උද්ඝෝෂණ කළ ලංවීම 15කගේ සේවය අත්හිටුවයි

75

පියවරට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නවා – වෘත්තීය සමිති

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ගෙනැවිත් තිබෙන විදුලි පනතට එරෙහිව ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මක කළ තෙදින උද්ඝෝෂණයට එක්වූ ලංවිම සේවකයන් පහළොස් දෙනකුගේ සේවය අත්හිටුවා තිබේ.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ විදුලි කලාප 03 ප්‍රදේශයේ මුදල් කවුළු භාර ලිපිකරුවන් පහළොස් දෙනකුගේය. ඔවුන් ඇතුල්කෝට්ටේ, අවිස්සාවේල්ල, රත්නපුර, බලංගොඩ ප්‍රදේශවල සේවය කළ අයයි.

විදුලි සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට යොමුවීම නිසා මෙම පහළොස් දෙනාගේ සේවය අත්හිටුවීමට පාලනාධිකාරිය පියවරගෙන ඇත.

විදුලි සේවාවට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්ව විසින් ලබාදී තිබෙන මාර්ගෝපදේශන කඩකරන සේවකයන්ගේ වැඩ තහනම් කර සුදුසු විනය පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට ඇමැති කංචන විජේසේකර මහතා ලබාදී ඇති උපදෙස් මත ලංවිම පාලනාධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් ලිපිකරුවන් පහළොස් දෙනාගේ සේවය අත්හිටුවීමට ගත් පියවරට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගන්නා බව ලංවිම වෘත්තීය සමිති කියා සිටිති.

මෙම සේවක පිරිස ලෙඩ නිවාඩු වාර්තා කොට අදාළ උද්ඝෝෂණයට එක්ව සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෘත්තීය සමිති ආඥා පනතට අනුව බවද වෘත්තීය සමිති කියා සිටිති. සේවය අත්හිටවූ පහළොස් දෙනාට සියයට පනහක වැටුපක් ද අහිමි වන බැවින් වහාම ඊට එරෙහිව නෛතික පියවර ගන්නා බවද ලංවිම වෘත්තීය සමිති කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment