පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 44ක් මරුට

213

වයඹ දිග පකිස්තානයේ පෙරේදා (30දා) පැවති එරට ඉස්ලාමීය පක්ෂය විසින් සංවිධානය කර තිබූ දේශපාලන රැලියකදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 44 දෙනකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසෙන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ බව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ. වයඹදිග පකිස්තානයේ බජාවුර් දිස්ත්‍රික්කයට අයත් ‘කර්’ නගරයේ පැවති ‘ජමායත් උලෙමා – ඊ – ඉස්ලාම් -ෆ්ස්ල්’ පක්ෂයේ දේශපාලන රැලියක සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් මෙම ව්‍යසනය සිදුව ඇති අතර එම පිපිරීමෙන් අදාළ පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු වන මවුලානා සීයාඋල්ලාද මියගොස් තිබේ. බෝම්බ ප්‍රහාරයත් සමගම දේශපාලන රැලිය සඳහා ඉදි කර තිබූ කූඩාරම කඩා වැටීම නිසා පිපිරීමත් සමගම එම ස්ථානයෙන් පිට වීමට තැත් කළ පිරිස් කොටුවී සිටි බව වාර්තා වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලු පිරිස් බේරා ගැනීම සඳහා දියත් කර තිබූ මෙහෙයුම ඊයේ දිනයේ අවසන් කර තිබූ අතර මෙම ප්‍රහාරයට වග කිව යුතු සංවිධානය හා ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ හේතුව අනාවරණය වී නොතිබූ බව බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරය එල්ල වූ දේශපාලන රැලිය සංවිධානය කර තිබූ ‘ජමායත් උලෙමා – ඊ – ඉස්ලාම් – ෆ්ස්ල්’ පක්ෂය පකිස්තානයේ ප්‍රධානතම ආගමික පක්ෂයක් වන අතර එරට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පාර්ශ්වයක් ලෙසද ක්‍රියා කරන පක්ෂයකි.

advertistmentadvertistment
advertistmentadvertistment