කුරුන්දි ඇවිළෙයි – පොලිස් බලඇණිත් කැඳවයි

780

බෞද්ධ නටබුන් පිහිටි මුලතිව් කුරුන්දි පුදබිමේ ඊයේ (18 දා) උද්ගත වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක් ගත්හ. ඊයේ මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කොට පිරිත් සජ්ඣායනාවක් කරමින් ආශීර්වාද පූජාවක් පැවැත්වීමට කටයුතු කළ අතර බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අතර හින්දු බැතිමතුන් පිරිසක් චෛත්‍යයට ඔබ්බෙන් පිළිමගේ පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් පිළිම තැන්පත් කර ආගමික උත්සවයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ භික්‍ෂූන්වහන්සේ සහ හින්දු බැතිමතුන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

මේ හේතුව මත කිරුදුමලේ විහාරස්ථ භූමියට නිලධාරීන් හාරසීයකගේ පමණ පොලිස් බලඇණියක් යෙදවීමට සිදුව ඇත.

මුලතිව් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් මෙම ස්ථානයේ පොංගල් පූජාවක් පැවැත්වෙන බව මීට මාසයකට පමණ ඉහත සිට ප්‍රචාරය කළ අතර එය දැනගත් දකුණේ බෞද්ධ භික්‍ෂූන් හා ගිහි සංවිධානවල විශාල පිරිසක් මීට දින දෙකකට පමණ පෙර සිට මුලතිව් කිරුදුමලේ විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන්ගෙන තිබුණි.

කුරුන්දි ඇවිළෙයි - පොලිස් බලඇණිත් කැඳවයි

දකුණේ සිට පැමිණි බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කුරුදුමලේ විහාරස්ථානයේදී බැතිමතුන් විශාල පිරිසක් සමග එක්ව ආශීර්වාද පූජාවක් පැවත්වූ අතර ඒ හේතුවෙන් එම ස්ථානයට යාබදව ස්ථානයක පොංගල් උත්සවය පැවැත්වීම අසීරු වූ බව කියමින් එයට එක්වූ වැසියෝ දැඩි ලෙස නොසන්සුන් වූහ.

පොංගල් උත්සවයට විරෝධය පළ කරමින් පෝස්ටර් විශාල ප්‍රමාණයක් අලවා තිබුණි. මේ අවස්ථාවේ ඇතිවූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට සිදුවූ අතර මුලතිව් වැසියන් බලහත්කාරයෙන් පොංගල් උළෙල ඉතා චාම් ලෙස පවත්වා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

නමුත් කුරුදුමලේ විහාරස්ථානය අවට ප්‍රදේශයේ ආරක්‍ෂාව මේ තත්ත්වය මැද දැඩි කොට ඇත.

දිනසේන රතුගමගේ සහ විශේෂ වාර්තාකරුවකු විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment