ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි

259

ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි තැනට එයි
තරඟයේ වීරයා ධනංජය ද සිල්වා

ලකුණු 514 ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීම යනු සිහිනයක් මිස සැබෑවක් නොවන බව තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ පසක් කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 328 ක දැවැන්ත පරාජයක් සිල්හෙට් ක්‍රීඩාංගණයේදී ඊයේ (25දා) වින්දාහ.

කසුන් රාජිත ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 182 කට සීමා කරමින් ඊයේ ලබා ගත් එම ජයග්‍රහණය දශක හතරකට එහා ගිය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ දෙවැනි තරගය වේ.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි

මෙම ජයග්‍රහණය ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ලද පළමු ජයග්‍රහණය ද වූ අතර ඒ අනුව ප්‍රසාද ලකුණු දෙකක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයට පත් වූයේය.

මීට පෙර එම තරගාවලිය යටතේ සහභාගි වූ තරග දෙකම (පකිස්තානයට එරෙහිව) පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ නම වන ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා උසස් වීමක් ලැබීය.

බංග්ලාදේශ දෙවනි ඉනිමේ කඩුලු 5ක් දවා ගත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත තම ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ලබා ගත් දෙවැනි කඩුලු පහ ලෙස එම අවස්ථාව සටහන් කර ගත්තේය.

කසුන්ට අනගි සහයක් ලබා දුන් විශ්ව ප්‍රනාන්දු කඩුලු තුනක් සහ ලහිරු කුමාර කඩුලු දෙකක් දවා ගත්තේය.

ඒ අනුව මෙම ටෙස්ට් තරඟයේ බංග්ලාදේශ ඉනිම් දෙකේම කඩුලු 10 බැගින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් දවාගනු ලැබීම විශේෂ සිද්ධියක් වූ අතර එවැනි දස්කමක් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් ප්‍රදර්ශනය කරන ලද දෙවැනි අවස්ථාව ලෙස මෙම තරඟය සටහන් විය.

ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් වාර්තා කරන ලද සුවිශේෂී ශතක හතරක් මතින් ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජයග්‍රහණය මගින් දෙරට අතර ටෙස්ට් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 47 කට දැවී තිබියදී ඊයේ දිනය ආරම්භ කළ සත්කාරක ක්‍රීඩකයන් අතරින් මොමිනුල් හක් නොදැවී ලකුණු 87 ක් ලබා ගත් අතර මෙහිදී හසන් මිරාස් ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වූයේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පිතිකරුවන් පස් දෙනකුම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරඟයේදී ඉනිම් දෙකේදීම ශතක ලබා ගෙන උඩ පන්දු හතරක් ද රැකගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානය ලැබීය.

කසුන් රාජිත ලකුණු 56 කට කඩුලු පහක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 36 කට කඩුලු 3 ක් ද ලහිරු කුමාර ලකුණු 39 කට කඩුලු 2 ක් ද දවා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව මුල් ඉනිම සියල්ල දැවී 280 (පන්දු වාර 68යි)

ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16,

පන්දු යැවීම

(කලිඩ් අහමඩ් 72/3, නහිඩ් රානා 87/3යි)

බංග්ලාදේශය මුල් ඉනිම සියල්ල දැවී 188 (පන්දු වාර 51.3යි)

(ටයිජුල් ඉස්ලාම් 47, ලිට්න් දාස් 25, කලිඩ් අහමඩ් 22, සහඩට් හොසේන් 18, ෂොරිෆුල් ඉස්ලාම් 15,

පන්දු යැවීම

විශ්ව ප්‍රනාන්දු 48/4, ළහිරු කුමාර 31/3, කසුන් රාජිත 56/3යි

ශ්‍රී ලංකාව දෙවන ඉනිම සියල්ලන් දැවී 418යි (පන්දු වාර 110.4යි)

(දිමුත් කරුණාරත්න 52, ධනංජය ද සිල්වා 108, කමිදු මෙන්ඩිස් 164, ඇන්ජලෝ මැතිව්ස් 22,

පන්දු යැවීම

නහිඩ් රානා 128/2, ටයිජුල් ඉස්ලාම් 75/2, මෙහෙඩි හසන් 74/4

බංග්ලාදේශය දෙවැනි ඉනිම සියල්ලන් දැවී 182 ( පන්දු වාර 49.2)

මොමිනුල් හක් නොදැවී 87, මෙහෙදි හසන් 33

පන්දු යැවීම

විශ්ව ප්‍රනාන්දු 36/3

කසුන් රාජිත 56/5 ලහිරු කුමාර 39/2

advertistmentadvertistment
advertistmentadvertistment