සාධාරණ ඡන්දය ලැබිය යුතු කෙනාට ඡන්දය ලැබෙන්නෙ නැහැ. මොකද අර කණ්ඩායම මිනිස්සුන්ගේ ඔළුව අලුත් කරල වැරැදි චිත්‍ර මවන නිසා.

මම නම් කියන්නෙ අවුරුදු පහකට බලය දීල මදි. තව අවුරුදු පහක් දෙන්න ඕන රට හදන්න, වැඩක් කරන්න. ඉදිරි මහ මැතිවරණයකදී බලය දෙන්නෙ අවුරුදු පහකටනෙ. ඒ පහ අවසානයේ හරි සැලසුමට ගිහින්, වැඩ කරද්දි ඊළඟ අවුරුදු පහේදී බඩු මිල වැඩියි තව මොනවා හරි කියල ඒ ආණ්ඩුව ගෙදර යවනවා. වෙන්නෙ මොකක් ද? වෙන කණ්ඩායමක් බලයට එනව. එතකොට මෙතෙක් කරගෙන ආපු වැඩපිළිවෙළ එහෙම්ම යට යනව.

ප්‍රශ්නය – ඇයි හැමෝටම එකතුවෙලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න බැරි ?

පිළිතුර – මොන ආණ්ඩු ආවත් කළ යුතු ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ අනුව තමයි කවුරු බලයට ආවත් වැඩකළ යුත්තේ. එහෙම කළොත් රට හදන්න පුළුවන්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයකදි හෝ මහ මැතිවරණයකදී පොහොට්ටුවට ලැබුණු හැටනම ලක්ෂය එහෙම්ම ලැබෙයි කියල තවමත් ඔබ විශ්වාස කරනවා ද?

පිළිතුර – අපි හොඳ වැඩපිළිවෙළක් ආරම්භ කරමින් යද්දි තමයි ගෝඨාභය ජනාධිපතිවරයාට යන්න වුණේ. හරි අපි ඒ හැටනම ලක්ෂයෙන් ලක්ෂ විස්සක් අඩු කරමු. හතළිස් නමයක් තියෙනවා. ඒකෙනුත් නමයක් අඩුකරන්න. ලක්ෂ හතළිහක් තියෙනවා. අනිවාර්යයෙන් අපිට ඡන්ද ලක්ෂ තිස්අටක්, හතළිහක් තියෙනවා කියන විශ්වාසයේ මම ඉන්නවා.

ප්‍රශ්නය – ඒක ජනාධිපතිවරණයට ප්‍රමාණවත් නෑනේ.

පිළිතුර – ඔව්, මම දන්න තරමින් සියයට පනස් එකක් ගන්න කිසිම තනි පක්ෂයකට බෑ.

ප්‍රශ්නය – ඔබ කියන්නෙ දෙවැනි මනාපය ගණන් කරන්න වෙයි කියලද. ?

පිළිතුර – එහෙම කරන්න වෙනව. අනෙක ප්‍රධාන පක්ෂ හැර වෙන කොහොවත් ඉන්න අයට උඩට එන්න ලැබෙන්නෙ නැහැ.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment