රංගිරි දඹුල්ලට සිරිකත කැන්දන “සෑම් පොපම්ගේ” වන උයන

646

හන්තාන පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයට අයත් දඹුල්ල “පොපම් ආබරේටම්” නමැති වියළි කලාපීය වන උද්‍යානය පහසුකම් වැඩිදියුණු කර, නවීකරණය කිරීමෙන් පසු ඉකුත්දා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂංග වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට විවෘත කෙරිණි. දඹුල්ල සිට කණ්ඩලම මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක් පමණ දුරින් පිහිටා ඇති මෙම ආකර්ෂණීය වන උද්‍යානය ඉංග්‍රීසි ජාතික F.H. (සෑම්) පොපම් මහතාට අයත්ව තිබූ අතර ඔහු විසින් ඉතා කැපවීමෙන් ගොඩනගන ලද මෙම වටිනා වනාන්තර භූමිය පර්යේෂණ සහ අධ්‍යාපනික ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා 1989 දී ජාතික මූලික අධ්‍යයන ආයතනයට තෑගි කළේය.

රංගිරි දඹුල්ලට සිරිකත කැන්දන “සෑම් පොපම්ගේ” වන උයන

කඳවුරු බිම

1963 දී සෑම් පොපම් මහතා විසින් මිලදී ගත් මුල් වනය අක්කර හත හමාරකි. පොපම් මහතා විසින් තම ඉඩමේ ඇති දේශීය ගස්පැළ මතුවීමට ඉඩදෙමින් සහ ඒවා වටා ඇති පඳුරු ඉවත් කිරීමෙන් එම ගස්වලට මතුවී වැඩෙන්නට ඉඩ ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස කල් යත්ම මෙම ඉඩම මුල් සංවෘත වියනක් සහිත උස් වනාන්තරයක් බවට පත්විය. 1989 දී සෑම් පොපම් මහතා මෙරට අතහැර යළිත් තම මව්බිම වන එංගලන්තය බලා යන විට මෙම ඉඩම ජාතික මූලික අධ්‍යයන ආයතනයට ලබාදීමෙන් පසු, ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් තවත් අක්කර 27ක් යාබද ඉඩම්වලින් පවරා ගැනීමෙන් පසු වනය අක්කර 35ක් දක්වා පුළුල් කරන ලදී. ඒද, “පොපම්ගේ ස්වභාවික පුනර්ජනනීය සංකල්පය” නොහොත් “පොපම් මෙතඩ්” අනුව ගොඩ නගනගමිනි.

පොපම් ආබරේටම්හි සංචාරක ආකර්ෂණය:

අධ්‍යාපනික අරමුණු හා පාරිසරික පර්යේෂණ සඳහා බොහෝ දේශීය සහ විදේශීය පර්යේෂකයෝ මෙම වන උයනට මේ වනවිට පැමිණෙති. උණහපුළු, කබල්ලෑවන්, වල් ඌරන්, ඉත්තෑවන්, හඳුන්දිවියන්, බළල් දිවියන්, කොළ දිවියන්, උගුඩුවන්, හෝතඹුවන්, වැනි ක්ෂීරපායින් ඇතුළු අද්විතීය සත්ත්ව විශේෂ මෙන්ම වියළි කලාපීය ශාක විශේෂ 300කට අධික සංඛ්‍යාවකින් පොහොසත් වෘක්ෂලතා නිසා මෙම වන උයන ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ද වේ.

මෙම වන උයන කණ්ඩලම දඹුල්ල මාර්ගයේ කණ්ඩලම හෝටලය සහ දඹුල්ල නගරය අතර පිහිටා ඇත. විදේශීය සංචාරකයන්ට ඉතා සාමකාමී සිසිල් පරිසරයක සංචාරය කිරීමට සහ දේශීය සත්ව හා ශාක විශේෂ දැකබලා ගැනීමට ඇති මෙය කදිම ස්ථානයකි. තවද, සංචාරකයන් හට පහත සඳහන් පහසුකම් මෙහි දී ලබාගත හැකි බව වන උයන ජනතා අයිතියට පත්කරමින් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ මහත්වරු පැවසූහ.

රංගිරි දඹුල්ලට සිරිකත කැන්දන “සෑම් පොපම්ගේ” වන උයන

මෙම වන උයනේ පාරිසරික සංචාරක වටිනාකම

මෙම වන උයන විවිධ සතුන් සහ පක්ෂීන් සඳහා නිවහනක් ලෙස ක්‍රියා කරයි. වළි කුකුළා, අළු කෑඳැත්තා, අළු දෙමලිච්චා, වත නිල් මල් කොහා, බිඟුහරයන්, සුදුරෙදි හොරා, උණහපුළුවා, කබල්ලෑවා වැනි විශේෂිත සත්ත්ව විශේෂ මෙහිදී දැක ගත හැකිය.

එමෙන්ම මෙහි විවිධ සමනලුන් සහ බත්කූරු විශේෂ සඳහාද ප්‍රසිද්ධිය. වවුලන් ඇතුළු ක්ෂීරපායි විශේෂ 25ක්, සමහර සංක්‍රමණිකයන් ඇතුළු පක්ෂී විශේෂ 83ක් සමනල විශේෂ 77ක් සහ බත්කූරන් විශේෂ 12ක් මෙම වන උයන තුළ වාසය කරන බවට වාර්තා වී ඇති බව උත්සව සභාව අමතමින් වන උයන නැවත නිර්මාණය සඳහා කටයුතු කළ, හිටපු උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා ප්‍රකාශ කළේය. එසේම, හූනන් වර්ග නැරඹීම සඳහාද සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙස පොපම් ආර්බෝරේටම් වන උයන ප්‍රකට බව මෙහිදී අනාවරණය කෙරිණි.

රංගිරි දඹුල්ලට සිරිකත කැන්දන “සෑම් පොපම්ගේ” වන උයන

අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ මහතා උද්‍යානයේ පළමු ටිකට් පත මිලදී ගනිමින්…

ශාක විවිධත්වය

මෙම වන උයන වටිනා සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දේශීය ශාක විශේෂ කිහිපයක් සඳහා ප්‍රතිෂ්ඨාපන අඩවියක් ලෙස ක්‍රියා කරයි. ප්‍රදේශය තුළ දක්නට ලැබෙන කළුවර, සඳුන්, හල්මිල්ල, වැනි වටිනා ශාක මෙන්ම මී, කොහොඹ, බිං කොහොඔ, නා, රත්මල් වැනි ඖෂධිය වටිනාකමක් ඇති ශාක විශේෂ ද මෙම වන උයන තුළ පවතී. මෙහි දැවමය ශාක විශේෂ 100ක් හා ඖෂධීය ශාක විශේෂ 70ක් පමණ පවතී.

රංගිරි දඹුල්ලට සිරිකත කැන්දන “සෑම් පොපම්ගේ” වන උයන

උද්‍යාන පිවිසුම
මෙම වන උයන වන ඝනත්වය අතින් ඉතා ඉහළ තත්ත්වයේ පවතින අතර සංවෘත වන උයනකින් සමන්විත වන අතර සෞම්‍ය දේශගුණයකටද හිමිකම් කියයි. වනාන්තර ස්නානය යනු ජපානයේ ආරම්භ වූ ඉතා ජනප්‍රිය සංකල්පයක් වන අතර එය බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සමඟ විද්‍යාත්මක වටිනාකමක්ද ලබා දේ. වියළි කලාපීය වනාන්තරයක් ලෙස මෙම වන උයන වනාන්තර ස්නානය සඳහා සංවර්ධනය කිරීමට ඉතා ඉහළ හැකියාවක් පවතින අතර අවසානයේ එය සංචාරකයන්ගේ වැඩි ආදායමක් උපයා ගැනීමටද හැකි වනු ඇත.

පොපම් ආබරේටම්හි සංචාරකයන් සඳහා ඇති ක්‍රියාකාරකම්

දිවා සංචාරය – මෙම වන උයන නිසි මඟ පෙන්වන ලද ස්වභාවික මංපෙත් සමඟ හොඳින් ස්ථාපිත වී ඇති අතර නරඹන්නන්ට අන් අයගේ සහායක් නොමැතිව ස්වභාවික මංපෙත් හරහා ගමන් කළ හැකිය. දිවා කාලයේ ඇවිදීම සඳහා ස්වභාවික මංපෙත් හතරක් (හරිත මංපෙත, නිල් මංපෙත, රෝස මංපෙත, කහ මංපෙත) සකසා ඇත. වර්ණ අංක හා ඊතල වලින් මංපෙත් සලකුණු කර ඇත. දිවා සංචරණයේදී කුරුල්ලන් සහ සමනලයන් නැරඹීමට, විවිධ ගස් වර්ග හඳුනාගැනීමට, බිම්මල් වර්ග නැරඹීමටත් වනාන්තර ස්නානය කිරීමේ අත්දැකීම් ලබාගැනීමටත් වඩාත් සුදුසුය.

රාත්‍රි සංචාරය – රාත්‍රි සෆාරි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ උණහපුළුවන් හා කබල්ලෑවන් නැරඹීමටයි. සංචාරක මාර්ගෝපදේශකයකු සමඟ ඇවිදීම සංවිධානය කර ඇති අතර එය රාත්‍රී 7 සිට 10 දක්වා විවෘතව පවතී. මෙම ක්‍රියාකාරකම ස්වභාවධර්මයට ආදරය කරන්නන් අතර ඉතා ජනප්‍රිය වන අතර එය රටට අමතර ආදායමක් ලබාගැනීමට උපකාරී වන බව සභාපතිවරයා මෙහිදී පැවසීය.

කඳවුරු බැඳීමේ පහසුකම් – එමෙන්ම ආබරේටම් ඉතා ආකර්ෂණීය කඳවුරු භූමියකින් සමන්විතය. මෙම කඳවුරු ප්‍රදේශය වසරේ මාස 10කට ආසන්න කාලයක් ජලය පවතින දිය පහරකට ආසන්නව පිහිටා ඇත. මෙම කඳවුරු භූමිය එක් අවස්ථාවකදී උපරිම වශයෙන් 25 දෙනකුට භාවිත කළ හැකි අතර ඔවුන්ට අවශ්‍ය වැසිකිළි හා නාන කාමර පහසුකම්ද පවතී. කූඩාරම් කුලියට ගතහැකි අතර තමන්ගේම කූඩාරම් වුවද භාවිත කළ හැක. කඳවුර තුළ බාබකියු සකසා ගැනීමේ පහසුකම්ද ඇත. කලින් වෙන් කරවාගෙන මෙම කඳවුරු බැඳීම් කළ හැක.

කාමර නවාතැන් – අමතරව, නවතැන් සඳහා කාමර පහසුකම් ඇති අතර එක්වරකට උපරිම 10 දෙනකුට පමණ මෙහි රාත්‍රී නවාතැන් සපයා ගත හැක.

පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් – පර්යේෂකයාගේ උනන්නදුව මත පර්යේෂණ කටයුතු සඳහා වියළි කලාපීය වෘක්ෂලතා, පරිසර විද්‍යාව, සත්ත්ව හැසිරීම්, කෂුද්‍රජීවීන්, කාබන් තිර කිරීම, ශාක හා සත්ත්ව විශේෂ වර්ගීකරණය ආදිය කෙරෙහි අධ්‍යයනය කළ හැක.

මෙම වන උයනේ ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් මෙම වන උයන ප්‍රධාන වශයෙන් විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පහසුකම් වැඩිදියුණු කරමින් සංවර්ධනය කිරීමට හඳුනාගෙන තිබූ අතර, පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් හඳුනාගත් පහත ක්‍රියාකාරකම් සහිතව ප්‍රතිපාදන සපයමින් වන උයන නවීකරණය කර තිබිණි. මෙම පහසුකම් ලබාදීමෙන් පසුව උද්‍යානය නවීකරණය කර නැවත ජනතා සේවයට විවෘත කිරීම සිදුකරන ලදී. පහසුකම් මෙසේය,

ඇතුල්වීමේ දොරටුව අසල ප්‍රවේශ පත්‍ර කවුළුවක් ඉදිකිරීම, ප්‍රධාන දොරටුව අසල නාම පුවරුවක් ස්ථාපිත කිරීම, උද්‍යානයේ වැට පරිසර හිතකාමී ලෙස සකස් කිරීම, පොපම් කෞතුකාගාරය ස්ථාපිත කිරීම, විවෘත දේශන කලාපය තුළ පහසුකම් වැඩි දියුණු කිරීම, එළිමහන් සම්මන්ත්‍රණ ශාලාව වැඩිදියුණු කිරීම, දේශන ශාලාවේ වහලය අලුත්වැඩියා කිරීම, මංපෙත් දිශාවන් අලුත්වැඩියා කිරීම, නව වැසිකිළි ඉදිකිරීම හා පවතින වැසිකිළිවල පහසුකම් වැඩිදියුණු කිරීම, තොරතුරු මධ්‍යස්ථානය නවීන උපකරණ යොදාගනිමින් වැඩිදියුණු කිරීම, සියලු විස්තර ඇතුළත් තොරතුරු පත්‍රිකාවක් සකස් කිරීම, එය විදේශීය සංචාරකයන් ඉලක්ක කර සකස් කිරීම, මෙම වන උයන පිළිබද වීඩියෝ පටයක් සකස් කිරීම යනාදියයි.

ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් මෙම වැඩ කටයුතු අවසන් කර පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන්, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු පාරිසරික ක්‍රියාකාරීන් මධ්‍යයේ පාරිසරික සංචාරකයන් සඳහා විවෘත කිරීම සිදුකෙරිණි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment