ජනතාවට බදු බර පැටවූ අයිඑම්එෆ් ගිවිසුම සජබ රජයක් යටතේ සංශෝධනය කරනවා – නව ගිවිසුමකට එළැඹෙන බව විපක්‍ෂ නායක කියයි

75

වත්මන් රජය අයිඑම්එෆ් සමග ඇතිකරගෙන ඇති ඒක පාර්ශ්වීය ගිවිසුම තම රජයක් යටතේ සංශෝධනය කර බදු බර පීඩනය ජනතාවට නොදෙන ජනතාවට වැදගත් ජනතාවාදී නව ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අමතා පෙරේදා (18 දා) ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් පෙරේදා (18 දා) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි. මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දුන්නේය.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවය. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment