පැනලා ගිය ගෝඨාභය යළි ඡන්දයට එනවා කීම විහිළුවක් – එස්. එම්. චන්ද්‍රසේන

139

ජනාධිපති ධුරයේ වගකීම් ඉෂ්ට කිරීමට නොහැකිව පලාගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් එම ධුරය සඳහා තරග කරන බව පැවසීම විහළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

දිස්ත්‍රික් නායකයන් ලෙස අපත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසත් අපි එතුමාට උපරිම සහයෝගය ලබාදුන් නිසා 69% ක ජනවරමක් ඔහු ලබාගත්තේ යැයි පැවසූ චන්ද්‍රසේන මහතා, ජනාධිපතිවරණයට පෙර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලක්ෂ 52 ක ඡන්ද ලබාගත් බවත් පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ එම සංඛ්‍යාව ලක්ෂ 69 දක්වා වැඩිවූයේ අනෙකුත් පක්ෂවල ද සහයෝගය ඇතිව බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වගකීම් ඉෂ්ට කළත් ජනාධිපතිවරයා ලෙස එම වගකීම් ඉෂ්ට නොකළ බවත් පැවසීය.

මිරිහාන නිවස ඉදිරිපිට උද්ඝෝෂණය පැවැති අවස්ථාවේදී සෘජු තීරණයක් නොගත් නිසා නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරොවෙන් කපන්නවත් බැරි තත්ත්වයට පත්වූ බවත් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අතහැර යෑමට සිදුවූ බවත් ඔහු කීය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ජනාධිපතිවරණයට තරග කරන බව පැවසීම කටකතාවක් බව පැවසූ චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා එබඳු තත්ත්වයට පත්වේයැයි තමා විශ්වාස නොකරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කතා පවතින්නේ යැයි මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. මාධ්‍ය හමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැත්විණි.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment