රට බංකොළොත් කිරීමේ කුමන්ත්‍රණය!

246
රට බංකොළොත් කිරීමේ කුමන්ත්‍රණය!

ඉතිහාසයේ බලවත්ම විනිමය හා ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අප දැන් සිටින්නේ එම ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට උත්සාහ දරමිනි. ඒ සඳහා වන ගමනේ කිසියම් කෙටි දුරක් අප පැමිණ ඇත. එම ගමනේ දී කිසියම් දුරකට සාර්ථක ප්‍රතිඵල අප අත්කරගෙන ඇති අතර එම ගමනේ තවත් බොහෝ දුරක් ගමන් කිරීමට ද අපට සිදුවනු ඇත. මෙසේ රට මුහුණ දුන් උග්‍ර විනිමය අර්බුදය හමුවේ අපට ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය. මේ නිසා රජයට ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට ද සිදු විය. එය රජයකට ගැනීමට සිදුවෙන ඉතා බැරෑරුම් තීන්දුවක් වන බවට කිසිදු සැකයක් නැත. මෙවැනි තත්ත්වයකට මින් පෙර අප රට කිසිම විටක පත්ව නැති නිසාත් ඒ නිසාම මෙවැනි තීන්දුවක් මින් පෙර කිසි දිනෙක අපේ රටේ අරන් නැති නිසාත් මෙවැනි තත්ත්වයක දී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාවලිය කුමක් ද? ඒ ගැන සඳහන් වන යම් තැනක් තිබෙනවා ද? අප දන්නා තරමින් නම් රටේ විදේශ ණය ගෙවාගත නොහැකි බවට ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන කොහේවත් සඳහන් වන තැනක් නැත. එසේ වුවත් මෙහිදී අනුගමනය කළ ක්‍රියාවලිය වැරදි සහ අනීතික බවට ද අදහස් ඉදිරිපත්ව ඇත. එසේම මෙය කුමන්ත්‍රණයක් බවට ද අදහස් ඉදිරිපත්ව ඇත. මේ පසුබිම තුළ මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ මේ කියන රට බංකොළොත් කිරීමේ කුමන්ත්‍රණය ගැනයි.

2022 අප්‍රේල් 12 වැනිදා රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම කුමන්ත්‍රණයක් බවට කියන අය ගිය වසරේ (2022) එම තීරණය ප්‍රකාශයට පත් කිරීමට බලපෑ හේතු ගැන එතරම් කතා නොකරයි. එහෙත් ඇත්ත වශයෙන්ම සැබෑ කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය යුතු නම් එසේ හැඳින්විය යුතු වන්නේ රට බංකොළොත් කිරීම මිස විදේශ ණය
ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට රජය විසින් නිවේදනය කිරීම නොවේ. කොරෝනා වසංගතයෙන් මිදී රට ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. මේ නිසා 2022 වසරේ දී ආර්ථිකය ඍණ වීම ඇතුළු බොහෝ ආර්ථික විපාකවලට මෙරට ජනයාට මුහුණ දීමට සිදු වූයේ රට බංකොළොත් වූ නිසාය. එය ඉබේ සිදු වූ දෙයක් ද නොව විදේශ ණය ගෙවාගත නොහැකි තත්ත්වයට රට පත් කළ නිසා වූ දෙයකි. මෙය දිගුකාලීන හා ආසන්න හේතු ගණනාවක් නිසා සිදු වී ඇත. අප මීට පෙර ද මේ ගැන සඳහන් කර ඇත. මේ නිසා රට බංකොළොත් වූයේ 2022 අප්‍රේල් 12 වැනිදා රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම නිසා නොවේ. එසේ නිවේදනය කිරීමට එවකට පැවති රජයට සිදු වූයේ ඊට පෙර ඇත්ත වශයෙන්ම රට බංකොළොත් තත්ත්වයට පත්ව තිබූ නිසාය. එහෙත් රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරීම කුමන්ත්‍රණයක් බව කියමින් මේ ගැන විවිධ දේශපාලන අදහස් ප්‍රකාශ කරමින් ඇතැමුන් මහජනයා ව්‍යාකූල කරමින් සිටී. එහෙත් ආර්ථිකමය වශයෙන් රට බංකොළොත් වීමට බලපාන ලද සැබෑ හේතු මේ වන විට රට හමුවට ඉදිරිපත්ව අවසන්ය.

මේ වන විට ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට හේතු සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කර තිබේ. එහි සභාපතිත්වයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ය. ඒ සම්බන්ධයෙන් ද බොහෝ විවේචන ඉදිරිපත්ව ඇත. රට බංකොළොත් වෙමින් සිය විදේශ ණය පවා ගෙවාගත නොහැකි බව ප්‍රකාශයට පත් කළේ ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදාය. එවකට රටේ පැවතියේ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද සාගර කාරියවසම් මහතා ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අපේක්ෂකයා වශයෙනි. බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ රජයේ නායකයා පත් වූ දේශපාලන පක්ෂයේම මහ ලේකම්වරයා රටේ බංකොළොත්භාවයට හේතු සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස පත්කරගෙන තිබේ. අප නම් සිතන්නේ ඔහු මේ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නොව මේ කාරක සභාවේ සාමාජිකයකු ලෙස හෝ පත් කිරීම නොගැළපෙන බවයි. ඒ නිසා මේ කාරක සභාවට රට බංකොළොත් වීමට බලපාන ලද සැබෑ හේතු හඳුනාගෙන ඒ සඳහා වගකිව යුත්තන් නම් කිරීමට කෙතරම් අවංකව සහ අපක්ෂපාතීව කටයුතු කළ හැකිවනු ඇති ද යන සැකය බොහෝ දෙනෙක් මතු කර ඇත. එම ක්‍රියාවලිය පිළිබඳ ඇති වනුයේ අවිශ්වසනීය තත්ත්වයකි. මේ නිසා විපක්ෂය කියන්නේ මේ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයකුට ලබාදිය යුතු බවයි. රට බංකොළොත්වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත. එසේ නැත්නම් වනු ඇත්තේ විශාල මාධ්‍ය සංදර්ශනයක් රටට ඉදිරිපත් කරමින් මේ කාරක සභාව පවත්වාගෙන යෑම වෙනුවෙන් තවත් අතිරේක වියදමක් සහ විශාල කාලයක් ගත වීම පමණි.

පසුගිය කාලයේ කෙතරම් නම් ජනාධිපති කොමිෂන් සභා පත් කළා ද? ඒවායින් වැඩක් වූවා ද? ඒවායේ නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක වූවා ද? ඒ නිසා අන්තිමට වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවල වැය බරත් මහජනතාව පිට පැටවීමට වැඩි දෙයක් වූයේ නැත. මේ නිසා යම් වියදමක් දරා රජය මගින් ජනාධිපති කොමිසමක් පත් කර හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර යම් පරීක්ෂණ කටයුත්තක් කරනවා නම් එය බැලූ බැල්මටම විශ්වසනීය ක්‍රියාවලියක් විය යුතුය. එය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවට පත් වීමට ඉඩ නොදී ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු නෛතික කටයුතු සිදු කිරීමේ පියවර ද සිදුවීම අත්‍යවශ්‍ය වනු ඇත. එහෙත් කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ද මහජනයාට අවශ්‍ය වන ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බව අපට සිතිය හැකි ද ? ඒ අනුව මහජනයා බලවත් ලෙස පීඩාවට පත් කළ මේ රට බංකොළොත් කිරීමට සැබෑ වගකිව යුත්තන්ට එරෙහිව කිසිවක් හෝ සිදුවනු ඇති ද යන ප්‍රශ්නය මතුව තිබේ. එසේම මෙය එම වගකිව යුත්තන් ආරක්ෂා කරන ක්‍රියාවලියක් ද යන සැකයත් බොහෝ දෙනා තුළ මතුව තිබේ. මේ හා සම්බන්ධ ඉදිරි ක්‍රියාවලිය දෙස අප බලා සිටිමු.

රට බංකොළොත් කිරීමේ කුමන්ත්‍රණය!

මූල්‍ය බංකොළොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් විය. එසේ රැස් වූ අවස්ථාවේදී ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදා රටේ විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ගැන එයට සහභාගි වී සිටි දේශපාලනඥයන් විවිධ අදහස් ප්‍රකාශ කර ඇත. මෙදින රැස්වීම ගැන පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිල මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි මහ බැංකුව මූල්‍ය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ත රටක් අසාර්ථකත්වයට පත් වුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසා ඇත. රටේ ඇතිවී ඇති තත්ත්වයට මහ බැංකුවේ විශාල නිලධාරීන් පිරිසක් වගකිව යුතු බව ද ඔහු සඳහන් කර තිබේ. අප දන්නා තරමින් නම් අපේ රටේ මහ බැංකුව විසින් නම් මූල්‍ය බංකොළොත්භාවයක් ප්‍රකාශයට පත් කර නැත. අපට වැටහෙන පරිදි නම් මේ මන්ත්‍රීවරයා මූල්‍ය බංකොළොත්භාවයක් ප්‍රකාශයට පත් කිරීම ලෙස හඳුන්වා දෙන්නේ 2022 අප්‍රේල් 12 වැනිදා එවකට රජය විසින් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කිරීම විය යුතුය. ඒ බව ප්‍රකාශයට පත් කළේ මහ බැංකුව විසින් නොව මුදල් අමාත්‍යාංශය විසිනි. ඒ බව ප්‍රකාශයට පත් කළ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට මේ ලියුම්කරු ද (තවත් මාධ්‍යවේදීන් ද) සහභාගි වූ අතර එම මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එක්ව සිටියේය. ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කර ඇත්තේ ද මහ බැංකුව විසින් නොව මුදල් අමාත්‍යාංශය විසිනි. මේ නිවේදනය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හමුවේ රජය පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණේ 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම අත්හිටුවා ඇති බව ප්‍රකාශ කිරීම නිවැරදි තීරණයක් බවත්, පෙර දැනුම්දීමකින් තොරව සිදු කෙරෙන ණය පැහැර හැරීමක් ඇති වීම වැළැක්වීමට සහ රට ඒ අවස්ථාවේ අත්විඳිනවාට වඩා අයහපත් ප්‍රතිඵල අනාගතයේ දී ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි එකම විකල්පය එය බවත්ය.

2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම අත්හිටුවා ඇති බව ප්‍රකාශ කළ නිවේදනයේ මාතෘකාව ලෙස සඳහන් වූයේ “ශ්‍රී ලංකාවේ විදේශීය රාජ්‍ය ණය සේවාකරණය සම්බන්ධ අන්තර්කාලීන ප්‍රතිපත්තිය යන්නයි. මුදල් අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කළත් මෙය සිදු කළේ එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය මගිනි. ඒ අවස්ථාවේ මුදල් ඇමැතිවරයා ලෙස සිටියේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාය. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද්දේ අත්තනෝමතිකව ද ? එසේ නැත්නම් රජය තුළ පුළුල් සාකච්ඡාවකින් පසුව ද ? මේ ගැන එල්ල වූ විවේචනවලට පිළිතුරු ලෙස රජය පැත්තෙන් එවකට පැහැදිලි කර තිබුණේ එවකට සිටි ජනාධිපතිවරයා, එවකට සිටි මුදල් අමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඉහළම පෙළේ දේශපාලන බලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජය විසින් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කරන ලද බවයි. එසේ නම් කිසිදු ආයතනික මට්ටමේ සාකච්ඡාවකින් තොරව ණය පැහැර හැරීමට කටයුතු කළ බවට එල්ල කරන විවේචනය ද සත්‍ය නොවන බව පෙනේ. රටේ මූල්‍ය බංකොළොත්භාවයට හේතු පරීක්ෂා කරන කාරක සභාවට ඉදිරියේ දී තවත් සාක්ෂිකරුවන් කැඳවන විට මේ ගැන කරුණු විමසිය හැකිය. මේ ගැන සාක්ෂි ලබාදිය හැකි මේ ගැන දන්නා හොඳම තිදෙනා වන්නේ එවකට සිටි මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යන තිදෙනාය.

මේ කාරක සභාවට එක්ව සිටි එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ කිසිදු තීරණයක් නොමැතිව මෙය ප්‍රකාශයට පත් කළ බවකි. 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීම මහ බැංකුව විසින් කළ දෙයක් නොවන බව අප දැනටමත් සඳහන් කර ඇත. ඒ නිසා මහ බැංකුව නොකළ දෙයක් සම්බන්ධයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ තීරණයක් තිබිය යුතු යැයි අපට නොසිතේ. කෙසේ හෝ මෙය මහ බැංකුව කළ දෙයක් නොවූවත් එම තීරණය ගැනීම සඳහා අප සිතන්නේ මහ බැංකුව විසින් රජයට නිර්දේශ කරන්නට ඇති බවයි. මේ නිසා අනිවාර්යයෙන්ම මේ ගැන මහ බැංකුවේ මුදල් මණ්ඩලය සාකච්ඡා කර රජයට නිර්දේශ ලබා දෙන්නට ඇතැයි අපට සිතිය හැකිය. මේ කාරක සභාවේ ඉදිරි සාක්ෂි මගින් මේ ගැන අනාවරණය වනු ඇතැයි අපි සිතමු. අප සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කළ අන්තර්කාලීන ණය ප්‍රතිපත්තිය සහ එම නිවේදනයේ සඳහන් කරුණු 2022 වසරේ අප්‍රේල් 16 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 2022 වසරේ අප්‍රේල් 18 වන දිනට ගෙවිය යුතු ණය සේවාකරණ පිරිවැය ගෙවීමට ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් සංචිත නොමැති වීම හේතුවෙන් ‘දැඩි පැහැර හැරීමක්’ සිදුවීම වැළැක්වීම සඳහා මෙම තීරණය ඉවහල් වූ බව රජයේ ස්ථාවරය වී තිබේ. මහ බැංකුව මූල්‍ය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ත රටක් අසාර්ථකත්වයට පත් වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එම කාරක සභාවේ දී පැවසූ බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එහෙත් 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින විදේශීය ණය පියවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් නොකර අපට සියලු විදේශ ණය ගෙවිය හැකිය යන විශ්වාසයේ සිටිමින් කටයුතු කළා නම් වන්නේ කුමක් ද? ඒ ගැන වජිර අබේවර්ධනට අවබෝධයක් තිබේ ද? අප නම් සිතන්නේ එම තීරණය නොගත්තා නම් වන්නේ 2022 වසරේ අප්‍රේල් 18 වන දිනට ගෙවිය යුතු ණය සේවාකරණ පිරිවැය ගෙවීමට ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් විදේශ සංචිත නොමැති වීම හේතුවෙන් විදේශ ණය පියවීම සම්බන්ධයෙන් දැඩි පැහැර හැරීමක් සිදුවනු ඇති බවයි. මෙහිදී මූල්‍ය බංකොළොත්භාවය සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් 01 දින සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා සිටීම මෙදින කාරක සභා රැස්වීමේ දී සිදුව ඇත. මෙහිදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු වන බවත් වැරදි ක්‍රියාවලියකට අනුව 2022.04.12 දින මහ බැංකුව විසින් මෙරට මූල්‍ය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ බවත්ය. මේ නිසා සමස්ත රටම අපහසුතාවයට පත්වූ බවත්ය. ඔහු එසේ කීවත් නොකියාම විදේශ ණය ගෙවීම පැහැර හරින තත්ත්වයකට අප රට පත් වූවා නම් ඇතිවෙන ප්‍රතිඵල කෙබඳුද යන්නත් ප්‍රශ්න කළ යුතුව තිබේ.

එම මන්ත්‍රීවරයා තවදුරටත් පවසා ඇත්තේ 2022 අප්‍රේල් 12 දින කිසිදු විපරමකින් තොරව මහ බැංකුව විසින් මූල්‍ය බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කළ බවත් මෙය වැරදි ක්‍රියාවලියක් බවත්ය. මෙය සිදු නොවිය යුත්තක් බවත් මේ අවස්ථාවේ පෞද්ගලික අංශයෙන් සහය ලබාගෙන මෙම මුදල් ගෙවීමට හැකියාව තිබුණ බවත් එම මන්ත්‍රීවරයා එම පාර්ලිමේන්තු කාරක සභාවට පවසා ඇත. මෙහිදී පෞද්ගලික අංශය කියා වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා අදහස් කළේ කවුද යන්න අපට පැහැදිලි නැත. ඇත්තවශයෙන්ම ඔහු කියන පරිදි පෞද්ගලික අංශයෙන් සහය ලබාගෙන රටේ විදේශ ණය පියවීමට ඒ අවස්ථාවේ රජයට හෝ මහ බැංකුවට හැකියාවක් තිබුණේ ද ? එය එතරම් සරල හා පහසු දෙයක් වී ද ? එසේ නම් එය රජය හෝ මහ බැංකුව එවෙලේ නොකළේ මන්ද ? වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාගෙන් එවකට රජය හා මහ බැංකුව උපදෙස් ගත්තා නම් පෞද්ගලික අංශයෙන් සහය ලබාගෙන රටේ විදේශ ණය පියවීමට ඒ අවස්ථාවේ රජයට හෝ මහ බැංකුවට හැකියාව තිබුණේ ද ? එසේ හැකියාව තිබුණේ නම් අප සිතන්නේ ඒ සම්බන්ධයෙන් එවකට පැවති රජය සහ මහ බැංකුව වජිර අබේවර්ධනගෙන් උපදෙස් නොගැනීම නම් බලවත් වරදක් බවයි. මේ ගැන මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් රටට කරුණු පැහැදිලි කළ යුතු බව ද මහජනයා වෙනුවෙන් අපි කියා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment